2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා

දරුවන්ට හැදෙන හදිසි ලෙඩ රෝග

 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 679

අපි නොහිතන වෙලාවක නොහිතන විදියේ දේවල් පුංචි දරු පැටවුන්ට වෙන්න පුළුවන්. මේ කතා කරන්නෙ ඒ වගේ හදිසි අකරතැබ්බ කිහිපයක් ගැනයි.

කිරි හිරවීම – මෙයට බොහෝ විට හේතු වන්නේ වැරදි ඉරියව්වෙන් කිරි ලබාදීම තමයි. එහෙම කිරි උරාබොද්දි පෙවෙන වාතය පිටවීමේදී (ගුඩුස් යාමේදී) ඒ වාතය සමග ඉහළට එන කිරි ස්වසන මාර්ගයට ඇතුළු වීම නිසා දරුවෙකුට බරපතළ හානි ඇතිවෙන්න පුළුවන්. පැටියා නිදාගද්දී හිස ඉහළට එසවෙන විදියට කොට්ට තියන නිසාත් මේ දේ වෙන්න පුළුවන්.

නැපි රෑෂ් – නැපි රෑෂ් ඇති වෙන්නේ ඩයපර නිසා විතරක් කියලයි බහුතරයක් අම්මලා හිතාගෙන ඉන්නේ. ඒත් ඩයපර වුණත් නැපි වුණත් නියමිත අවස්ථාවේ මාරැ නොකළොත් නැපි රෑෂ් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි රබර් ෂීට් භාවිතයත් ඒ මත සිල්ක් වැනි රෙදි වර්ග දමා දරුවා තැබීම නිසාත් මෙවැනි තත්ත්වයන් ඇති විය හැකියි.

බෙල්ල වණ වීම – කිරි උරා බීමේදී කිරි බෙල්ලට වැගිරීම හෝ සේදීමෙන් පසු තෙත මාත්තු නොකිරීම නිසා මේ තත්ත්වය ඇති වෙනවා. බෙල්ලේ වගේම ඉකිලිද මුත‍්‍රා රුඳීම නිසා හෝ තෙත රුඳීම නිසාත් ඒ ස්ථානවල මේ තත්ත්වය දැකිය හැකියි.

කණ පැසවීම – අනවශ්‍ය ලෙස කණ පිරිසුදු කිරීම මේ තත්ත්වයට හේතු විය හැකියි.

කෘමි දෂ්ඨනය – දරුවා සිටින කාමරය හොඳින් පිරිසිදු නොකිරීම, මුත‍්‍රා හෝ මළපහ සහිත නැපි නිසි ලෙස ඉවත් නොකිරීම, කාමරය තුළ කෑම/ඉඳුල් විසිරීම, ඉර එළිය කාමරයට නොවැටීම, මදුරු දැල් භාවිත නොකිරීම වැනි හේතූන් නිසා කෘමීන් බෝ වීමෙන් මෙවැනි අවස්ථාවන්ට දරුවන්ට මුහුණදීමට සිදුවිය හැකිය.

සම තුවාල වීම – මවගේ ඇඳුම්වල ඇති තද බොත්තම් වැනි දේ මෙන්ම ඇඳුම්වල ආලේපිතව ඇති දිලිසෙන කුඩු වර්ග නිසා ඇතිවන ආසාත්මිකතා, කෘමි දෂ්ඨන මගින් සම මත තුවාල ඇති විය හැකිය.

පෙකණිය පැසවීම – තෙතමනය රඳා පැවතීම නිසා හෝ දරුවාගේ මුත‍්‍රා / මව්කිරි තැවරීම නිසා, දරුවා නෑවීමෙන්/සේදීමෙන් පසු තෙත මාත්තු නොකිරීම නිසා පෙකිණිය පැසවීම සිදුවිය හැකිය.

පියයුරේ ගෙඩි ඇතිවීම – පියයුරුවල කිරි ඇතැයි සිතා පියයුරු මිරිකීම නිසා විෂබීජ ඇතුළු වී පැසවීමට ලක්වීම. ශල්‍යකර්ම කිරීමට සිදුවන අවස්ථාද ඇත.

දිව තුවාල වීම – කිරි මැලියම් ඉවත් කිරීමට විවිධ දේ භාවිත කිරීම හෝ තදින් ඇතිල්ලීම.

අජීර්ණ හෝ බඩේ අමාරු – මව්කිරි වෙනුවට ආදේශක පිටිකිරි හෝ වෙනත් පාන වර්ග ලබාදීම.

ආසාත්මිකතා:
පිටිකිරිවල ඇති ප්‍රෝටීන දිරවීමට අපහසු වීම. විවිධ ක‍්‍රීම් වර්ග, පවුඩර් වර්ග, සබන් භාවිතා කිරීම නිසා ඇතිවන ආසාත්මිකතා. කපු ඇඳුම් භාවිත නොකිරීම නිසා තෙතමනය උරාගැනීමට නොහැකිව සමට වන හානි. ඉටිරෙදි, රබර් ෂීට් භාවිතය. බෙල්ලට, අතට යොදන නූල් වර්ගවලට ආසාත්මිකතා ඇතිවීම. කිරි පමණක් දිය යුතු කාලය තුළදී වෙනත් ආහාර වර්ග ලබාදීම.