2018 ජුලි 07 වන සෙනසුරාදා

හෘදයාබාධයක් යැයි බියවන මානසික රෝගය

 2018 ජුලි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 116

අපි හැම දෙනාම එදිනෙදා ජීවිතයේ එක්තරා මට්ටමකට මානසික ආතතියට ගොදුරු වෙනවා. කිසිවකුට සම්පූර්ණයෙන්ම ආතතියෙන් ගැලවිය නොහැක. මානසික ආතතිය එක්තරා මට්ටමකට අපගේ ජීවිතය සාර්ථක කර ගැනීමට උදව් වේ.

උදා :- ඔබ විභාගයට මුහුණ දීම මොහොතකට සිතා බලන්න. විභාග දිනය ළංවූ විට ඔබට පොඩි බයක් වගේම අපහසුතාවයක් ඇති වෙන්නත් පුළුවන්. හිසේ බර ගතිය, මාංශපේශීන්ගේ තද ගතිය, උගුර කට වේලීම, නින්දේ ඇතිවන ගැටලු සමඟ ඔබගේ මනස තුළ ලොකු අවදි වීමක් දකින්න පුළුවන්. මේ බයත් සමඟම විභාගයට යන ඔබ ඉතා සාර්ථකව විභාගයට මුහුණ දී සමත් වෙන්නත් පුළුවන්. ඉහත කතාවෙන් දැක්වෙන්නේ ආතතියේ ඇති ප්‍රයෝජනවත් කොටසයි.

නමුත් අපි අසාමාන්‍ය ආතතියට ගොදුරු වූ විට ඇතිවන මානසික රෝගී තත්ත්වයක් පිළිබඳ විමසා බලමු.

මෙම රෝගී තත්ත්වයට පැනික් ඩිසෝඩර් (Panic Disorder) කියලා කියනවා. මෙම රෝගය දරුණු හෘදයාබාධයක ලක්ෂණවලට සමාන මානසික හා ශාරීරික ලක්ෂණ ඇති කරනවා. මෙයට ගොදුරු වන රෝගියෙක් හිතන්නේ ඔහුට හෝ ඇයට දරුණු හෘදයාබාධයක් (Heart Attack) හැදීගෙන එනවා කියලා. මෙම පැනික් ඩිසෝඩර් නැමති තත්ත්වය හඳුනාගැනීමට පහත සඳහන් ලක්ෂණ උපකාරී වේ.

 තදබල ලෙස පපුවේ තදවීම හෝ රිදීම. (Chest pain)

 පපුවේ ගැස්ම හෝ හෘදයවස්තුවේ වේගවත් ස්පන්දනය. (Palpable Heart pulsations)

 අධික ලෙස දහඩිය දැමීම. (Profuse Sweating)

 ශරීරය  වෙව්ලීම. (Tremors) 

 හුස්ම හිරවීම. (Suffocating Feelings)

 අත් පාවල ඇතිවන හිරිවැටීම. (Numbness or tinseling)

 කරකැවිල්ල හා ක්ලාන්ත ගතිය. (Dizziness or vertigo) 

 ක්ෂණිකවම තම වටපිටාව හඳුනාගත නොහැකි වීම හෝ තමාගේ ශරීරය මනසින් ඈත් වූවා සේ දැනීම. (Detachment frame oneself or reality) 

තමා මරණයට පත් වේ යැයි හෝ පිස්සු වැටේ යැයි යන භීතිය. (Warries about death panic) නැමති මේ තත්ත්වයට ගොදුරු වන රෝගියකු එය නැවත තමාට සෑදේ යැයි යන භීතියෙන් පසුවේ.

Panic හෙවත් අසාමාන්‍ය ආතතිය ඇතිවීමට මනෝ විද්‍යාත්මක හේතු.

 වගකීම් දරා ගැනීමට නොහැකි වීම. (Increased work responsibilities) 

යම්කිසි පුද්ගලයකුට තමාගේ රැකියාව හෝ තමා යෙදෙන මොන යම් කාර්යයක හෝ තිබෙන වැඩ ප්‍රමාණය දරා ගැනීමට නොහැකි තරම් වැඩි වූ අවස්ථාවක මෙවැනි භීතියකට ගොදුරු විය හැකියි.

උදා :- නිමල් ළඟදී පත්වීම ලැබූ ගණකාධිකාරීවරයෙකි. ඔහුට රුකියාව ලැබී මාස තුනකි. තමාට ලැබෙන වැඩ ප්‍රමාණය අවසන් කර ගැනීමට නොහැකි වේයැයි යන භීතියෙන් ඔහු නිතරම තැති ගැන්වීමෙන් සිටියේය. දිනක් කාර්යාලයේ සිටින විටදී හිටි හැටියේම නිමල්ට හුස්ම ගැනීමට අපහසු විය. වේගයෙන් කෙටි හුස්ම ගන්නට විය. අධික ලෙස දාඩිය දැම්මේය. ඔහු මරණ භයෙන් මෙන් කෑගැසුවේය. ළඟම තියෙන රෝහලට ඇතුළු කළ විට ක්ෂණික ප්‍රතිකාරවලින් ඔහු සාමාන්‍ය තත්ත්වයට පැමිණියේය. සියලු පරීක්ෂණ කළත් කිසිම රෝගයක් සොයාගත නොහැකි විය. නිමල්ට ඇතිවූ මේ භීතිය මෙසේ ඔහු පැවසුවාය. 

මම ඉන්නේ නිතරම බයෙන්. මට ඔෆිස් එකේ දෙන වැඩ ටික කරගන්න බැරි වෙයිද කියලා මට බයක් දැනෙනවා.

 අසාමාන්‍ය ලෙස තරහා යෑම

(Difficulty foliating anger)

අසාමාන්‍ය ලෙස තරහා යන පුද්ගලයකුට එය පාලනය කරගත නොහැකි වූ විට අසාමාන්‍ය ආතතියෙන් කෙළවර විය හැකිය. පහත පුංචි කතාවෙන් අපි එය බලමු.

සුනිල් ව්‍යාපාරිකයෙකි. ඔහුට දරුවන් දෙදෙනෙකි. ඔහුට තිබූ එකම අඩුපාඩුව අසාමාන්‍ය ලෙස තරහා යෑමයි. සුනිල්ගේ බිරිඳ මෙසේ එය විස්තර කළාය.

මගේ සැමියා හරිම හොඳයි. නමුත් ඔහුට තරහා ගියාම පාලනය කරගන්න බැහැ. තරහත් සමඟ හිටි හැටියේම හුස්ම  හිර වෙනවා. වේගයෙන් කෙටි හුස්ම ගන්නවා. දවසක් මෙහෙම තරහා ගිහින් කලන්තේ හැදිලා වැටුණා. රෝහලට ගිහින් ඇඩ්මිට් කරා. ව්‍යෛවරැ කීවේ වෙනත් කිසිම අසනීපයක් නැහැ කියලා.

 හැඟීම් අතර අතරමං වීම

(A Chronic sense of feeling)

තමාගේ හැඟීම් පිළිනොගැනීම හෝ දැඩි මානසික කම්පනයකට ගොදුරැ වීම නිසා යම් කෙනකු ක්ෂණිකව පැනික් නැමති තත්ත්වයට ගොදුරු විය හැකියි. අපි පුංචි කතාවකින් බලමු.

නයෝමි විවාහ වී දරුවන් දෙදෙනක් සිටී. ඉන් එක් දරුවෙන් ඩවුන්ස් (Downs) නැමති රෝගයෙන් පෙළේ. නයෝමිගේ පියා මෙම රෝගී දරුවාට කිසිම ඇල්මක් දැක්වූයේ නැත. ගෙදරින් පිට ගමනක් යනවිටත් එම දරුවා ගෙදර තබා අනෙක් දරුවාව රැගෙන යාමට පියා කැමති විය. නමුත් නයෝමි දරුවන් දෙදෙනාටම එක සේ ආදරය කළේය. පියාගේ මෙම හැසිරීම නයෝමි දැඩි ලෙස ප්‍රතික්ෂේප කළ අතර මෙම ප්‍රශ්නය විසඳාගත නොහැකිව ඇය ලෝක දෙකක අතරමං විය. ඇය දැඩි මානසික පීඩනයකට ගොදුරු විය. ඇය හිටි හැටියේම පපුව තද වී හුස්ම ගැනීමට අපහසු වී හුස්ම හිර වී ඇද වැටුණු අවස්ථා එමටය. ඇයව හෘද රෝග විශේෂඥයන් දෙදෙනකුටම පෙන්වීය. කිසිම හෘද රෝග ලක්ෂණයක් සොයාගත නොහැකි විය. අවසානයේ වෛද්‍යවරු තීරණය කළේ පියා තම දරුවාට දක්වන අකමැත්ත නිසා ඇති වූ දැඩි පීඩනයෙන් පැනික් නැමති තත්ත්වයට පත් වී ඇති බවයි.

 දෙමාපියන්ගේ දැඩි පාලනයට දරුවකු හසුවීම.

(Perception of parents on controlling, critical)

දෙමාපියන්ගේ දැඩි පාලනයට දරුවකු ගොදුරු වීම, දරුවාගේ නිදහස නැති වීම නිසා එවැනි දරුවකු පැනික් නැමති තත්ත්වයට ගොදුරු විය හැකි බව පරීක්ෂණවලින් පෙන්වා දී ඇත. අපි පුංචි කතාවකින් මෙය බලමු.

මධුරංගගේ වයස අවු. 10යි. ශිෂ්‍යත්ව විභාගයට තිබුණේ තව මාස 8කි. මධුරංග අතිශයින්ම ක්‍රියාශ්‍රීලි, කෙලිලොල්, ක්‍රීඩාවට ලැදි වූ දරුවෙකි. ඔහු බැඩ්මින්ටන් සහ පිහිනීම වැනි ක්‍රීඩාවල යෙදුණේ හරිම ආශාවෙනි. ළඟ එන ශිෂ්‍යත්වය සමඟ මධුරංගගේ දින චර්යාව සම්පූර්ණයෙන් වෙනස් විය. පියාගේ දැඩි බලපෑම සමඟ බැඩ්මින්ටන් සහ පිහිනීම නැවැත්වීමට සිදුවිය. හවස් වනතුරුම පාසලේ පංති තිබුණි. මධුරංගට ශිෂ්‍යත්ව විභාගයද එපා විය. නිතර තරහා යාමටත් පටන් ගැනුණි. හිටිහැටියේම කලන්තයක් හැදී මධුරංග බිම වැටෙන්නනට පටන් ගත්තේය. ඔහුගේ පියා එම කලන්තය ගැන මෙසේ විස්තර කළේය.

එකපාරටම වේගයෙන් හුස්ම ගන්නවා. අත පය සීතල වෙනවා. එතකොටම පපුව රිදෙනවා කියලා කෑ ගහනවා. ඇඟ පුරා දාඩිය දානවා. එතකොට කලන්තේ හැදෙනවා. විනාඩි 10කට වැඩිය මෙහෙම තියෙන්නෑ. වෛද්‍යවරැ කියනවා කිසිම අසනීපයක් නැහැ කියලා. දැන් අපි දන්නවා දරුවාට තියෙන්නේ පැනික් නැමති අසනීපය කියලා.

පැනික් හෙවත් අසාමාන්‍ය භීතියට වෙනත් හේතු

 අසාමාන්‍ය භීතිය හෙවත් කැළඹීමට ස්ථිරවම හේතුව තවමත් තහවුරු වී නැත. නමුත් සොයාගැනීම්වලින් පහත සඳහන් හේතු ද එකතු කළ හැකිය. 

 දිගටම දුම්පානය කරන කෙනකු පසුකාලයේදී මෙම පැනික් තත්ත්වයට ගොදුරැ විය හැකිය.

 ළමා කාලයේ අපයෝජනයට ලක්වන දරුවන් පසු කාලයේදී පැනික් නැමති තත්ත්වයට ගොදුරු විය හැක.

 ජානමය සම්බන්ධතාවයන් පවතින බවද සමහර සමීක්ෂණවලින් තහවුරු වී ඇත. මෙහිදී ප්‍රධාන ජාන වර්ග දෙකක් හඳුනාගෙන ඇත. (ADORA2A සහ ComT ජාන)

 වේගයෙන් හුස්ම ගැනීමේදී කාබන්ඩයොක්සයිඩ් (Co2) මොළය තුළ වෙනස් වීමද මෙම රෝගයට හේතුවක් ලෙස තහවුරු වී ඇත.

 මොළයේ ගැඹුරින් පිහිටි ඇමිග්ඩෙලා (Amygdala) නැමති ඉතා කුඩා සංවේදී ඉන්ද්‍රිය අපේ භය සහ හැඟීම් පාලනය කරයි. මෙම මධ්‍යස්ථානය වැරදි ලෙස බාහිර සංවේදනයන් හඳුනාගැනීම ද මෙම භීතියට එක් හේතුවක් ලෙස පෙන්වා දෙයි.

කිරිබත්ගොඩ මූලික රෝහලේ 
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00