2019 මාර්තු 30 වන සෙනසුරාදා

උපන් අලුත දරුවන්ටත් අනිවාර්ය පරික්ෂණ!

 2019 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 690

කිසිවෙක් සර්ව සම්පුර්ණ ලෙස මෙලොවට බිහිවෙන්නෙ නැත. ඒ නිසා අලුත උපන් බිලිඳුන්ට ඇතිවිය හැකි රෝග තත්ත්වයන් පිළිබඳ අවධානය යොමුකරමින් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරික්ෂා කිරීම උදෙසා වන අනිවාර්ය පරීක්ෂණ කිහිපයක් මේ වන විටත් රජයේ සහ පෞද්ගලික අංශයේ ඕනෑම රෝහලක් හරහා සිදුකර ගැනීමේ පහසුකම අද වනවිට සලස්වා ඇත. අලුත උපන් දරුවකු වෙනුවෙන් සිදුකළ යුතු  අනිවාර්ය පරික්ෂණ සහ ඒවායේ වැදගත්කම ගැන සොයාබැලීමකි මේ.

අත්දැකීම් සහිත පළපුරුදු ළමාරෝග විශේෂඥ වෛද්‍යවරයෙකු සිදුකරන පූර්ණ  පරීක්ෂණය:

ළදරුවකු බිහි වූ විගස සහ රෝහලෙන් පිටවීමට පෙර සෑම ළදරුවකුම මෙකී පරීක්ෂණයට යොමු කෙරේ.

හෘද ක්‍රියාකාරීත්වය පිළිබඳ පරීක්ෂාව:

දරුවාගේ සිරුරට සැපයෙන ඔක්සිජන් ප්‍රමාණය නිරීක්ෂණය කිරීමේ පරීක්ෂණය මේ සඳහා වන මූලිකම පරීක්ෂණයක් ලෙස හැඳින්විය හැකිය. දරුවාගේ දකුණු අත සහ දකුණු, වම් කකුල Pulse Oxymeter නම් වූ යන්ත්‍රයකට සම්බන්ධ කරන අතර ඒ හරහා දරුවාගේ රුධිරයේ ඇති ඔක්සිජන් ප්‍රමාණය මෙහිදි ගණනය කරනු ලබයි. එවිට රුධිරයේ අඩංගු ඔක්සිජන් ප්‍රමාණය 95%ට අඩු නම් දරුවා නිවසට ගෙන යාමට පෙර එකෝ පරීක්ෂණයක් කරනු ලබයි.

ශ්‍රව්‍ය දෘශ්‍ය පරීක්ෂණ:  OAE

අලුත උපන් බිලිඳෙකුගේ කන් ඇසීම සහ ඇස් පෙනීම පිළිබඳ කරනු ලබන පරීක්ෂාව මීළඟට සිදුකළ යුතු තවත් වැදගත්ම පරීක්ෂණයකි. OAE පරීක්ෂණය ලෙස හඳුන්වනු ලබන මෙමගින් දරුවෙකුගේ කන් ඇසීම පිළිබඳ ගැටලුවක් වෙතොත් සොයා ගැනීම එතරම් අපහසු කටයුත්තක් නොවේ. ඒ හරහා ප්‍රශ්න ඇති දරුවන් තවදුරටත් විශේෂඥ වෛද්‍ය සේවාවන් වෙත යොමුකිරීමක් සිදුකරනු ලබයි.

නොමේරූ දරුවන්ගේ දෘශ්‍ය ආබාධ හෙවත් ROP තත්ත්වය පරීක්ෂා කිරීම:

නොමේරූ ළදරුවන් ලෙස උපත ලැබූ දරුවන්, අඩු බර දරුවන් සහ දැඩි සත්කාර ඒකකයේ සිටින දරුවන් ප්‍රසූතියෙන් පසු රෝහලෙන් පිටව යාමට පෙර අනිවාර්යයෙන්ම මෙම පරීක්ෂණය වෙත යොමුකළ යුතු වන්නේ ඔවුන් යම් හෙයකින් දෘශ්‍ය ආබාධවලට ලක්ව ඇතිදැයි අනාවරණය කරගත යුතු බැවිනි. එය අනාවරණය කර ගැනීමෙන් අනතුරැව ලේසර් ක්‍රම හා වෙනත් ප්‍රතිකාර ක්‍රම යොදා ගනිමින් අබාධ තත්ත්ව සඳහා පිළියම් යොදනු ඇත.

තයිරොයිඩ් ග්‍රන්ථිය හා සම්බන්ධ සංකූලතා හඳුනා ගැනීමේ පරීක්ෂාව:

අලුත උපන් බිලිඳුන් 2500 - 3000 කින් එක් අයෙකු තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වයේ සංකූලතා ඇතිව බිහිවිය හැකිය. ඒ බැවින් ඒ පිළිබඳ පරීක්ෂාව ඔබේ අලුත උපන් දරුවා වෙනුවෙන් සිදුකර ගැනීමට තරම් දැනුවත් බවක් දෙමව්පියන් වන ඔබ තුළ තිබීම වැදගත්ය. එසේම මෙය ළදරුවන් වෙනුවෙන් ඇති පරීක්ෂණ අතරින් වඩාත්ම වැදගත් එක ලෙස හැඳින්විය හැකිය. සාමාන්‍යයෙන් දරුවෙකු බිහිවීමෙන් පසු පැය විසි හතරක් රෝහලේ රඳවාගෙන නිරෝගී බව සොයා බලයි. එහිදී මවටත් ළදරැවාටත් රෝහලෙන් පිටවීමට අවසර ලැබෙන්නේ දරුවාගේ මළ, මුත්‍රා පිටකිරීම, කිරි උරා බීම වැනි කරුණු සාමාන්‍ය නම් පමණි. එලෙසම රෝහලෙන් පිටවීමට ප්‍රථම ළදරුවාගේ පාදයක විලුඹෙන් තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය පිළිබඳ පරීක්ෂාව සඳහා රුධිර සාම්පලයක් ලබාගැනීමක් සිදුකරයි.

එය රසායනාගාරය වෙත යොමු කෙරෙන අතර සතියක් හෝ දින දහයක් ඇතුළත ප්‍රතිඵලය ලැබෙයි. එම රුධිර සාම්පලයේ තයිරොක්සීන් හෝර්මෝනයේ කිසියම් වෙනසක් ඇත්නම් දරුවා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමුකරන ලෙසට වහාම දෙමව්පියන් දැනුවත් කරනු ලැබේ.

ළදරැවෙකුගේ මොළය වර්ධනය වීමට තයිරොක්සීන් හෝර්මෝනය අතවශ්‍ය වන අතර එය ශ්‍රාවය කරන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිය මගිනි. කිසියම් හේතුවක් මත තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩු හෝ වැඩිවීම තයිරොක්සීන් හෝර්මෝනය අඩු හෝ වැඩි වීමට බලපායි. ඒ හේතුවෙන් දරුවාගේ මතක ශක්තිය, තර්කානුකූලව සිතීමේ හැකියාව, නිර්මාණාත්මක හැකියාව අඩු වීමට බලපෑම් ඇති විය හැකි අතර දරුවා මන්දමානසික තත්ත්වයට පත්වීමේ අවදානමක්ද පවතී. ඉපදී මුල් දින කිහිපය ඇතුළත මෙම තත්ත්වය හඳුනාගෙන ඉක්මනින් ප්‍රතිකාර වෙත යොමු කිරීමෙන් දරුවා මන්ද මානසික තත්ත්වයට පත්වීම වළක්වාගත හැකි වේ. නමුත් මාස කීපයක් ගත වූ පසු ප්‍රතිකාර ඇරඹීමෙන් දරුවා යථා තත්ත්වයට පත්කර ගැනීම අපහසු විය හැක. නිරෝගී පෙනුමට බලපෑමක් නොවන නිසා තයිරොයිඩ් ග්‍රන්ථි ක්‍රියාකාරිත්වයේ සංකූලතා ඇති දරුවන් බැලූ බැල්මට හඳුනාගැනීම අපහසු වේ. එනිසා තයිරොයිඩ් ග්‍රන්ථි ක්‍රියාකාරිත්වය පිළිබඳ පරීක්ෂාව අනිවාර්යයෙන් සිදු කිරීම මෙන්ම ප්‍රතිකාර අවශ්‍ය දරුවන්ට ඉපදී මුල් සති දෙක තුළ ප්‍රතිකාර ආරම්භ කිරීම ඉතා වැදගත්ය.

- Parentingnews

 

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00