2019 මාර්තු 09 වන සෙනසුරාදා

බලෙන් හදාගන්නා එපා කරපු ලෙඩේ බෙල්ලේ කැක්කුම !

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 672

ගෙලෙහි ඇතිවන වේදනාව නැත්නම් බෙල්ලේ කැක්කුම (Neck Pain) ගැන මේ කාලයේ බහුලව අසන්නට ලැබෙයි. දවස පුරා එකම ඉරියව්වකින් පරිගණක යන්ත්‍ර දිහා බලා සිටිම, ජංගම දුරකතන දැඩි ලෙස භාවිතය, නිතරම ගෙල නවාගෙන දිගු කරගෙන සමාජ ජාල මැද සැරිසැරීම වැනි අහිතකර පුරුදු මේ තත්ත්වයට ප්‍රබල හේතුවක්ව ඇත. නමුත් බෙල්ලේ කැක්කුම හටගන්නට වෙනත් හේතුද බලපායි. මේ රෝගයෙන් පීඩා විඳින බොහෝ දෙනෙක් ඉතා වේදනාකාරී ජීවිතයක් ගත කරති. මැදි වයසේ පුද්ගලයන් අතර මෙය ඉතා බහුලය. නමුත් මෙම රෝගයට ස්ත්‍රී පුරැෂ භේදයක් වයස භේදයක් නැත.

මෙය ඇතිවීමට හේතු රුසක් බලපායි. ප්‍රධාන වශයෙන් මැදි වයසේ පුද්ගලයන් ගත්විට විශේෂයෙන් ඔවුන්ගේ වයසත් සමඟ ඇතිවන ගෙල අස්ථි ආශ්‍රිත වෙනස්කම් නිසා (Degenarative disc diseases) මෙම රෝගය ඇතිවේ. මුලදී සුළු වශයෙන් බෙල්ලේ වේදනාව හටගත්තද පසුව එම වේදනාව ක්‍රමයෙන් වැඩිවේ. මේ සමඟම ඇතැම් රෝගීන්ගේ අත්වල ඇඟිලි හිරිවැටීමක්ද ඇතිවිය හැක.

කලින්ම පෙන්වාදුන් පරිදි බෙල්ලේ වේදනාව ඇතිවීමට ප්‍රබල හේතුවක් වන්නේ වැරදි ඉරියව් භාවිතයයි. විශේෂයෙන් පාසල් සිසුන් දිගු වේලාවක් එකම ඉරියව්වකින් පාඩම් කරන විට ගෙල පොතට හරවා තබා ගැනීමත් නිදාගැනීම සඳහා පමණට වඩා උස් වූ කොට්ටයක් භාවිත කිරීම වැනි හේතු නිසාත් බෙල්ලේ වේදනාව ඇතිවිය හැක. එමෙන්ම රෑපවාහිනිය පරිගණකය හා ජංගම දුරකතනය සමඟ ගත කරන කාලයද මේ සඳහා ප්‍රබල ලෙස බලපෑම් කරයි. ගෙල එක දිගට නවාගෙන රැකියා කරන ලේඛකයන්, යතුරු ලියන්නන් මෙන්ම බර ඔසවන අයගේද බෙල්ලේ කැක්කුම ඇතිවිය හැක. මෙහිදී කශේරුකා අතර පරතරය අඩුවීම සිදුවේ. බෙල්ලේ ඇතිවන වේදනාව හිසට, අත්දෙකට හා කොන්දට විහිදී යාමත් සිදුවේ. මේ නිසා ඇතැම්විට අත්වල ඇඟිලි හිරිවැටීමක්ද සිදුවිය හැක.

එමෙන්ම යම්කිසි අනතුරකට භාජනය වීමෙන් පසු බෙල්ල ආශ්‍රිත මාංශපේශි, බන්ධනී මෙන්ම අස්ථිවලට හානිවීම සිදුවිය හැක. එමඟින් ස්නායුවලට හානි සිදුවීමක්ද විය හැක. ඒ හේතුවෙන්ද බෙල්ලේ වේදනාව ඇතිවීමට හැකිය.

මීට අමතරව වෙනත් රෝගවල බලපෑම නිසාද බෙල්ලේ කැක්කුම ඇතිවිය හැක. විශේෂයෙන් ක්ෂය රෝගය, මොළේ උණ, ආසාදනය, ෆයිබ්‍රොමැල්ජියා (Fibromyalgia) ලෙස හැඳින්වෙන මාංශ පේශී ගණ වීමත් සමග එන සිරුරේ කැක්කුම වැනි රෝගාබාධ හේතුවෙන්ද ගෙලෙහි වේදනාව ඇතිවිය හැක.

ගෙල සෑදී ඇති කශේරුකා අස්ථී ගෙවීම හා එකිනෙකට ගැටීම මේ වේදනාවට මුහුණ දෙන බොහෝ දෙනා අතර නිතර දකින්න ලැබෙන රෝගයකි. මෙය Spondylosis ලෙසින් හැඳින්වේ. මීට අමතරව ගෙල ආශ්‍රිතව ඇති මාංශ පේශි, බන්ධනීවල ඇතිවන ඇදීමක්, තදවීමක් නිසාද බෙල්ලේ වේදනාව ඇතිවිය හැක.

ගෙල පිහිටා ඇත්තේ කොඳු ඇට පෙළෙහි ඉහළමය. ගෙල සාදන අස්ථී හෙවත් ග්‍රෛවී කශේරුකා අතර අන්තර් කශේරුකා මඬල හැටියට හැඳින්වෙන ජෙලි වැනි ද්‍රව්‍යයක් පිහිටා ඇත. මෙමගින් කොඳුඇට පෙළ පහසුවෙන් නැවීම දිගහැරීම සිදුකරයි. කොඳු ඇට පෙළෙහි ප්‍රධාන කාර්යයක් වන්නේ ශරීරයේ බර උසුලා ගැනීමයි. මොළයත් ශරීරයේ අනෙකුත් ඉන්ද්‍රියන් අතරත් පණිවිඩ හුවමාරු කරනා ප්‍රධාන ස්නායුව වන සුසුම්නාව ආරක්ෂා කිරීමත් කොඳු ඇට පෙළ මගින් සිදුකරයි. මෙම ප්‍රධාන ස්නායුවෙන් හටගන්නා ස්නායු ශාඛා කොඳු ඇට පෙළෙහි අස්ථි දෙකක් අතරින් පිටතට ගමන් කෙරේ.

අපගේ දෑතට ස්නායු පණිවුඩ රැගෙන එන ස්නායු ශාඛා පැමිණෙන්නේ ගෙල ප්‍රදේශයේ ඇති කශේරුකා අතරිනි. මෙහි ඕනෑම ව්‍යුහයක සිදුවන වෙනස්කමකදී හෝ ඒවාට හානි සිදුවීමේදී බෙල්ලේ අමාරුව සමග අත හිරිවැටීම ඇතිවිය හැක.

ගෙලෙහි වේදනාව හටගන්නා හේතුව අනුව ඇතැම් වේදනාවන් දිගු ප්‍රතිකාරවලින් තොරව මඳ රස්නය ඇති ජලයෙන් ගෙල පෙදෙස තැවීම වැනි ප්‍රතිකාර මඟින් මෙය සාමාන්‍ය තත්ත්වයට පත්කළ හැක. බෙල්ල එක දිගට නවාගෙන හෝ ඉහළට ඔසවා තබාගෙන හෝ එකම ඉරියව්වෙන් නොසිට බෙල්ලේ ඉරියව්ව වරින්වර වෙනස් කිරීමට උත්සාහ ගැනීම ඉතා වැදගත් වේ. එමෙන්ම නිදාගැනීමේදී උස් වූ කොට්ට භාවිතා නොකළ යුතුය.

සමහර අවස්ථාවල ගෙලෙහි වේදනාව ඇති විට ඒ වේදනාවට අමතරව වෙනස් රෝග ලක්ෂණයන්ද දැකිය හැකිය. විශේෂයෙන් උණ ගැනීම, හිසරදය, කන් ආශ්‍රිත ප්‍රදේශවල වේදනාව ඇතිවීම දක්නට ලැබේ.

හදිසි අනතුරකින් පසුව ඇතිවන බෙල්ලේ වේදනාවේදී අත් පා වල හිරිවැටීම්, ආහාර ගිලීමට ඇති අපහසුතාවය මෙන්ම හුස්ම ගැනීමේ අපහසුතාවයන්ද ඇතිවිය හැක. එමෙන්ම දහඩිය දැමීම, වමනය සහ හුස්ම ගැනීමේ අපහසුතාවයද ඇතිවිය හැක. මෙවැනි අවස්ථාවලදී වහාම වෛද්‍යවරයකු මුණගැසී අවශ්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබාගත යුතුමය. සමහර බෙල්ල ආශ්‍රිත කැක්කුම් වලින් මිදෙන්න මේ සමග දක්වා ඇති  සරල ව්‍යායාම කිහිපයක් අනුගමනය කිරීමෙන්ද හැකිය.

►සුගත්

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00