2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා

සිරුරට ලෙඩ දමන විස නසන හැටි!

 2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 1657

අද අපේ ශරීරය රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වන අවස්ථා ප්‍රමාණය ඉහළ ගිහිල්ලා තියෙන්නේ. අපි හුස්ම ගන්නේ වසවිස. කන්නෙ බොන්නෙ වස විස. ඒ වගේම අපේ ශරීරය තුළත් රසායනික ප්‍රතික්‍රියා නිසා හානිදායක විස ද්‍රව්‍ය නිපදවෙනවා. මතක තියාගන්න  අපේ  ශරිරයේ මෙවැනි හානිදායක රසායනික ද්‍රව්‍ය හා සටන් කර ඒවා ශරීරයෙන් බැහැර කිරීමට අවයව හා පද්ධති නිර්මාණය වෙලා තිබෙනවා. මෙම නිසාම බොහොමයක් විෂ අපිටම අපේ ශරීරයෙන් බැහැර කරවීමට හැකියාවක් තියෙනවා. ඉතින්  අපි අපේ ශරීරය විෂ බැහැර කිරීම කරන ආකාරයත්, මෙම ක්‍රියාවලිය නිසිලෙස සිදු නොවුණහොත් ශරීරයට විය හැකි හානිය වගේම මෙම ක්‍රියාවලිය කාර්යක්ෂමව පවත්වාගන්න අපිට කිරීමට හැකි දේවල් ගැන කතා කරමු.

විස බැහැර කරන අවයව:

පෙනහළු – අපේ පෙනහළු අපේ ශරීරයට අවශ්‍ය ඹක්සිජන් ලබා දෙන අතරම අපේ ආශ්වාසය සමඟ ශරීරයට ඇතුළු වන විෂ වායූන් ප්‍රාශ්වාසය සමඟ පිට කරමින් අපිව ආරක්ෂා කරනවා.

සම - සම අපට මෙහිදී විෂ ශරීරයට අවශෝෂණය කර ගැනීම අඩු කරනවා.

ආහාර ජීර්ණ පද්ධතිය - මෙහි ප්‍රධාන කාර්යය ආහාර ජීර්ණය වුවත්, අපගෙන් ආහාර ජීර්ණ පද්ධතිය ආහාර සමඟ ශරීරයට ඇතුළු වන විෂ බැහැර කරන්නත් ආහාර ජීර්ණ පද්ධතිය සමත්. ඒ වමනය හා මලපහ හරහා.

වකුගඩු - රුධිරයෙහි වන විෂ සහිත දෑ රුධිර යෙන් පෙරා මුත්‍රා සමග පිට කරමින් වකුගඩු අපට උපකාර වෙනවා.

අක්මාව - ශරීරයේ ස්වාභාවික විෂහරන ක්‍රියාවලියේදී ප්‍රධානතම කාර්යය කරන්නේ අපේ අක්මාවයි. එය අපේ රුධිරයේ ඇති වසවිසවල රසායනික සංයුතිය ශරීරයෙන් පිට කිරීමට හැකි ලෙස වෙනස් කිරීම හෝ ශරීරයට හානිදායක නොවන ද්‍රව්‍යයකට වෙනස් කොට නැවත රුධිරයට හෝ ආහාර ජීර්ණ පද්ධතියට යැවීමත් නැතිනම් අක්මාව තුළටම තැන්පත් කර ගැනීමට මුදාහැරීමත් සිදුකරනවා.

විස බැහැර කිරීම නිසිලෙස සිදු නොවන්නේ ඇයි?

අපගේ ශරීරයේ විෂ බැහැර කිරීමට යාන්ත්‍රණයක් තිබුණත් ශරීරයට ඇතුළු වන විෂ සියල්ලම යම් හේතූන් නිසා එයින් බැහැර නොකෙරෙයි. මෙයට අපේ ආහාර ඇවතුම් පැවැතුම් වගේම අද නවීන ලෝකයේ කෘතිම හා ක්ෂණික ආහාරවල අඩංගු අහිතකර රසායනික ද්‍රව්‍යත් හේතු වෙන්න පුළුවන්. ඒ වගේමයි ශරීරයේ ඇති අනෙකුත් ලෙඩ රෝගයන් නිසා හටගන්නා සංකුලතා ද මෙයට හේතුවිය හැකියි.

වසවිස එලෙස ඉතිරි වූ විට සිදු වෙන්නේ කුමක්ද?

මෙය රෝග පීඩා බොහෝමයකට හේතු වෙන්න පුළුවන්. සමේ රෝග ඉදිමුම් කැක්කුම්වල සිට ක්ෂණිකව පහළවන රෝග මෙන්ම කාලාන්තරයක් ටිකෙන් ටික එකතු වන වස නිසා ඇති වන නිදන්ගත අක්මා වකුගඩු රෝග වැනි අසාධ්‍ය රෝග ඇති කරන්නත් මෙය හේතුවක්.

විෂ රසායනික ශරීරයේ ඇති කරන හානි:

මෙවැනි විෂ, මූලිකවම ශරීරයේ එන්සයිමවලට හානි කරනවා. ඛනිජ ලවණ මට්ටම වෙනස් කරනවා. එයින් අපගේ අස්ථි පද්ධතියට හානි වෙන්න පුළුවන්. අක්මාව වකුගඩු වැනි අවයවවලට හානි පමුණුවනවා. හෝමෝනවල අසමතුලිතතාවන් වගේම හෝමෝන සම්බන්ධ ගැටළු මතු කරනවා. සෛල පටලයට හානි කරනවා. DNAවලට හානි කර විකෘතියට ලක්කරනවා. ශරීරයේ විෂහරණයට ඇති හැකියාව හීන කරනවා. මේ හැර  තවත් බොහෝ රෝග තත්ත්වයන් ඇති කරන්නත් මේ විෂ හේතුවෙනවා.

ශරීරයේ විෂහරන ක්‍රියාවලිය වේගවත්ව සහ කාර්යක්ෂමව පවත්වාගන්න අපට කළ හැකි දේ?

නියම වෙලාවට ආහාර ගනිමින්, නියමිත පරිදි නින්දක් ලබමින්, මානසික පීඩාවන් අවම කර ගනිමින් ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳින් පවත්වා ගන යන්න.

එලවළු පළතුරු හා කහ, සුදුලූනු වැනි කුළුබඩු යෙදූ ආහාර වැඩි වැඩියෙන් ප්‍රයෝජනයට ගන්න. බඩවැල් පිරිසුදු කරන කෙඳිති සහිත ආහාර නිතර ආහාර වේලට එකතු කර ගන්න.

ශරීරයෙන් සිදු කරන විෂහරණයට අතිරේකව අවුරුද්දකට දෙවරක්වත් ස්වාභාවික විෂහරණ ක්‍රියාවලියක නිරත වෙන්න. වැඩිපුර වතුර බොන්න.

දහඩිය පිටකරන සිරුර වෙහෙස කරන කාර්යයන් කටයුතු දෛනික වැඩකටයුතුවලට එක් කර ගන්න. (yoga, ව්‍යායාම වැනි දෑ) මොකද දහඩිය සමග දශරීරයේ සමහරක් විෂ බැහැර කළ හැකියි.

ප්‍රබල කෘතිම පිරිසිදු කාරක, කෘතිම ආහාර, ප්ලාස්ටික් වැනි දෑ පරිභෝජනයෙන් හැකිතාක් වළකින්න.

- සුගත්