2018 මැයි 12 වන සෙනසුරාදා

බොරු ලෙඩ්ඩු!

 2018 මැයි 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 138

අපි කිසිවකු ලෙඩ වෙනවාට කැමති නැත. අසනීපයකට ගොදුරු වීම දැඩි මානසික හා ශාරීරික පීඩනය ඇති කරන්නකි. ඔබේ ධනයෙන් ඔබ උපයන මුදලින් විශාල කොටසක් ඖෂධ, පරීක්ෂණ, රෝහල් ගාස්තු, වෛද්‍යවරුන්ගේ ගාස්තු යන මේවා සමඟ නැති වී යයි. ඒත් සමහර අරුම පුදුම මිනිසුන් සිටිනවා, නැති ලෙඩක් තමාට තියෙනවා යැයි මවාගෙන ඊට අදාළ පරීක්ෂණ ද සිදු කරගෙන වෛද්‍යවරු පිටුපස යමින් විශාල මුදලක් වියදම් කරමින් මුළු පවුලට සහ සමාජයට තමා රෝගිකයකු යැයි පැවසීමට උත්සාහ දරන. බොහෝ අවස්ථාවල මෙවැනි පුද්ගලයකු විශාල වෛද්‍යවරු සංඛ්‍යාවක් හමුවී බොරුවට එම වෛද්‍යවරුන්ට තොරතුරු සපයමින් ප්‍රතිකාර ගැනීමට පෙළඹේ. එය මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණයයි. මෙම රෝගයට මනෝ වෛද්‍ය විද්‍යාවේ ෆැක්ටියස් රෝගය (Factious Disorder) නමින් හඳුන්වයි. එය වෙනත් රෝගවලින් වෙනස් වන්නේ ෆැක්ටියස් රෝගයේදී මෙසේ තමාට රෝගයක් ඇතැයි මවාගැනීමට කිසිම බාහිර හේතුවක් සොයා ගැනීමට නොහැකි වීම තුළිනි. නමුත් මැලින්ජරින් නැමැති රෝගයේදී එසේ තමාට රෝගයක් ඇතැයි මවාගන්නේ එම රෝගී හැසිරීම තුළින් තමාට යටි වාසියක් ලබා ගැනීමටයි. මෙම රෝග දෙකම උදාහරණ ගෙන පැහැදිලි කරගනිමු.

තුෂාරගේ කතාව

තුෂාරගේ වයස අවු. 28යි. ඔහු විවාහ වී අවු.2ක දරුවෙක් ද සිටියි. රාජ්‍ය ආයතනයක ලිපිකරැවකු ලෙස තුෂාර සේවය කළේය. නමුත් හිටිහැටියේ මාස 6ක පමණ කාලයක් තුළ තුෂාර රැකියාවට ගොස්  තිබුණේ නැත. රැකියාවට නොගොස් තමාගේ රෝගී තත්ත්වය පිළිබඳ ලතවෙමින් ප්‍රතිකාරයක් සොයාගෙන වෛද්‍යවරු පිටුපස යයි. තුෂාර සායනයට යොමු වූයේ ඔහුගේ බිරිඳ සමඟයි. ඔහු මෙසේ පැවසුවා.

මගේ මුත්‍රා සමඟ ලේ යන එක දැන් මාස 6ක් වෙනවා. කිසිම වෛද්‍යවරයකුට මගේ රෝගය නිශ්චිතව සොයාගන්න බැරි වුණා. මට නිතරම කලන්තේ ගතිය තියෙනවා. යටි බඩ ප්‍රදේශය රිදෙනවා. මගේ ඇඟට පණ නෑ. මම වෛද්‍යවරු කීපදෙනෙක්ටම කීවා මට ලේ දෙන්න කියලා. ඔවුන් ඒ ගැන කිසිම සැලකිල්ලක් දැක්වූවේ නෑ. මට නිතරම හිතෙන්නේ මගේ රෝගය සොයාගන්න තරම් වෛද්‍ය විද්‍යාව තවම දියුණු නෑ කියලා. මේක මනෝ වෛද්‍ය සායනයක්. මට මෙතනට එන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. බිරිඳගේ බලකිරිල්ලටයි මම ආවේ. මට ඇති මානසික රෝගයක් නෑ.

මෙහෙම කියන අතර තුෂාර කුඩා ඉටි බෑගයක් ඇතුළේ තිබි බෝතලයක අසුරන ලද මුත්‍රා සාම්පලයක් එළියට ගත්තේය. 

මේ මුත්‍රා සාම්පලය පරීක්ෂා කරලා බලන්න.

මේ අවස්ථාවේ තුෂාරගේ බිරිඳ තුෂාර නැතුව තනිවම කතා කිරීමට අවශ්‍ය බව කීවාය.

මේ මගේ සැමියා. පසුගිය මාස 6ම රුකියාවට ගියේ නෑ. බැංකුවේ සල්ලි ටිකක් තිබුණා. ඒ සල්ලි සේරම එක එක පරීක්ෂණවලට ඉවර වුණා. Doctorsලා 12 දෙනෙක් ළඟට ගියා. කවුරැත් කීවේ තුෂාරට කිසිම ලෙඩක් නැහැ කියලා. ඒත් ඔහු පිළිගන්නේ නෑ. මට තව රහසක් කියන්න තියෙනවා. බ්ලේඩ් තලයක් අරගෙන එයාගේ ඇඟිල්ල කපලා ලේ ටිකක් අරගෙන එයාගේ මුත්‍රා සමඟ කලවම් කරනවා මම ඇහැටම දැක්කා. මට තේරෙන්නේ නෑ මේ මොන පිස්සුවක්ද කියලා.

තුෂාර ෆැක්ටියස් නැමති රෝගී තත්ත්වයට ගොදුරු වී ඇති බව පෙනී යනවා. තමා විසින්ම තමාට රෝගයක් ඇති බව නිර්මාණය කිරීම, වෛද්‍යවරැන් පිටුපස යාම මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණයයි. තුෂාරට මෙම රෝගය  ඇති බව තවදුරටත් සනාථ වීමට පහත සඳහන් සාක්ෂි මගින් පැහැදිලි වේ.

• තම රෝගය පිළිබඳ සහ ඊට භාවිතා කරන වෛද්‍ය විද්‍යාවේ වචන පිළිබඳ ඔහුට තිබුණ දැනුම.

• ඉතා සූක්ෂම ලෙස රෝගය පිළිබඳ බොරැ පවසන බව පවුලේ අයට ද දැනීම.

වෛද්‍යවරු විශාල සංඛ්‍යාවක් හමුවීම සහ මින් පෙර ලබාගත් පරීක්ෂණ වාර්තා, ස්කෑන් පරීක්ෂණ, ලේ පරික්ෂණ, මුත්‍රා පරීක්ෂණ වැනි දෑ ඔහු ළඟ එකතු කරගෙන සිටීම. සමහර විට තමාට රෝගයක් ඇතැයි තහවුරැ කිරීමට මෙම පරීක්ෂණවල සටහන් සූක්ෂම ලෙස වෙනස් කර තිබීමට ද පුළුවන.

• තුෂාර මීට පෙර රෝහල් 6කම වාට්ටුවල නැවතී මේ සඳහා ප්‍රතිකාර ගැනීමට උත්සාහ කර තිබීම.

• තම බොරුව අහුවේයැයි බියෙන් සමහර රෝහල්වලින් ටිකට් කැපීමටත් ප්‍රථමම හොරෙන් පැනයාම.

ෆැක්ටියස් නැමති මේ රෝගයේ තවත් පැතිකඩක් වන්නේ මෙවැනි රෝගී තත්ත්වයක් බොහෝ විට තම පවුලේ අයකුට හෝ ඥාතියකුට ඇති බව සූක්ෂම ලෙස මවා පෙන්වා වෛද්‍යවරැ පිටුපස යෑමයි. සමීක්ෂණවලින් පෙනී යන්නේ මව තම දරුවා මීට බොහෝ අවස්ථාවලදී යොදාගෙන තිබෙන බවයි.

ඇගේ නම කාන්තිය. කාන්ති තමාගේ අවු.10 වයසැති දරුවා වෛද්‍යවරු වෙත රුගෙන ගියේ සනීප නොවන බඩේ කැක්කුමක් සහ පාචනය නමැති රෝගී තත්ත්වය ඇති බව පවසමිනි. කිසිදු වෛද්‍ය පරීක්ෂණයකින් දරුවාට මෙවැනි අසනීපයක් ඇති බව තහවුරු නොවීය. අවසානයේදී සොයා ගැනුණේ මෙම මව සූක්ෂම ලෙස ආහාරවලට නොයෙකුත් විෂබීජ ඇතුළු කරමින් දරැවාට මෙම පාචන තත්ත්වය සහ බඩේ අමාරැව ඇති කිරීමට උත්සාහ කරන බවයි.

සුපුන් උසස් පෙළ සිසුවෙකි. මවුපියන්ගේ පෙරුත්තය මත උසස් පෙළ කළත් ඔහුට කිසිදු ආසාවක් ඒ සඳහා තිබුණේ නැත. උසස් පෙළ විභාගයෙන් පැනයාමට ඔහු සූක්ෂම ලෙස අසනීපයක් මවා ගත්තේය. එනම් ඔහුට පාලනය කරගත නොහැකි මුත්‍රා අමාරුවක් නිර්මාණය කර ගැනීමයි. මේ සඳහා ඔහු භාවිතා කළේ මුත්‍රා වැඩියෙන් පිට කිරීමට දෙන ෆ්රූස්මයිඩ් (Frusemide) නැමැති ඖෂධයකි. මෙම ඖෂධය අධික රැධිර පීඩනයට දෙන ඖෂධයකි. 

ඔහු මෙම ඖෂධය පිළිබඳ සොයාගෙන ඇත්තේ අන්තර්ජාලයෙනි. තමා මෙම ඖෂධය පාවිච්චි කළ විට පාලනය කරගත නොහැකි ලෙස මුත්‍රා පිටවන දැනගෙන හොරෙන් මෙම ඖෂධය පාවිච්චියට පුරුදු විය. ඔහුගේ යටි අරමුණ වුණේ තමාට මුත්‍රා අසනීපයක් ඇති බව මවුපියන්ට පෙන්වා උසස් පෙළ විභාගයෙන් පැන යාමයි.

මැලින්ජරින් නැමැති රෝගයට නම් අරමුණ ඉතා පැහැදිලිය. එනම් යම් පුද්ගලයකුට දැඩි ආතතියක් ගෙන දෙන පරිසරයක් ඇති වූ විට ඉන් පලායාමට දරණ සූක්ෂම උපක්‍රමයක් ලෙසයි. නමුත් ෆැක්ටියස් අසනීපය මීට හාත්පසින්ම වෙනස්ය. 

ඊට හේතු මොනවාද?

• දරුවකු කුඩා කාලයේ ශාරීරික හෝ ලිංගික අපයෝජනයන්ට පත් වීම, දෙමාපියන්ගේ ගැටලු අතරට දරුවා මැදි වීම, එසේත් නැත්නම් කුඩා කල දරුවකු නිතර අසනීපවලට ගොදුරැ වී රෝහල් ගතවීමට සිදුවීම වැනි කරැණු විශේෂඥයන් විසින් පෙන්වා දී ඇත.

තුෂාරගේ ළමා කාලයේදී වැදගත් සිද්ධියක් අනාවරණය විය. තුෂාරගේ පියා මවගෙන් වෙන්වී ඇත්තේ ඔහුගේ වයස අවු.4 දීය. පියාට දැඩි ලෙස ළං වූ තුෂාරට මෙය මහත් කම්පනයක් විය. එම කාලයේදී තුෂාරගේ හැසිරීම ද ප්‍රචණ්ඩකාරී ලෙස වෙනස් වූ බව මව පැවසීය. තුෂාරට දෙවැනි මානසික පීඩනය ඇති වුණේ මව දෙවැනි විවාහයකට ඇතුළු වූ පසුවයි. ඔහු සැර පරැෂ රළු පුද්ගලයකු විය. ඔහු තුෂාරට නිතරම දඬුවම් කළේය.

ෆැක්ටියස් නැමති රෝගය ප්‍රතිකාර කිරීමට ඉතා අපහසු රෝගයකි. මොකද ඔහු ප්‍රතික්ෂේපිත මනසකින් සිටින නිසාය. තුෂාර සහ ඔහුගේ පවුල සිතුවිලි ප්‍රතිකාරයට (Cognitive Therapy) යොමු කෙරුණි. මෙහිදී ඔහුගේ සිතුවිලිවල ඇති විකාර රූපී සහ විකෘති ස්වභාවයන් හා ඉන් ඔහුට විය හැකි හානිය සූක්ෂම ලෙස ඔහුගේ මනසට ඇතුළු කෙරුණි. මෙහිදී සිතුවිලි ප්‍රතිකාරය තුළ තිබෙන සොක්‍රටීස්ගේ ප්‍රශ්න විසඳාලීමේ ක්‍රමය ඉතා සාර්ථක ලෙස භාවිතා කෙරැණි. මෙම ක්‍රමය තුළදී රෝගියාට විරුද්ධ ප්‍රශ්න අසමින් (Confrontation) මනස නිවැරදි මාවතකට සෙමෙන් සෙමෙන් ඇතුළු කෙරුණි. මාස 6ක් පමණ කාලය තුළදී තුෂාර සම්පූර්ණ මෙම රෝගී තත්ත්වයෙන් මිදී පුරැදු රුකියාව ද ආරම්භ කළේය.

ඔබේ දරුවාට ශාරීරික සහ මානසික නිරෝගී බවක් ලබා දීමට කටයුතු කිරීමේ වැදගත්කම මෙම කතාවෙන් මනාව පැහැදිලි වේ.

කිරිබත්ගොඩ මූලික රෝහලේ 
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00