2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා

නිදාගන්න හොඳම වෙලාව දන්නවාද?

 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 1261

නිරෝගී සුව ලැබීම සඳහා දවසේ ඔබ නිදාගතයුතු විශේෂ වෙලාවක් සොබාදහම මගින් වෙන්කර තිබෙනවා. ඒ ගැන මෙතෙක් ඔබ නොදැන සිටින්නට ඇති. නිදාගැනීම සඳහා ඇති ඒ විශේෂ වෙලාව කුමක්ද? ඒ වෙලාවට නිදා ගැනීමෙන් ලැබෙන විශේෂ පළ ප්‍රයෝජනයක්  තිබෙනවාද? අද අපි කතා කරන්නෙ ඒ ගැනයි.

කලින් නින්දට ගොස් කලින් අවදිවීම ඇඟට හොඳ බවට අපේ පැරැණි විශ්වාසයක් තිබෙනවා. ඒ කියන විදිහට පරක්කු වී නිදාගෙන මහ දවල් අවදිවීම සෞඛ්‍යාරක්ෂිත නෑ. අපේ පැරැන්නන් දැරූ මේ මතයේ සත්‍ය අසත්‍යතාවය කුමක්ද?

අපගේ ශරීරය තුළ සියලු ජීවක්‍රියා සිදුවන්නට නියමිත විශේෂ වෙලාවක් සොබාදහම මගින් වෙන්කර තිබෙනවා. මේ අනුව ස්වභාවධර්මයා විසින් නිර්මාණය කරන ලද පුදුමාකාර ඔරලෝසුවක් අපේ සිරුර තුළ ක්‍රියාත්මක බවයි නූතන වෛද්‍ය විද්‍යාවත්  කියන්නේ. ජෛව ඔර්ලෝසුව ලෙස හැඳින්වෙන මේ නිශ්චිත කාල සීමාවන් එය අපේ ශරීර සුවතාව රැකගැනීම සඳහා ඉතා ඉහළ වටිනාකමකින් යුතු සේවයක් සපයනවා. එය ඔබගේ ශරීරයේ බොහෝ ඉන්ද්‍රියන්ගේ ක්‍රමානුකූල පැවැත්ම තීරණය කරනවා. එමෙන්ම එම ඔරලෝසුව විසින් ඔබගේ නින්ද වෙනුවෙන්ද නිශ්චිත කාලයක් වෙන්කොට තිබෙනවා. ඒ තමා රාත්‍රී 11 සිට පාන්දර 3 අතර කාලය. 

මොකක්ද මේ වෙලාවේ නිදා ගැනීමේ වැදගත්කම?

ඔය කියන රාත්‍රි 11 සිට පාන්දර 3 අතර කාලයේදී අපගේ අක්මාව තුළ වැඩි රුධිරය ප්‍රමාණයක් එකතුවෙනවා. මෙලෙස සංසරණය වෙන ඉහළ රුධිරය ධාරිතාවය සමඟ අක්මාව කෙමෙන් විශාල වෙනවා.
ඔබගේ ශරීරයේ විෂ නැසීමේ ක්‍රියාවලිය අක්මාව විසින් සිදුකරන්නේ මේ කාලය තුළදීයි. ඉතින් ඔබ මේ කාලසීමාව තුළ නිදාගත්තේ නැතිනම්, ඔබගේ අක්මාවට මේ කටයුත්ත සාර්ථකව සිදුකිරීමට අපහසු වෙනවා. හරියටම මේ කියන වෙලාවට නිදා ගතයුතු ඒ නිසයි.

ඔබ ජෛව ඔර්ලෝසුව නියම කර ඇති හැටියට රෑ 11 සිට පාන්දර 3 දක්වා නිදාගත්තොත් විෂ නැසීමේ ක්‍රියාවලිය සඳහා අක්මාවට පැය 4ක ප්‍රමාණවත් කාලයක් ලැබෙනවා. නමුත් ඔබ 12ට නිදාගත්තොත් පැය 3ක් ද, 1ට නිදාගත්තොත් පැය 2 ක් ද, 2ට නිදාගත්තොත් පැය 1ක් ද ආදී වශයෙන් අපගේ ශරීරය විෂ නැසීම සඳහා ඇති  කාලය සීමා කරගන්නවා.

හොඳයි ඔබ පාන්දර 3ට නිදාගත්තොත්... 

ඇත්තටම ඔබගේ ශරීරයට අහිතකර විෂ ද්‍රව්‍ය නැසීමට අක්මාවට කාලයක් ලැබෙන්නේ නැහැ. එසේ වුවහොත් කෙමෙන් අපගේ ශරීරය තුළ අහිතකර දෑ එකතුවෙන්නට පටන් ගන්නවා. එය තමා නිදන්ගත රෝගවලට මුල. සාමාන්‍යයෙන් කෙනෙකුගේ වයස අනුව නිදා ගත යුතු කාලය වෙනස් වෙනවා ඒ ගැනත් ඔබේ අවධානය යොමු කිරීම වැදගත්. (වයස අනුව නින්ද: සටහන බලන්න)

එසේනම් ඔබ ප්‍රමාද වී නිදාගෙන ප්‍රමාද වී අවදි වුවහොත් මොකද වෙන්නේ? 

ඔබ කෙතරම් ප්‍රමාද වී අවදි වුවත් ඉතාමත් තද තෙහෙට්ටු ගතියක් දැනෙනවා නේද? ඒ කියන්නේ ප්‍රමාදවී නිදාගෙන ප්‍රමාදවී අවදිවීම සෞඛ්‍යයට අහිතකර බවයි. තෙහෙට්ටුව මගින් නොකියා කියන්නේ එයයි. සාමාන්‍යයෙන් උදෑසන 3 සිට 5 අතර කාලය තුළදී ඔබගේ පෙනහලු තුළ වැඩි රුධිර සංසරණයක් සිදු වෙනවා. මේ කාලය තුළ ඔබට කළ හැක්කේ කුමක්ද? ව්‍යායාම කිරීම සහ නැවුම් වාතය ආශ්වාසය කිරීමයි. එමෙන්ම මේ කාලය තුළ පරිසරය තුළ ද ශරීරයට හිතකර ඉතාමත් නැවුම් වාතය අඩංගු වෙනවා.

ඒ වගේම උදෑසන 5 සිට 7 දක්වා කාලය තුළ අපගේ ශරීරයේ වැඩි රුධිර සංසරණයක් සිදුවන්නේ මහා අන්ත්‍රය තුළයි. මේ කාලය තුළ දී වැසිකිලි යෑම, එමෙන්ම දිනය පුරාම ශරීරයට අවශ්‍ය පෝෂණය ලබාගැනීමට ශරීරය සකසා ගැනීම වැනි දෑ සිදුකළ හැකියි.

ඒ වගේම උදෑසන 7 සිට 9 දක්වා කාලය තුළ අපගේ ශරීරයේ වැඩි රුධිර ගමනාගමනයක් සිදුවන්නේ ආමාශය තුළයි. දවසේ ප්‍රධානම ආහාරය වන උදෑසන ආහාර වේල ලබාගැනීම සඳහා මේ කාලය වඩාත් වැදගත් වෙනවා. උදෑසනට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාගැනීමත් වැදගත්. උදෑසන ආහාරය මගහැරීම හෝ ප්‍රමාද කිරීම අනාගතයේ බොහෝ සෞඛ්‍ය ගැටලු ඇති කිරීමට හේතුවක් වෙනවා.

නගරබද අයට වඩා ගම්මානවල ජීවත්වන මිනිසුන් වඩා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගතකිරීමට හේතුවද මෙයයි. ඔවුන් කලින් නිදාගෙන කලින් අවදිවෙයි. උදෑසන කය වෙහෙසන පිරිසුදු වාතය ආශ්වාස කළ හැකි වැඩක යෙදෙයි. උදෙන්ම හොඳ අහාර වේලක් ගනියි. ඉතින්  ඔවුන් නොදැනුවත්ව හෝ අනුගමනය කරන්නේ ස්වභාවධර්මයා විසින් සකසා දී ඇති ඔරලෝසුවයි. ඔබත් අද සිට ජෛව ඔරලෝසුව අනුව දවස සකසා ගන්න. 

– සුගත්