2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා

දරුවන් ලිංගික අපයෝජනයෙන් බේරා ගනිමු

 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 133

වයස අවුරුදු 18ට අඩු නම් අපි ඔහු හෝ ඇය කියන්නෙ දරුවෙක් කියලා. ඉපදුණු දවසේ පටන් දරුවකුගෙ මොළය සහ ශරීරය ක්‍රමානුකූලව වර්ධනය වෙනවා. මෙසේ වර්ධනය වන මොළයට ඇතිවන පාරිසරික බලපෑම් මගින් එහි වර්ධනය අඩුවී දරුවා තුළ නොයෙකුත් චර්යාත්මක වෙනස්කම් ඇතිවී පෞරුෂයේ දුර්වලවීම් ඇතිවෙනවා. පාරිසරික බලපෑම් ලෙස අදහස් වන්නේ දරුවා මානසික, ශාරීරික හෝ ලිංගික අපයෝජනයට භාජනය වීමයි. දරුවන්ගෙන් 14%ක් පමණ නොයෙකුත් ආකාරයේ ලිංගික අපයෝජනයන්ට භාජනය වන අතර මින් 10%ක්ම සිදුවන්නේ ළඟම ඥාතීන් අතින්. ළඟම ඥාතීන් හැරුණුවිට අනෙකුත් අපයෝජකයන් වන්නේ අසල්වැසියන්. ඇත්තටම මෙය ගොදුරක් කීවොත් හරි. ඔබ දැකල තියෙනවද කොටියෙක් මුවෙක් පැහැරගන්නා ආකාරය. මෙය ක්ෂණිකව සිදුවන්නක් නොවේ. ගොදුර ගන්නට පෙර මෙය ඉතා හොඳින් සැලසුම් කරනවා. මෙය අවධි කිහිපයකින් යුක්ත බව සමීක්ෂණවලින් තහවුරු කරල තිබෙනවා. කුඩා දරුවකු ලිංගික අපයෝජනයකට ගොදුරු කරගන්නා ආකාරය පහත සඳහන් අවස්ථාවලින් නිරූපණය වෙනවා.

1. පළමු අවධිය - සූක්ෂම ලෙස දරුවා සමඟ හොඳ සම්බන්ධතාවයක් ගොඩනගාගැනීම.
උදා: කන්න ආස කරන දේවල් ගෙනත් දීම, ආසා කරන නොයෙකුත් දේවල් ගෙනත් දීම.

2. දෙවැනි අවධිය - සියුම් ලෙස ලිංගික සබඳතාවයක් ගොඩනගාගැනීම.
උදා: අතපතගෑම, වඩාගැනීම, සිපගැනීම, ක්‍රමානුකූලව ලිංගික අවයව ස්පර්ශ කිරීම.

3. තුන්වැනි අවධිය - රහස්‍යභාවය රැකීමට දරුවා පොළඹවාගැනීම.
මෙහිදී නොයෙකුත් ආකාරයට දරුවා බය කරනු ලබයි.
උදා: ඔහු සමඟ තරහ වන බව, නැත්නම් මරණ බව, කුඩාම දරුවකු නම් ආසා කරන දේ ගෙනත් නොදෙන බව පැවසීම.

4. හතරවැනි අවධිය - රහස එළිවීම. 
බොහෝවිට මෙවැනි සම්බන්ධතාවයක් එළිවනුයේ හිටි හැටියේය. මෙය බොහෝවිට සිදුවනුයේ ළඟම ඥාතියකු හෝ ගෙදර සිටින්නකු මේ සිද්ධිය දැකීමෙනි.

5. පස්වැනි අවධිය - යටපත් කිරීම.
මෙහිදී ඇතිවන ආන්දෝලනය රහසක් ලෙස තබාගැනීමට බොහෝවිට මුළු පවුලම එකතු වේ. බොහෝ මව්පියන් මෙම සිද්ධිය එළිවීමෙන් තම පවුලට සිදුවිය හැකි චෝදනාවන් සහ අපවාදයන් වළක්වාගැනීමට තවදුරටත් රහසක් ලෙස තබාගැනීමට යොමුවේ. බොහෝ දරුවන් බිය නිසාම මෙය රහසක් ලෙස තබාගනී. නමුත් යම් දිනෙක මෙසේ කුඩා කල අපයෝජනයට ලක්වන දරුවකු වැඩිහිටියකු ලෙස සමාජයට පිවිසීමේදී ඔවුන්ගේ පෞරැෂය තුළින් එහි අතුරු විපාක හොඳින් දැකීමට පුළුවන් වේ.

කුඩා අවධියේ අපයෝජනය වන දරුවන්ගෙන් 80%ක් යම් දිනෙක ඔවුන් අවුරුදු 21 වයසට එළඹෙන විට යම් ආකාරයක මානසික රෝගයකට ගොදුරු විය හැකි බව නූතන සමීක්ෂණවලින් තහවුරු කර ඇත. මින් අදහස් වනුයේ අද අපයෝජනයට ගොදුරු වන දරුවා හෙට දින වැඩිහිටියකු ලෙස අසාර්ථක ජීවිතයකට මුහුණදීමයි. මෙසේ ගොදුරු විය හැකි මානසික රෝගී තත්ත්වයන් සහ පීඩනයන් සත්‍ය කතා කිහිපයක් ඇසුරු කරගෙන සොයා බලමු.

පියුමිගේ කතාව
පියුමිගේ වයස අවුරුදු 24 යි. ඇය රජයේ ආයතනයක ලිපිකාරිනියක ලෙස සේවය කරනවා. පියුමි විවාහවෙලා මාස 6 යි. ඇය අපට යොමුවන විට දික්කසාද වීමට තීරණය කර තිබුණි. පියුමිගේ සැමියා වන පියල් ඔවුන්ගේ ගැටලුව මෙසේ ඉදිරිපත් කළා.

“මම යෝජනාවකින් විවාහ වුණේ. අපි දෙදෙනා තවම හරියට ලිංගිකව එකතුවෙලා නෑ. මම දන්නවා ඇය මට ආදරෙයි කියලා. ඇය මා සමඟ ලිංගිකව එකතු වෙන්නත් ආසයි. ඒත් අපි දෙදෙනාම ලිංගික සංසර්ගයට සූදානම් වනවිට ඇය එකපාරටම බයවෙනවා. ඇය මාව තල්ලු කර දමනවා. මට තේරෙනවා ඇයගේ සිතට විශාල බයක් එනවා කියලා. මම දන්නෙ නෑ මේ බය මොකක්ද කියලා.”

අපි පියුමි දෙසට හැරුණා. ඇගේ ගැටලුව මෙසේ ඉදිරිපත් කළා.

“මම පියල්ට ආදරෙයි. ලිංගිකව එකතුවෙන්නත් ආසයි. ඒත් අපි සංසර්ගයට සූදානම් වෙනකොටම මට මැවිලා පේන්නෙ පියල් නෙවෙයි. අවුරුදු 12 දී මට අතවර කරපු මගේ මාමා. හරියටම මේ සිදුවීම චිත්‍රපටයක වගේ මට මැවිල පේනවා. මෙසේ මාමා මට මැවිල පේනකොට මගේ ලිංගික ආශාව නැතිවෙලා යනවා. මගේ ළඟ ඉන්නෙ පියල් කියලා මට දැනෙන්නෙ නෑ. මට මේක මහ වදයක්. මම දන්නෙ නෑ ඇයි මට මෙහෙම වෙන්නෙ කියලා.”

ඉහත සිද්ධියේ පියුමි ගොදුරු වී ඇත්තේ දැඩි ආතතියකට හෙවත් ‘ක්ලෙමතය’ (past traumatic stress disorder) ටය. ක්ලෙමතය කියන්නෙ ඕනෑම පුද්ගලයකු දැඩි මානසික හෝ ශාරීරික කම්පනයකට ගොදුරු වුණොත් ඇතිවන මානසික තත්ත්වයක්. (උදා: ලිංගික අපයෝජනය, භයානක රිය අනතුරු, පහරදීම්, යුද්ධයේ බිහිසුණු අවස්ථාවන්ට ගොදුරුවීම, යම් භයානක දෙයක් සාක්ෂියක් ලෙස ලෙස දැකීම.) මෙවැනි අනතුරකට ගොදුරැවන තුන් දෙනකුගෙන් එක්කෙනෙක් ක්ලෙමතය (P.T.S.D) නැමති මානසික රෝගී තත්ත්වයට ගොදුරු විය හැකි බව සමීක්ෂණවලින් තහවුරු වී ඇත. ක්ලෙමතය නැමති මෙම තත්ත්වය හඳුනාගැනීමට ප්‍රධාන ලක්ෂණ කිහිපයකි.

එම සිද්ධිය චිපටයක් ලෙස පෙනීම, සමහරවිට සිහිනෙන් පෙනීම, නිතර සිතුවිලි ලෙස මනසට පැමිණීම යනාදී වශයෙනි.

නිතර තරහ යාම, නිතර පවතින හිසේ කැක්කුම, නින්ද නොයාම, පපුවේ ගැස්ම යනාදියත් මෙහිදී ඇතිවේ.

චතුරිගේ කතාව
චතුරිගේ වයස අවුරුදු 25 යි. ඇය විවාහ වී අවුරුද්දක් වෙනවා. ඔවුන් අප සායනයට යොමුවන විට දෙදෙනාටම ජීවිතය කලකිරී තිබුණා. චතුරිගේ සැමියා වන සුපුන් ඔවුන්ගේ කතාව මෙසේ ඉදිරිපත් කළා.

“මම හිතන්නෙ මට වැරදුණා කියලා. චතුරි ලස්සන නිසා තමයි මම බැන්දෙ. අපි විවාහවෙලා දැන් අවුරුද්දක් වෙනවා. ජීවිතයේ කිසිම සතුටක් හෝ ආශ්වාදයක් නෑ. චතුරි ජීවිතයේ කිසිම දෙයක් විඳින්න පුළුවන් කෙනෙක් නෙවෙයි. ඇය නිතරම කලකිරීමෙන් සහ දුකෙන් ඉන්න කෙනෙක් කියලයි මට හිතෙන්නෙ. ඇය නිතරම කියන්නෙ ඇයට කිසිම දෙයකින් සතුටක් ලැබෙන්නෙ නෑ කියලා. ඇයගෙ අතින් ඇල්ලුවත් ඇය සමඟ ලිංගිකව එකතු වුණත් චතුරි කියන්නෙ ඒවායේ විශේෂ සතුටක් ඇයට දැනෙන්නෙ නෑ කියලා.”

ඇගේ ප්‍රශ්නය ඇය මෙසේ කීවා.

“මට කිසිම දෙයක සතුටක් දැනෙන්නෙ නෑ. ලිංගික ආශ්වාදය කියන්නෙ මට සතුටක් නෙවෙයි කරදරයක්. විවාහ වෙන්න ඕනකමක් මට තිබුණෙත් නෑ. මව්පියන්ගෙ බලකිරීම නිසා තමයි මම විවාහ වුණේ. මට සුපුන් ගැන දුකයි. මම දන්නවා මම නිසා ඔහු ජීවිතයේ විශාල කරදරයකට වැටිල කියලා.”

මෙහි එන චතුරි ගොදුරු වී ඇත්තේ මානසික අවපීඩනයටයි. චතුරිගේ කුඩා කල පිරික්සීමේදී ඇය අවුරුදු 15 දී තම පියා අතින් ලිංගික අපයෝජනයට ලක්වී ඇත. චතුරිගේ මව මෙම කාලය තුළදී රැකියාවක් සඳහා විදෙස්ගත වී ඇත. චතුරි පවුලේ එකම දරුවා විය. චතුරිගේ පියා බීමත්කමටද ඇබ්බැහි වූවෙකි. මෙම පරිසරය තුළදී චතුරිට අකමැත්තෙන් පිළිකුලෙන් සහ බයෙන් තම පියාගේ ලිංගික යෝජනාවලට අවනත වීමට සිදුවී ඇත. බොහෝ සමීක්ෂණවලින් පෙනී ගොස් ඇත්තේ කුඩා කල ලිංගික අපයෝජනයට ලක්වන දරුවන් වැඩිහිටියන් වූ කල මානසික අවපීඩනය නැමති රෝගී තත්ත්වයට ගොදුරු වීමට ඇති හැකියාව ඉතා වැඩි බවයි. මානසික අවපීඩනය වූ කලී ජීවිතය විඳීමට නොහැකි කලකිරුණු, එපාවුණු, කිසිම සතුටක් නැති මානසික තත්ත්වයකි. චතුරි මෙම මානසික තත්ත්වයෙන් එළියට ගැනීමට මනෝ වෛද්‍ය ප්‍රතිකාර සහ උපදේශනය සෑහෙන කාලයක් ලබාදීමට සිදුවිය. 

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30