2018 ජුනි 09 වන සෙනසුරාදා

විභාග පිස්සුව!

 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 174

අද අපේ බොහෝ දරුවන්ට දරුවකු ලෙස ජීවත් වන්න බැරි වෙලයි තියෙන්නේ. ළමා කාලය විඳින්න බැරි වෙලා තියෙනවා. ආදරය සහ ක්‍රීඩාවෙන් ඈත් වෙලා තියෙනවා. හෙට දවස ගැන අවිනිශ්චිත බවක් ඇති වෙලා තියෙනවා. මව්පියන්ගෙන් සහ සමාජයෙන් ඈත් වෙලා වට්ස් ඇප් එකක් ඇතුළේ, වයිබර් ඇතුළේ එහෙමත් නැත්නම් ඉමෝ ඇතුළේ මොළය විඩාවට පත් කරමින් වෙහෙසෙමින් කාලය අපතේ හරිනවා. මේ සියල්ල ඇතුළේ තවත් රහසක් තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ළඟදි නිකුත් වුණ වාර්තාවක පෙන්වා දෙන්නේ රටේ සිටින සියලුම මානසික රෝගීන්ගෙන් 35%ක් අවු.5ත් 19ත් අතර දරුවන් කියලා. 

ඔබ දන්නවාද මේ දරුවන් ගොදුරු වෙලා තියෙන මානසික ගැටලු මොනවද කියලා? මෙම දරුවන්ගෙන් 20%ක්ම ජීවත් වෙන්නේ පියා නැති පවුල්වල. මෙම දරැවන්ගෙන් 6%ක් පමණ සියදිවි නසා ගන්නවා. 9%ක් පමණ සියදිවි නසාගැනීම්වට උත්සාහ කරනවා. රටේ දික්කසාද අනුපාතය 56%යි. ගෘහ ප්‍රචණ්ඩත්වය 60%ක්. මත් පැන්වලට ගොදුරැ වූ පවුල් සංඛ්‍යාව 35%ක්.

මේ සියලු කරුණු අතරින් අද ගැටවර වියේ සිටින දරුවා මුහුණ දෙන ප්‍රධානම මානසික ආතතිය විභාග ආතතිය කියලා සමහර විට ඔබ දන්නේ නැතුව ඇති. සෞඛ්‍ය අමාත්‍යංශයේ ජේෂ්ඨ වෛද්‍ය විශේෂඥ නීල් තලගල යුනිසෙෆ් ආයතනයත් සමඟ ලංකාව පුරාම කරන ලද සමීක්ෂණයකින් හෙලි වූයේ ගැටවර වියේ සිටින දරුවන් විශාල සංඛ්‍යාවක් විභාග ආතතිය සහ අසහනයෙන් සහ බියෙන් පෙළෙන බවයි.

අපි මේ ආතතිය කුමක්ද කියලා බලමු. ආතතිය කියන්නේ මොළයේ සිදුවන යම් මානසික සහ රසායනික ප්‍රතික්‍රියාවක්. ආතතිය එක්තරා ප්‍රමාණයකට වැඩි වූ විට අපේ ශරීරය අපට අවශ්‍ය කාර්ය කිරීමට හොඳින් සකස් කර දෙනවා. අපි හිතමු ඔබ සම්මුඛ පරීක්ෂණයකට යනවා කියලා. කළින් දවසේ ඔබට නින්ද පොඩ්ඩක් අඩු වෙනවා. පොඩි බයක් ඇති වෙනවා. උදේ පාන්දර හිසේ පොඩි බර ගතියක් වගේම අමුතු ප්‍රබෝධයක් සහ අවදි වීමක් ද මනසට සහ ශරීරයට දැනෙනවා. ඉතින් ඔබ සම්මුඛ පරීක්ෂණයට යනවා. පොඩි චකිතයක් සහ බයක් ඇති වුණත් ඔබ ඊට හොඳින් මුහුණ දෙනවා. 

පුංචි කථාවක් උපයෝගී කරගෙන දරුවන් මෙම විභාගය නැමති ආතතියට ගොදුරැ වන ආකාරය සොයා බලමු. 

කසුන්ගේ කතාව

කසුන් අපේ සායනයට යොමු වුණ තවත් දරුවෙක්. කොළඹ පාසලක ඉගෙනුම ලබන කසුන් තව මාස 6කින් පහේ ශිෂ්‍යත්වයට සූදානම් වෙමින් සිටිනවා. කසුන් අපට යොමු වුණේ ඔහුගේ මව සමඟය. මව ගුරුවරියකි. කසුන්ගේ ගැටලුව මව මෙසේ පැහැදිලි කළාය. 

දැන් ඉස්කෝලේ යන්නත් බෑ කියනවා. උදේට පටන්ගන්න හිසේ කැක්කුම හවස් වෙනකල්ම තියෙනවා. නිතරම තරහා යනවා. නිදාගන්න ගියත් පැය ගාණක් යනකම් නින්ද යන්නෑ. හතරේ පංතියේදි නම් විෂයන්ට හොඳට ලකුණු තිබුණා. දැන් බොහෝ විෂයන්ට ලකුණු 40යි, 50යි. ගුරුවරු කියනවා මේ ළමයා නම් විභාගේ පාස් වෙන එකක් නෑ කියලා. මමත් ගුරුවරියක්. පුතාගේ ටීචර්ස්ලා බනින්නේ මට. තාත්තා ඉන්නේ ආමි එකේ. මාසයකට සැරයයි ගෙදර එන්නේ. මට තව දුවෙකුත් ඉන්නවා. මේ සේරම බර මගේ ඔළුවේ තමා තියෙන්නේ. දැන් මේ දරුවා ඩොක්ටර්ස්ලා හතර දෙනකුට පෙන්නුවා. CT ස්කෑන් එකකුත් ගත්තා. හැම පරීක්ෂණයක්ම සාමාන්‍යයි. ඔවුන් කියන්නේ කසුන්ට මිග්‍රේන් තියෙනවා කියලා. දැන් මාස හතරක් තිස්සේ බෙහෙත් දෙනවා. කිසිම සනීපයක් නෑ.

අපි කසුන්ගෙන් ඔහුගේ අසනීපය ගැන විමසුවා. ඔහු මෙහෙම කීවා.

මගේ මේ ඔළුව කැක්කුම මාස තුනක් විතර. පොත අතට ගත්ත හැටියෙම හිසේ කැක්කුචම හැදෙනවා. දැන්නම් පාඩම් කරන්න කිසිම ආසාවක් නෑ. ඉස්කෝලේ යන්නත් ආස නෑ. අම්මා නිතරම බනිනවා පාඩම් කරන්නෑ කියලා. ඉස්සර මම සතියට දවස් දෙකක් Swimming ගියා. අම්මා ඒකත් නැවැත්තුවා. අල්ලපු ගෙවල්වල ඉන්නේ මගේ යාළුවෝ. ඉස්සර මම යාළුවොත් එක්ක හවසට ක්‍රිකට් ගැහුවා. අම්මා ක්‍රිකට් ගහන එකත් නැවැත්තුවා. අම්මා කියන්නේ ශිෂ්‍යත්වේ නිසා බාහිර වැඩ සේරම නවත්වන් කියලා. අම්මා මට නිතරම බනිනවා. මගේ කිසිම හොඳක් දකින්නේ නෑ. අම්මා හිතන්නේ ශිෂ්‍යත්ව පංති ගැන විතරයි. ඉස්කෝලේ ඉවර වුණාම හවස ශිෂ්‍යත්ව පංති තියෙනවා. ගෙදර එනකොට හරිම මහන්සියි. අම්මාට මගේ මහන්සිය තේරෙන්නේ නෑ.

මෙහි එන කසුන් ගොදුරැ වී ඇත්තේ මනෝ වෛද්‍ය විද්‍යාව අනුව කල් පවතින දැඩි මානසික ආතතිය (Generalized Anxiety Disorder) විභාග ආතතියකදී දරුවන් බොහෝ විට ගොදුරැ වනුයේ මෙම රෝගී තත්ත්වයටය. මෙහි ලක්ෂණ තවදුරටත් හඳුනාගනිමු.

පාසල් යාමට ඇති අකමැත්ත.
(Refusing to go to School)

නිතර පවතින හිසේ බර ගතිය හෝ හිසේ කැක්කුම.
(Frequent Headaches)

නින්ද ආරම්භ කිරීමට ඇති අපහසුව.
(Sleeping Difficulties)

සැහැල්ලුවෙන් සිටීමට ඇති අපහසුතාව හෝ අවිවේකී බව.
(Inability to relax)

නිතර අමතක වීම හෝ මතක තබා ගැනීමට අපහසු වීම.
(Lock of concentration) 

ඉවසීම අඩු වීම හා පහසුවෙන් කිපෙනසුළු බව.
(Irritability) 

ඉහත ලක්ෂණ අනුව මනෝ වෛද්‍යවරයකු විසින් දරුවාගේ ගැටලුව පිළිබඳ අවසාන රෝග විනිඕචයකට එළඹෙනු ඇත. දරුවාට තිබුණු රෝගය මිග්ග්‍රේන් (Migraine) යැයි වැරදි ලෙසස වටහාගෙන මාස 6කට වැඩි කාලයක් නොයෙකුත් ප්‍රතිකාර ලබා දී තිබුණි. සායනයට ‍යොමු වූ කසුන් සම්පූර්ණ සුවය ලබා හොඳින් ශිෂ්‍යත්වයට ද මුහුණ දුන්නේය. මෙම මානසික ආතතියෙන් කසුන්ව මුදවා ගත් ආකාරය දැන් අපි බලමු.

කසුන්ගේ කතාවෙන් ඔබට පෙනෙනුයේ මෙම දරුවා පමණක් නොව මවද දරුවාගේ විභාගය පිළිබඳ අසාමාන්‍ය ලෙස ආතතියට පත් වී ඇති බවය. කසුන් මින් මුදවා ගැනීමට පහත සඳහන් ක්‍රියාකාරකම්වලට එළඹුනි.

මවගේ තරහා සහ ආතතිය අවම කිරීමට අවශ්‍ය මනෝ අධ්‍යාපනය, ප්‍රතිකාර සහ ව්‍යායාම හඳුන්වා දීම.

දරුවාගේ ආත්ම අභිමානය වැඩි කිරීමට කළයුතු ක්‍රියාකාරකම් මවට කියාදීම.

Ex - කුඩා පොත් පිංචක දරුවාගේ ලස්සන පිංතූරක් ඇලවීම සහ එම පොතෙහි දිනපතා දරුවාගේ එදිනෙදා දක්නට ලැබෙන ආස හිතෙන හැසිරීම් එකක හෝ දෙකක් ලිවීම. (ඔයා ලස්සනට හිනාවෙනවා. මම ඔයාට ආදරෙයි.
දරුවා නැවත ක්‍රීඩාවලට යොමු කිරීම.

දරුවාගේ ශිෂ්‍යත්ව පංති පහ තුනකට අවම කිරීම. (මෙහිදී අප දරුවාගේ පාසලේ විදුහල්පතිනියට තත්ත්වය පිළිබඳ පැහැදිලි කර ලිපියක් ලබා දුණි.)

දරුවා සමඟ දිනකට පැය භාගයක් හෝ විනාඩි 45ක් ගත කරන ලෙස මවට උපදෙස් දීම. (දරුවා සමඟ සිංදුවක් කීම, කතාවක් කියා දීම, යම් සෙල්ලමක යෙදීම.)

සති දෙකෙන් දෙකට කසුන් සායනයට ගෙන්වා ගත් අතර ප්‍රගතිය පිළිබඳ නිසි සමාලෝචනයක යෙදුණි. මේ පිළිබඳ කසුන් පැවසූ දේ අපි බලමු.

දැන් අම්මාට තරහා යන්නේ නෑ. අම්මා ඉන්නේ මගේ යාළුවෙක් වගේ. මට සෙල්ලම් කරන්නත් දෙනවා. මගේ දැන් ඔළුව කැක්කුමකුත් නෑ. මට පාඩම් කරන්නත් පුළුවන්. ඉස්සර මට කවුරුවත් නෑ කියලා හිතුණේ. දැන් නම් මට හිතෙන්නේ මගේ අම්මයි තාත්තායි දෙන්නම මට ඉන්නවා කියලා.

ඩයනා බර්මුරන් (Diana Burmuran) කියන්නේ අමෙරිකානු ජාතික විශිෂ්ඨ මනෝ විද්‍යාඥවරියක්. මව්පියන්ගේ හැසිරීම් අනුව දරුවන්ගේ හැසිරීම් වෙනස් වන ආකාරය පිළිබඳ සමීක්ෂණ ආශ්‍රය කරගෙන මුළු ලෝකයටම ඉස්සරලම කියලා දුන්නේ ඇය තමයි. ඇය දෙමාපියන් කොටස් තුනකට බෙදුවා.

ආධිපත්‍ය පතුරවාගෙන සිටින මාපියන් (Authoritarian Parenting)

ඇයට අනුව මෙම මව්පියන් දරුවාට දැනෙන්න ආදරය කරන්නේ නෑ. දරුවා සහ දෙමාපියන් අතර ඇත්තේ ඉතා දුරස්ථ සම්බන්ධතාවයක්. දැඩි නීති රීති සමුදායක් යටතේ තමයි දරුවා හදන්නේ. දරැවාට හිතන්න හෝ තම අදහස් ප්‍රකාශ කරන්න අවකාශයක් නෑ. ඩයනා බර්මුරන් කීවා මෙවැනි දරුවන් යම් දිනක වැඩිහිටියන් වූ විට සතුටින් ජීවත් වෙන්න බැරි, නිතර කිපෙනසුළු, සමාජ කුසලතා අඩු, බොහෝ විට අසාර්ථක පවුල් ජීවිත ගත කරන අය බවට පත් වෙන්න පුළුවන් කියලා.

දරුවන්ට අසීමිත නිදහස දෙන මව්පියන් (Permissive Parenting)

මෙම මව්පියන් දරුවා පිළිබඳ නිසි සොයා බැලීමක් කරන්නේ නැහැ. දරුවන්ට හුඟක් ආදරෙයි. ඉල්ලන ඕනම දෙයක් අරන් දෙනවා. දරුවා වැඩීමට යම් ආකාරයක විනයක් සහ සමහර රෙගුලාසි අවශ්‍යයි කියලා ඔවුන් හිතන්නේ නෑ.

Ex - දරුවන්ගේ ගුරුවරු සහ යහළුවන් සමඟ මෙම මව්පියන් තබාගෙන ඇති සම්බන්ධතාවය ඉතා අවමය. 

ඩයනා බර්මුරන් කීවා මෙවැනි දරුවන් යම් දිනක වැඩිහිටියන් බවට පත් වන විට හැඟීම් පාලනයට අපහසු ආත්මාර්ථකාමී චරිත බවට පත්විය හැකි බව.

දරැවාගේ හැඟීම් තේරැම් ගත් මව්පියන් (Authoritative Parenting)

මෙම මාපියන් ඉතාම සාර්ථක මව්පියන් බව මේ විද්‍යාඥවරිය පැවසුවා. මෙම පරිසරය තුළ තිබෙන ප්‍රධානම ලක්ෂණය නම් දරුවාගේ හැඟීම් හඳුනා ගැනීම සහ ඊට නිසි ලෙස ප්‍රතිචාරාත්මක වීම. ඊට අමතරව යම් විනය පද්ධතියක් තුළ දරුවා පාලනය වෙනවා. මෙහිදී දරුවාට ඉල්ලන හැමදේම ලබාදීමක් සිදුවන්නේ නෑ. බැහැ කියන දේ පැහැදිලිවම බැහැ කියලා කියනවා. දරුවාගේ එදිනෙදා ජීවිතය ගැන නිසි අවබෝධයෙන් සිටිනවා. දරුවා සමඟ යම් කාලයක් දිනකට ගත කරනවා. ඩයනා බර්මුරන් කීවා මෙම දරුවන් යම් දිනෙක වැඩිහිටියන් බවට පත් වූ විට සතුටින් කල් ගෙවන, අන් අයගේ හැඟීම් තේරුම් ගන්න, පහසුවෙන් මානසික ආතතීන්ට සහ අවපීඩන තත්ත්වයන්ට ගොදුරු නොවන නිරෝගී පුරවැසියන් බවට පත් වන බව.

කිරිබත්ගොඩ මූලික රෝහලේ 
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30