2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා

මිලියන 200ක් බිලිගත් රතු ලප එන උණ!

 2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 392

\

උණත් එක්ක ඇඟේ රතු පැල්ලම් එන විට මේ දිනවල කාගේත් අවධානය එක්වරම යොමුවන්නෙ ඩෙංගු රෝගය ගැනයි. නමුත් උණ සමඟ රතු පැල්ලම් දකින්නට ලැබෙන්නෙ ඩෙංගුවලදී පමණක්ම නෙමෙයි. එබඳු තවත් රෝග තත්ත්වයක් හැටියට මේ දිනවල සෞඛ්‍ය  අංශයේ කතාබහට නැවත ලක්වී ඇති සරම්ප රෝගය හඳුන්වන්න පුළුවන්. පසුගිය වසර 150 තුළ පමණක් සරම්ප රෝගය හේතුවෙන් ලොව පුරා ජනතාව මිලියන 200ක් පමණ මියගොස් ඇති අතර එය ආසියාව තුළ ඉහළ අවදානමක් සහිත රෝගයක් බවට දැන් පත්ව තිබෙනවා. ශ්‍රී ලංකාව තුළද සරම්ප රෝගීන් සංඛ්‍යාව මේ වනවිට ඉහළ යමින් තිබෙන බවත්, එහෙයින් ජූලි මස පස් වැනිදා විශේෂ සරම්ප ප්‍රතිශක්තීකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය කියා තිබෙනවා.

මේ සඳහා දැනට ලබාදෙන එම්.එම්.ආර්. එන්නතට අමතරව මාස හයත් දොළහත් අතර දරුවන්ට එදින විශේෂ එන්නතක් ලබාදීමට අමාත්‍යාංශය තීරණය කර තිබේ. වෛද්‍යවරු පවසන්නේ මින් ඉහත සරම්ප රෝගය වැළඳී ඇති දරුවන්ට ද මෙම එන්නත ලබාදිය යුතු බවයි. මේ නිසා අද අපි 'දේශය' පාඨක ඔබ සරම්ප රෝගය ගැන දැනුම්වත් කිරීමට සිතුවෙමු.

සරම්ප රෝගය බුද්ධ වර්ෂ 600න් ඔබ්බටද වාර්තා වේ. කෙසේ වුවද රෝගය පිළිබඳව මුල්ම විද්‍යාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලද්දේ බු.ව. 860–932 කාලයේදී විසූ පර්සියානු ජාතික විද්‍යාඥයකු විසිනි. ඔහු විසින් රචිත ග්‍රන්ථයක වසුරිය හා සරම්ප රෝගය අතර වෙනස්කම් හා රෝගය හඳුනා‍ගන්නා ආකාරය විස්තර කර තිබිණි. සරම්ප වෛරසය හඳුනාගැනීමේ ගෞරවය එන්ඩර්ස් හා පීබල්ස් යන වෛද්‍යවරුන් දෙදෙනාට හිමි වේ.

1954 දී අමෙරිකානු ජාතික එකළොස් හැවිරිදි ඩේවිඩ් එඩ්මන්ඩ්සන් නම් රෝගී පිරිමි ළමයාගේ සිරුරෙන් ලබාගන්නා ලද වෛරසය විද්‍යාඥයන් විසින් කුකුළු කළල මාධ්‍යයක වර්ධනය කරන ලදී. මෙලෙස මේ වනවිට වෛරසයේ ප්‍රභේද 21ක් හඳුනාගෙන ඇත. 1963 සිට බලපත්‍ර ලද රෝගය සඳහා ප්‍රතිශක්ති එන්නත් භාවිතයට ගැනේ. සරම්ප රෝගය වළක්වාලීම සඳහා භාවිත වන එම්.එම්.ආර්. එන්නත නම් වූ එය සරම්ප, කම්මුල්ගාය හා රුබෙල්ලා යන රෝග තුනටම ප‍්‍රතිශක්තිය ලබාදීමට සමත්ය. ශී‍්‍ර ලංකාවේ මාස 9ක් පිරුණු දරුවන්ට සරම්ප එන්නත අනිවාර්යයෙන්ම ලබාදෙනු ලැබේ.

සරම්ප:

රුබෙයෝලා නමින්ද හැඳින්වෙන සරම්ප රෝගය මෝබිලි වෛරස් නම් ගණයට අයත් පැරාමික්සො වෛරසය මගින් ඇති කරනු ලැබේ.

ඕනෑම වයසක කෙනකුට සෑදිය හැකි වුවද වැඩි වශයෙන් සරම්ප රෝගය වැළඳෙනුයේ කුඩා ළමයින්ටය. ඉතා කුඩා ප්‍රතිශතයකට අතුරු ආබාධ සහ වෙනත් සංකූලතා ඇතිවිය හැකි වුවද වැඩි දෙනෙක් එයින් පූර්ණ සුවය ලබති.

රෝගය මූලිකවම පැතිර යන්නේ ආසාදිත රෝගියකුගේ නාසයෙන් හා මුඛයෙන් පිටවන බිඳිති කෙළින්ම හෝ වාතය මාර්ගයෙන් ව්‍යාප්තවීම මගිනි. රෝගය සඳහා ප්‍රතිශක්තිකරණය නොමැති අය අතරින් 90%කටම අසාදිත රෝගියකු මාර්ගයෙන් මෙලෙස රෝගය බෝවේ. ඒ නිසා සරම්ප රෝගය ඇතැයි අනුමාන කෙරෙන සෑම රෝගියකු හටම ඉහත ආකාරයට වාතය මගින් බෝවීම වැළැක්වීම සඳහා ආරක්ෂිත විධි විධාන යෙදිය යුතුය.

රෝග ලක්ෂණ:

මුලින්ම ඇතිවන රෝග ලක්ෂණ වනුයේ තද උණ, නාසයෙන් සොටු දියර ගැලීම හා ඇස් ආසාදනයයි. ඊට අමතරව වියළි කැස්ස, කෑම අරුචිය, ඇඟපත අමාරුව හා පාචනය ඇති විය හැකිය. පුද්ගලයකු තුළට වෛරසය ඇතුළු වී දින 10ක් 14ක් ගත වූ පසුව ඔහුට රෝග ලක්ෂණ ඇතිවෙයි. රෝගය වැළඳී දින 4–5ක් පමණ වනවිට උණ රෝගය වැඩි වී අඩු වන්නට පටන් ගන්නා අතර ඇඟ පුරා රතු පැහැ පැල්ලම් මතුවෙයි. හිසෙන් පටන්ගෙන පැතිර යන රතු පැල්ලම් දින 03ක්/ 04ක් ඇතුළත දැකිය හැකි වේ. දින 2/3ක් අතර මුළු ශරීරය පුරා පැතිර යන මෙම පැල්ලම් දුඹුරු පැහැති වී ක්‍රමක්‍රමයෙන් නැති වී යයි. මේ විදියට උණ අඩුවී යන කාලයට මෙම පැල්ලම් කන දෙපස සිට පහළට මුළු ශරීරය පුරාම පැතිර යයි. පැතලි රතු පැහැ ලප වන අතර, තදින් තද කළ විට නැවත මතුවේ. ඇතැම් විට මෙම ලප ඉහළට මතුවී හොඳින් අතින් අල්ලන්නටද පුළුවනි. මෙම ලප දින 09 ක් පමණ වනවිට අඩු වී යයි. දින 2ක් පමණ ගතවන විට කට ඇතුළත හක්ක ප‍්‍රදේශයේ සුදු පැහැ පැල්ලම් (Koplik’s spots) මතුවී ඇති වී දින 5-6 පමණ වනවිට අඩු වී යයි. කැස්ස, ඇසේ රතු පැහැය වැනි රෝග ලක්ෂණ ද ඇතිවෙයි. 

අනෙකුත් අතුරු ආබාධ සහ සංකූලතා:

කන් ආසාදනය - මේ නිසා කන් කැක්කුම ඇතිවිය හැක.

උණ වලිප්පුව - ශ්වසන ආබාධ - නියුමෝනියාව  

එන්කෙපලයිට්ස් - මෙම මොළයේ සිදුවන ආසාදනය දුබල වුවද මාරාන්තික විය හැකිය. නිදිමත ගතිය, හිස කැක්කුම හා වමනය මෙම තත්ත්වයේ රෝග ලක්ෂණ වේ.

වපරය - වපරය සෑදීමේ හැකියාව සරම්ප රෝගය සෑදුණු ළමුන්ගේ වසර ගණනාවකට පසුව ඇතිවිය හැකි දුර්ලභ තත්ත්වයකි.

මතක තබාගන්න, සරම්ප රෝගය නිසා සංකූලතා බොහොමයක් දැකිය හැක්කේ ප්‍රතිශක්තිය අඩු හා මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් අතරය. එම හේතුව නිසා දියුණු වෙමින් පවතින රටවල තවම සරම්ප නිසා මරණයට පත්වන ළමුන් ගණන සැලකිය යුතු ප්‍රමාණයකි.

වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වනුයේ:

සාමාන්‍යයෙන් විශේෂිත ප්‍රතිකාර නොමැතිව සරම්ප රෝගය සම්පූර්ණයෙන්ම සුව වුවද රෝගය හඳුනාගැනීම සඳහා වෛද්‍යවරයකු ලවා පරීක්ෂා කර බැලිය හැක. ඊට අමතරව රෝගය උත්සන්න වෙන ලකුණු තිබෙන විට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වේ.

එම ලක්ෂණ වනුයේ, නිදිබර ගතිය

විජලනය - බොන දියර ප්‍රමාණය අඩු වූ විට මෙය සිදුවේ.

පිටවන මූත්‍රා ප්‍රමාණය අඩුවීම, කට/ දිව වියළීම මෙහි ලක්ෂණ වේ.

හුස්ම ගැනීමේ අපහසුතා සහ වලිප්පුව

ප්‍රතිකාර:

සරම්ප වෛරසය සඳහා විශේෂිත ප්‍රතිකාර නොමැති වුවද ශරීරයේ ප්‍රතිශක්තියෙන් රෝගය මර්දනය කරන තුරු රෝග ලක්ෂණ පාලනය කිරීම සඳහා සුළු ප්‍රතිකාර කළ හැක.

වැඩිපුර දියර පානය කිරීම. උණ හා ඇඟපතේ අමාරුව සඳහා පැරසිටමෝල් නියමිත මාත්‍රාව ලබාදිය හැක.

ප්‍රතිජීවක පෙති දීම - සරම්ප නිසා කන් අමාරුව, නියුමෝනියාව වැනි බැක්ටීරියා ආසාදන ඇතිවූ විට පමණක් ප්‍රතිජීවක දිය හැක. සාමාන්‍ය සරම්ප රෝගය සඳහා ප්‍රතිජීවක අනවශ්‍ය වේ.

රෝගය වැළැක්වීම හා නිවාරණය

සරම්ප රෝගය ශීඝ්‍රයෙන් බෝවේ. වෛරසය ශරීරගත වූ පසු දින 10-14ක් ඇතුළත රෝග ලක්ෂණ මතු වේ. රෝගය පැතිරීම සිදුවන්නේ රෝග ලක්ෂණ පහළ වීමට දිනකට පෙර සිට රෝග ලක්ෂණ පහළ වී දින 5ක් පමණ වන තුරුයි. එබැවින් සරම්ප රෝගය වැළදී  ඇති අය සෙනග ගැවසෙන ස්ථානවලට යෑමෙන් හා පාසල් යාමෙන් වැළකිය යුතුය.

සරම්ප ප්‍රතිශක්තිය ලබාදුන් ළමුන්ට සරම්ප සෑදීමේ හැකියාව ඉතා අඩුය. ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අනුව සරම්ප ප්‍රතිශක්තිකරණ මාත්‍රා 02ක් ලබා දේ. පළමු මාත්‍රාව වයස මාස 03 දී හා දෙවැනි මාත්‍රාව වයස අවුරුදු 3 දී ලෙස මේවා ලබා දේ.

  • සුගත්