2019 ජනවාරි 26 වන සෙනසුරාදා

සිහින රහස්

 2019 ජනවාරි 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 693

‍ගිය සතියේ මේ තීරුවෙන් අපි කතා කළේ අවදියෙන් සිටින කාලය තුළ ජීවිතය ගෙන යාමට අවශ්‍ය මතක පරිපථ සිහින තුළදී නිර්මාණය වන බවට ඇති මතය ගැනයි. දැන් අපි තවත් මතයක් ගැන බලමු.

මීයන් අරගෙන කළ එක් පරීක්ෂණයකදී තහවුරු වී ඇත්තේ දවල් කාලයේදී ඔවුන්ගේ බොහෝ හැසිරීම් රටාවන් සිහින තුළින් නිර්මාණය කරගන්නා බවයි. අපි සුපුන්ගේ කතාව බලමු. සුපුන් අ.පො.ස සාමාන්‍ය පෙළට ඉතා මහන්සි වී වැඩ කළ දරුවෙකි. ඔහු දිනක් මෙවැනි සිහිනයක් දුටුවේය. එම සිහිනය තුළ ඔහු දුටුවේ ඉතා හොඳින් සාමාන්‍ය පෙළ සමත් වී ප්‍රතිඵල ලේඛනය ඇතැතිව සිනාමුසු මුහුණින් දෙමාපියන් හමුවට පැමිණෙන ආකරයයි. මේ හා සමාන සිහින කීප වතාවක්ම සුපුන්ට පෙනී ඇත. බොහෝ අය මෙය විග්‍රහ කර තිබුණේ සුපුන් විභාගය අසමත් වන ලකුණක් ලෙසටයි. මේ නිසා කනස්සල්ලට පත් සුපුන් අප සායනයට යොමු වූයේ කනස්සල්ලෙන් සහ දැඩි ආතතියෙනි. සුපුන්ට මෙම සිහිනය ඉතා හොඳ සිහිනයක් බව අප විග්‍රහ කර දුන්නේය. මෙය විභාගයට ප්‍රථමව මනස නිසි ලෙස සකස් කිරීමක් බව අප ඔහුට අවබෝධ කරදුනි. සැබැවින්ම සුපුන් A සාමාර්ථ 8ක් ලබාගෙන හොඳින් සමත් වීම අවසාන ප්‍රතිඵලය විය.

සිහින පිළිබඳ නූතන මනෝ විද්‍යාත්මක අදහස් ලොවටම හෙළි කළ අනෙක් මනෝ විශේෂඥවරයා Alan Hobsonය. ඔහු හාවඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකි. ඔහුට අනුව සිහින ඇති වන්නේ මොළය තුළ ඇති වන විද්‍යුත් ශක්තියක් ජනනය වීමෙනි. මෙම ශක්තිය ජනනය වනුයේ R.E.M (වේගයෙන් ඇස් චලනය වන) නින්ද තුළයි. මෙහිදී අපගේ මතක පරිපථ අවදි කොට ඒවා යම් තේරුමක් ඇති තාර්කික පරිපථ බවට පත්කොට ඒවායෙන් සිහින ඇති වන බව හොබ්සන් කියා සිටියේය.

හොබ්සන්ට අනුව සිහින පිළිබඳ නූතන විග්‍රහ කිරීම් මෙසේය.

අප දකින බොහෝ සිහින අසන්විධානාත්මකය. සමහර විට ඒවායේ තාර්කික පදනමක් නැත. අප තුළ ජනිත වන ප්‍රබල හැඟීම් ආතතීන් මේවා තුළ සැඟව තිබෙන බව හොබ්සන් කියා සිටියේය.

මෙම සිහින සමඟ ඉතා ප්‍රබල හැඟීම් මිශ්‍ර වී තිබෙන නිසා ඒවා අපට සත්‍ය සිදුවීම් ලෙස බොහෝ විට දැනේ. නමුත් සාමාන්‍ය ජීවිතයේදී නම් එම අසත්‍ය විකාර රූපී සිදුවීම් එසේ නොවන බවට ප්‍රතික්ෂේප කර දැමීම සිදු වේ. නිද: ඔබ අද ගමනක් යනවිට දැඩි අනතුරකට ලක්වේ යැයි බියක් ඇති වීම. ඊට හේතුව ලෙස ඔබ හිතන්නේ එදා පවතින නරක කාලගුණයයි. නමුත් එසේ අනතුරක් සිදු නොවනු ඇති බව ඔබේ සිත කියයි. ඔබ බය නැතුව ඔබේ ගමන යයි.

සිහිනවලින් 95%ක්ම අපට මතක නැත. ඊට හේතුව සෙරොටනීන් (Serotonin) නැමැති රසායන ද්‍රව්‍ය අඩුවීම සහ ඇසිටයිල් කෝලින් (Acetylcholine) නැමැති රසායන ද්‍රව්‍ය වැඩි වීමයි. මේ නිසා බොහෝ සිහින නිසි ලෙස ගබඩා නොවී මතක ධාරාවෙන් ගිලිහී යයි.

හොබ්සන්ගේ මතයට අනුව අපගේ බොහෝ සිහින මොළයේ ලිම්බික් සිස්ටම් (Limbic System) එකේ හැඟීම් ඇවිස්සීමත් සමඟ ඇතිවන ඒවා මිස බොහෝ විට විකාරරූපී සත්‍ය නොවන ඒවා බවයි.

දවල් සිහින
ඔබ දවල් සිහින ගැන අහලා ඇති. සමීක්ෂණවලින් පෙනී ගොස් ඇත්තේ සෑම පුද්ගලයෙක්ම දිනකට යම් වේලාවක් මෙම සිහින තුළ ජීවත් වෙනවා කියලා. මොනවද මෙම සිහින? මේවා අපිට ප්‍රයෝජනවත් වෙනවද?

දවල් සිහින කියන්නේ මොළය තුළ සිදුවන තවත් අපූරු මානසික ප්‍රතික්‍රියාවක්. අපගේ ජීවිතය එදිනෙදා ගෙවන විට ප්‍රශ්න, ගැටලු, වේදනාකාරී සිද්ධීන්, ලිංගික උත්තේජනයන්වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මෙය සාමාන්‍ය මනුෂ්‍යයකුගේ ජීවිතයේ දින චර්යාවේම කොටසක් කියලා කියන්න පුළුවන්.

මනෝ විද්‍යාඥයන් කියනවා මෙම දවල් සිහින ජීවිතයේ ඇතිවන දැඩි පීඩනයන් සමනය කර ප්‍රශ්න විසඳා ගැනීමට විශාල උදව්වක් වෙනවා කියලා. අපට ගැටලුවක් ඇති වුණ විට එම ගැටලුව  ඉතා සූක්ෂම ලෙස මොළයේ ප්‍රශ්න විසඳාලීමේ මධ්‍යස්ථාන හවුල් කරගෙන නිරාකරණය කරගැනීමට දවල් සිහින (Day Dreams) උපයෝගී වන බව සොයාගෙන තිබෙනවා. 

අපි මෙය උදාහරණයක් මගින් බලමු. තරුණියගේ වයස අවුරැදු 22යි. ඇයගේ ප්‍රේමයට දැන් වසරක් වෙනවා. තරුණියගේ පෙම්වතා රාජ්‍ය ආයතනයක ලිපිකරුවකු ලෙස සේවය කළා. ඔහු වැඩ කරන ආයතනයේම තරුණියක් සමඟ ප්‍රේම සම්බන්ධයක් තිබෙන බව තරුණිය දැනගෙන දැන් මාසයක් වෙනවා. මේ ගැන කල්පනා කරලම ඇය දැඩි මානසික පීඩනයට ලක්වුණා. ජීවිතය කලකිරුණා. මේ අතර තමයි තරුණිය උපදේශනය සඳහා අපට යොමු වුණේ. අපගේ උපදේශන වාරයකදී කියවුණ එක් ප්‍රබල ප්‍රකාශයක් තරුණියට දවල් සිහිනයක් බවට පත් වුණා. ඒ කියන්නේ ඇය වැඩක නිරත නොවන සෑම අවස්ථාවකම එම ප්‍රකාශය පිළිබඳ ගැඹුරු කල්පනාවකට ගියා. බලමු මේ ප්‍රකාශය කුමක්ද කියලා. එය උපදේශනයේදී ඇසූ එක ප්‍රශ්නයක්.

 "ඔබ දුකට හෝ වේදනාවට පත් විය යුත්තේ සැබැවින්ම ඔබට ආදරය කරන කෙනකු වෙනුවෙන්ද? නැත්නම් ඔබට ආදරය නොකරන කෙනකු වෙනුවෙන්ද? ඉතින් ඔබේ පෙම්වතා ගැන ඔබට මොනවද හිතෙන්නේ?"

තරුණිය මෙයට දුන් පිළිතුර නම්,

"ඔහු මම නිතරම කියලා තියෙනවා මට ඇරෙන්න වෙන කිසිම කෙනකුට ඔහු ආදරේ නැහැ කියලා. එහෙම නම් ඔහු කොහොමද office එකේ තව කෙල්ලෙක් එක්ක යාළු වෙන්නේ? ඉතින් ඇයි මම මෙයා වෙනුවෙන් මෙච්චර දුක් වෙන්නේ?"

මෙසේ සති කීපයක් ගෙවී ගිය විට තරුණියගේ මානසික පීඩනය අඩු වුණ හැටි ඇය මෙහෙම විස්තර කළා.

"මෙම විවේකීව සිටින සෑම මොහොතකම උපදේශනයේදී ඇති වූ දෙබස මැවි මැවී පෙනුණා. ඔහු වෙනුවෙන් දුක් වෙන එක මගේ සිතින් ටික ටික නැති වුණා. මට දැන් පුදුම සහනයක් දැනෙන්නේ."

මේ ආකාරයට තමයි දවල් සිහින අපේ ජීවිතයට එන පීඩන, වේදනාකාරී සිතුවිලි අවම කිරීමට උදව් වෙන්නේ. මෙය මොළය තුළ සිදුවෙන සූක්ෂම යාන්ත්‍රණයක් බව විශේෂඥයන් කියනවා.

කිරිබත්ගොඩ මූලික රෝහලේ 
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක