2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා

ගතට ලෙඩ දෙන හිතේ ලෙඩට උපදෙස්

 2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 753

මානසික ඒකාග්‍රතාවය ව්‍යායාමයක් ලෙස භාවිතා කිරීම බොහෝ මානසික රෝගවලට හොඳ ප්‍රතිකාරයක් බව සමීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා. මානසික ආතතිය අප බොහෝ දෙනා මුහුණ දෙන ගැලවීමට නොහැකි මනස අවුල් කරන මානසික තත්ත්වයක් බව ඔබ කවුරුත් දන්නවා. එදිනෙදා ජීවිතය සමග පොරබදන විට ප්‍රශ්නවලට මුහුණ දෙන විට ඒවාට අප ප්‍රතිචාර දක්වන ආකාරයට ආතතිය ගොඩනැගෙනවා. එක්තරා මට්ටමකට මානසික ආතතිය ඵලදායී මානසික ප්‍රතික්‍රියාවක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒත් දැඩි ආතතිය අප මානසිකව සහ ශාරීරිකව ලෙඩ කරනවා. හිසේ කැක්කුම, ඇඟපතේ රුදාව, නින්ද නොයාම, නොරිස්සන සුළු බව බිය සහ නිරත වී සිටින තම කාර්යය අසාර්ථක වීම, දැඩි ආතතිය සමග ඇතිවෙන්න පුළුවන් සාමාන්‍ය මානසික සහ කායික තත්ත්වයන් ලෙස හඳුන්වන්න පුළුවන්. එමෙන්ම හෘදයාබාධ, දියවැඩියාව සහ නොයෙකුත් කල් පවතින අසනීප රාශියකට ඔබ ගොදුරු වෙන්න පුළුවන්.

දැඩි මානසික ආතතිය අවම කිරීමට මානසික ඒකාග්‍රතාවය ඇති කරන (Mindfulness) ව්‍යායාමවල ඇති සාර්ථක භාවය පිළිබඳ බොහෝ සමීක්ෂණවලින් තහවුරු කර තිබෙනවා. මෙවැනි සමීක්ෂණ කිහිපයක් පිළිබඳ අපි සොයාබලමු.

අමෙරිකාවේ මැසචුසෙට් සරසවියේ (Massachusetts University) කරන ලද එක් සමීක්ෂණයක් වූයේ කණ්ඩායමක් අරගෙන මානසික ඒකාග්‍රතාවය ඇති කරන ව්‍යායාම කිහිපයක පුහුණුවක් දී සති 8ක් තුළ එම ක්‍රියාකාරකම් තම නිවස තුලදී ප්‍රායෝගිකව සිදුකරන ලෙස උපදෙස් දීමයි. සති 8කට පසු ඔවුන්ගේ ආතතිය සහ මොළයේ සිදුවී ඇති රසායනික වෙනස්කම් සොයාබලන ලදී.

එහිදී දුටු වෙනස්කම්:

1. එම කණ්ඩායමට සමීක්ෂණ කණ්ඩායම් ඉදිරියේ දේශනයක් කිරීමට අවස්ථාවක් ලබාදුණි. දේශනයෙන් පසු ඔවුන් තුළ ඇතිවූ ආතතියත් මැන බලනු ලැබීය. මෙම කණ්ඩායමේ එම ආතතිය අදාළ ව්‍යායාම කිරීමට පෙර තිබුණාට වඩා බොහෝ සේ අඩු වී තිබුණි.

2. එම කණ්ඩායමේ මොළයේ ආතතියට අදාළ හෝමෝන ප්‍රතික්‍රියාවන් වගේම නොයෙකුත් රෝගී තත්ත්වයන් ඇතිකරන අසාමාන්‍ය ප්‍රෝටීන්ද සති අටේ ව්‍යායාමයෙන් පසු අඩුවී තිබුණි. (Reduced ACTH hormone and Abound Protein – TNF or and EL – or)

ඉහත කණ්ඩායමට සති අටේ පුහුණුවේදී ලබා දී තිබුණු ව්‍යායාම වූයේ එදිනෙදා ජීවිතය තුළදී තමා කරන ක්‍රියාව පිළිබඳ සිහියෙන් සිටීම (Awareness about Present Moment), කුතුහලයෙන් සිටීම (Curiosity) සහ විනිශ්චයක තොරව (Non judgmental) සිටීමයි.

අමෙරිකාවේ මැසචුසෙට් සරසවියේ කරන ලද තවත් අපූරු සමීක්ෂණයක් බලමු. අපි දන්නවා සමහර වේදනාවන් ඖෂධවලට අසුවෙන්නෙ නැහැ කියලා. හිසේ කැක්කුම, කොන්දෙ කැක්කුම, නොයෙත් ශාරීරික වේදනා වැනි දෑට ප්‍රතිකාර ගැනීමට බොහෝ රෝගීන් සායනවලට යොමු වෙනවා. මෙම සරසවියේ විද්‍යාඥයන් පිරිසක් එකතු වී එසේ වේදනාවන් අඩුනොවන රොගීන් කණ්ඩායමක් තෝරාගෙන දිනකට විනාඩි 40ක් මානසික ඒකාග්‍රතාවය වඩන ව්‍යායාමවලට පුහුණු කර සති 8කට පසුව එම වේදනාවන්ගේ ස්වභාවය මැන බැලුවා. මෙම රෝගීන් කණ්ඩායම ඖෂධ නොගෙන මෙම ව්‍යායාමවල යෙදුණු අතර ඖෂධ ලබාගන්නා කාලයටත් වඩා හොඳින් ඔවුන්ගේ ශරීරික වේදනාව අඩු වී තිබෙන බව සමීක්ෂණයෙන් තහවුරු විය.

මානසික ඒකාග්‍රතාවය (Mindfulness) වඩන භාවනා සහ ව්‍යායාම තුළින් මොළය තුළ ව්‍යුහාත්මක වෙනස්කම් ඇති වන බව ඉතා පැහැදිලිව සමීක්ෂණවලින් අද සනාථ කර තිබෙනවා. මේ පිළිබඳව බොහෝ සමීක්ෂණ කළ විද්‍යාඥයෙක් ලෙස හාවඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සාරා ලාසාර් (Dr. Sara Lazar) හඳුන්වන්න පුළුවන්. ඇය ආතතිය පිළිබඳ මෙසේ පවසනවා. අපට ජීවිතයේ ඇති වන වේදනාකාරී, පීඩාකාරී, අවස්ථාවක් සම්පූර්ණයෙන්ම වළක්වා ගන්න බැහැ. නමුත් අපි එම සිතුවිලි සහ සිද්ධීන් සමඟ පීඩාවට පත්වන්නේ ඒවායේ ඇති සැටිය (Reality) පිළිගැනීමට මනස ඉඩ නොදෙන නිසාය. අපි ඇති සැටිය (Reality) අවබෝධ කරගෙන (Conscious awareness) එම තත්ත්වයන් පිළිගැනීම තුළ (Radical acceptance) අපේ මනස දැඩි ආතතියට නොයෙන බව මහාචාර්ය ලාසා පෙන්වා දුනි.

අවු. 2500කට පෙර බුදුන් වහන්සේ මෙම ක්‍රමවේද භාවිතාකර ඇති බව බෞද්ධ දර්ශනයෙන් පැහැදිලි වේ. කිසාගෝතමියගේ කථාව මීට එක් නිදසුනකි. තම දරුවා මියගිය පසු කිසා ගෝතමිය එම මළසිරුර රැගෙන එයට පණ දෙන ලෙස ඉල්ලමින් ගම පුරා දුවමින් සිටින විට බොහෝ මිනිසුන් පැවසුවේ ඇගේ දරුවා මිය ගොස් ඇති බවය. එය පිළිගැනීමට කිසා ගෝතමිය අකමැති විය. ඇයගේ වියරුව සහ නොසන්සුන් බව තව තවත් වැඩි විය. බුදුන් වහන්සේ ඇයට හමුවන්නේ මේ අතරතුරය. බුදුන් වහන්සේ කිසාගෝතමියට පවසන්නේ කිසිවකු නොමළ ගෙයකින් අබ ටිකක් සොයාගෙන එන ලෙසයි. එවැනි ගෙයක් සොයාගෙන යන කිසාගෝතමියට කිසිවකු නොමළ ගෙයක් නොමැති බව ක්‍රමානුකූලව අවබෝධ විය. ඇගේ මනස වෙනස් විය. ඇය සිතන අයුරු වෙනස් විය. මරණය නොවැළැක්විය හැකි සදාතන ධර්මයක් ලෙස ඇයට පසක් විය. හාවඩ් සරසවියේ Dr. ලාසා ඇතිසැටිය පිළිගැනීම (Reality acceptance) ලෙස පෙන්වා දුන්නේද කියාගෝතමිය අවබෝධ කරගත් එම යථාර්ථයයි.

හාවඩ් සරසවියේ Dr. ලාසාගේ සමීක්ෂණයක ප්‍රතිඵල මෙසේ දැක්වෙනවා. ඇය තරුණ කණ්ඩායමක් ගෙන ඔවුන් සති අටක මානසික ඒකාග්‍රතාවය වඩන (දවසට විනාඩි 40 බැගින්) ව්‍යායාමයකට යොමුකළා. සමීක්ෂණයට ප්‍රථමව සහ පසුව මොළයේ හැඟීම් සහ බුද්ධියට අදාළ මධ්‍යස්ථාන පහක යම් වෙනස්කමක් සිදුවී ඇත්දැයි FMRI ස්කෑන් පරීක්ෂණ යොදාගෙන සොයා බැලුවා. මෙම සමීක්ෂණයේදී පෙනී ගියේ පහත සඳහන් මොළයේ මධ්‍යස්ථානවල ස්නායු ජාල සහ ඒවායේ ක්‍රියාකාරීත්වය වැඩි වී ඝණකමද වැඩිවී තිබුණු බවයි. මෙම මධ්‍යස්ථාන මොනවාදැයි බලමු.

1. Grey Matter - මොළයේ ස්නායු පද්ධතියේ ප්‍රධාන සෛල කොටස් මෙහි ඇතුළත ඇත.

2. Posterior Cingulate - මෙහි ක්‍රියාකාරීත්වය මනස සංසුන්ව තබා ගැනීමට වැදගත් වේ.

3. Left Hippocampus - මෙය අපගේ මතක ගබඩාවයි.

4. Temporo Parietal Junction - මෙම මධ්‍යස්ථානය මගින් සහකම්පනය සහ දයානුකම්පාව නිර්මාණය කරයි.

5. Pons - මෙම කොටස මොළය සන්නිවේදනය එකිනෙකට සම්බන්ධ කරයි.

එමෙන්ම අපගේ බිය සහ නොසන්සුන් බව ඇති කරන amgydala (ඇමිග්ඩෙලා) නම් මධ්‍යස්ථානයේ අසාමාන්‍ය ක්‍රියාකාරීත්වය අවම කර මනස සන්සුන් භාවය වැඩි කරයි.

මෙවැනි සමීක්ෂණ විශාල සංඛ්‍යාවක් මේ වනවිට ලෝකයේ පිළිගත් විශ්වවිද්‍යාලවල සිදුකර තිබේ. මෙම හැම සමීක්ෂණයකින්ම තහවුරැ වී ඇත්තේ මානසික ඒකාග්‍රතාවය හෙවත් මානසික සන්සුන් බව (mindfulness) මානසික සහ ශාරීරික සෞඛ්‍ය යන දෙකම දියුණු කර බවයි.

►කිරිබත්ගොඩ මූලික රෝහලේ
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00