2018 අප්‍රේල් 13 වන සිකුරාදා

මත්පැන් සහ සැකය

 2018 අප්‍රේල් 13 වන සිකුරාදා, පෙ.ව. 06:00 148

සැකය අපි කාටත් ඇති විය හැකි අවිශ්වාසයකි. සාමාන්‍යයෙන් එය රෝගයක් නොවේ. අපි හිතමු Tuition යන ඔබේ දරුවා හවස 6ට ගෙදර එන්න තියෙන්නේ. ඒත් එනවිට හවස 8 වෙනවා. මවුපියන් වන ඔබට සැකය සහ බය යන මේ දෙකම ඇති වෙනවා. අපි හිතමු ඔබේ ස්වාමිපුරුෂයා සාමාන්‍යයෙන් වැඩ ඇරිලා ගෙදර එන්නේ හවස හයට කියලා. නමුත් ඔහු රෑ 8ට ගෙදර ආවොත් ඔබට සැකයක් ඇති වෙන්න පුළුවන්. පොඩි බහින්බස් වීමක් ඇති වෙන්නත් පුළුවන්. නමුත් ඒක වැඩි දුර යන්නේ නෑ. සාමාන්‍ය දෙයක්. නමුත් දිගින් දිගටම හේතු රහිතවත් කේන්ති යන, සැකයෙන් බලන්න යොමුවනවානම් ඒක රෝගයක් හැටියට හඳුනාගන්න පුළුවන්.

සැකය සමහර මානසික රෝගවල ලක්ෂණයක් විදියට ඇති වෙන්නත් පුළුවන්. භින්නෝන්මාදය ද්වී ධ්‍රැව රෝගය සමහර පෞරුෂ භින්නතා මීට හොඳම උදාහරණයයි. 

දිගටම මත්පැන් ගන්න පුද්ගලයකුට සැකය ඇති වෙන්න පුළුවන්. ඒත් මේ සැකයට හරිම හේතුව සොයාගෙන නෑ. වෛද්‍ය විශේෂඥයන් කරන ලද එක් සමීක්ෂණයකදී පෙනී ගොස් ඇත්තේ මත්පැනට ඇබ්බැහි වූ දෙසිය හත්දෙනකුගෙන් 71 දෙනකුම දරුණු ලෙස සැකය නැමති මානසික රෝගී තත්ත්වයට ගොදුරු වී ඇති බවයි. දිගටම මත්පැන් ගන්න කෙනකුට ලිංගික දුබලතා ඇති වෙන්න පුළුවන්. ලිංගික ශක්තිය ඇති කරන ටෙස්ටස්ටරෝන් නැමති හෝමෝනය ශරීරය තුළ නිපදවීම අඩු වෙන්න පුළුවන් කියලා විශේෂඥයන් කියනවා. සමහරවිට ලිංගික ශක්තිය අඩු වුණාම තම සහකාරිය වෙත සැකය ලෙස එය ප්‍රකාශ වෙන්නත් පුළුවන්. කාලයක් මත්පැන් ගන්න කෙනෙකුගේ අක්මාව තුළ ලිපිඩ තැම්පත් වී ක්‍රමයෙන් අක්‍රීයභාවයට යන්න පුළුවන්. අක්මාව දුර්වල වූවිට අප ශරීරයේ වැඩිපුර නිපදවන ඊස්ට්‍රජන් නැමති හෝමෝනය නිසි ලෙස බහිස්‍රාවය වීමක් සිදු වන්නෙත් නෑ. එවිට ඊස්ට්‍රජන් හෝමෝනය වැඩිපුර ශරීරය තුළ එකතු වීමට බලනවා. ඊස්ට්‍රජන් වැඩිපුර එකතු වනවිට පුරැෂ ලිංගික ශක්තිය ද අඩු වෙනවා. මෙසේ ලිංගික ශක්තිය දෙස සැකෙන් බලන්න සමහරු පෙළඹෙනවා. අපි කුමුදුගේ කථාව බලමු.

කුමුදු පේරාදෙණිය සරසවියෙන් කලා උපාධියක් අරගෙන ගුරුවරියක් ලෙස කුරුණෑගල ප්‍රදේශයේ පාසලක සේවය කරනවා. ඇයට ජීවන්ත හමුවෙන්නේ යාළුවකු‍ගේ මඟුල් ගෙදරකදී. ජීවන්ත පෞද්ගලික ආයතනය විධායක නිලධාරියකු ලෙස සේවය කරනවා. කුමුදු ජීවන්ත සමග විවාහ වන්නේ අවු.2ක ආදර සම්බන්ධතාවයකින් පසුවයි. ඒත් අද අපට කුමුදු හමුවන්නේ තම ජීවිතය එපා වෙලා ජීවිතය නැති කරගන්න උත්සාහ කර ප්‍රතිකාරවලින් ජීවිතය බේරී රෝහල්ගතව සිටිනවිටයි. කුමුදු ඇගේ කථාව මෙසේ කීවා.

මගේ සැමියා දැන් හැමදාම බොනවා. බීලා ඇවිත් මා සමඟ රණ්ඩු වෙනවා. ඔහු රණ්ඩු වෙන්නේ මාව සැක කරලා. නිතරම කියන්නේ මට හොර මිනිහෙක් ඉන්නවා කියලා. මේ ළඟදි ගෙදර ලොකු ප්‍රශ්නයක් වුණා. මම teacher කෙනෙක්. ඔහු මගේ පාසලේ දරුවෙක්. ඔහුගේ වයස අවු.15යි. අපේ අසල්වැසියෙක්. මේ දරුවා මගෙන් ගණන් වගයක් අහගන්න ගෙදර ආවා. එදා කොහොමහරි මගේ husband ගෙදර හිටියා. ඔහු මේ දරුවව සම්බන්ධ කරගෙන මා ගැන ලොකු සැකයක් ඇතිකරගත්තා. ඔහු මටයි දරුවටයි දෙන්නටම ගැහුවා. මේ සිද්ධිය දැන් ගමෙත් පැතිරිලා. මම උගන්වන පාසලේ විදුහල්පතිත් මාව ගෙන්නලා මගෙන් මේ ගැන ඇහුවා. මට හරිම ලජ්ජයි. සමාජයට මූණ දෙන්නත් හරිම අමාරුයි.

ඔබට යාළුවෝ නැද්ද?

මම campus යන කාලෙත් ඉස්කෝලේ යන කාලෙත් හුඟක් යාළුවෝ හිටියා. ඒත් දැන් එකම යාළුවෙක්වත් නෑ. මගේ සැමියා මට කිසි කෙනෙක් ආශ්‍රය කරන්න දෙන්නෑ. කොටින්ම කියනවනම් මගේ අම්මා, තාත්තා බලන්නවත් මට තනියෙන් යන්න දෙන්නේ නැහැ. ඔහු සමඟ ගමනක් යනවිට මම යන්නේ බිම බලාගෙන. වැරදිලාවත් පිරිමියෙක් දිහාවත් බැලුනොත් එදාට මට හොඳටම ගුටි කන්න වෙනවා. 

ඔබ phone එකක් පාවිච්චි කරනවද?

නැහැ. මගේ ළඟ phone එකක් නැහැ. Phone 4ක්ම ඔහු පොළොවේ ගහලා කුඩු කළා. Phone එකක් තිබුණොත් ඔහුට සැකය වැඩියි. Phone එකක් නැතුව ඉන්න එක ඇඟට ගුණයි.

ඔබ සැමියා සමඟ ලිංගිකව එකතු වෙනවද?

දැන් හුඟක් අඩුයි. ඔහුගේ සැකය නිසාම මට දැන් ඔහුව අප්‍රසන්න වෙලා. කොහොමත් මට දැන් ලිංගික ආශාවක් දැනෙන්නෑ. ජීවිතය කලකිරිලා. එපා වෙලා. ඉස්සර වගේ දැන් මට වැඩ කරන්න හිතෙන්නෑ. ඇඟට පණ නෑ. ජීවිතය නැති වුණානම් හොඳයි කියලා හිතෙනවා.

මේ කතාව අධ්‍යනය කිරීමේදී කුමුදු දැඩි මානසික අවපීඩනය හෙවත් විශාදියට ගොදුරු වී ඇති බව පේනවා. මීට හේතුව ඇගේ සැමියාගේ දැඩි සැකයයි. ඇගේ සැමියා දිගටම මත්පැන් ගැනීම නිසා සැකය නැමති මානසික රෝගයට (Othello syndrome) ගොදුරු වී ඇති බව පේනවා. දෙදෙනාටම ප්‍රතිකාර පටන් ගත්තා. විශේෂයෙන්ම ජීවන්ත මත්පැන්වලින් එළියට ගැනීමට විෂානුහරණය නැමති වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයට යොමු කරා. කුමුදුට මානසික අවපීඩනයට මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර පටන් ගත්තා. ජීවන්ත සැකය මත්පැන් නිසා ඇති වන මානසික රෝගයක් බව ක්‍රමානුකූලව තේරැම් ගත්තා. මානසික අවපීඩනයට ප්‍රතිකාර ගැනීමත් සමඟ කුමුදුට  ජීවිතය පිළිබඳ ආශාව ඇති වුණා. දැන් ඔවුන් තම දරැවන් සමඟ සතුටින් කාලය ගෙවනවා.

නටන්න, සින්දු කියන්න, ජීවිතය විඳින්න මත්පැන් අවශ්‍ය දෙයක් කියලා අදහසක් අපේ සංස්කෘතිය තුළ තිබුණේ නෑ. අපේ රටට මත්පැන් ගෙනාවේ 1505දී පෘතුගීසීන්. 1658 ලන්දේසි එය තවත් ව්‍යාප්ත කළා. අපේ රටට ආපු සුද්දෝ (බ්‍රිතාන්‍ය ජාතිකයෝ) 1912දී රාවලට ලයිසන් දීලා මත්පැන් රටේ අස්සක් මුල්ලක් නෑර ව්‍යාප්ත කළා. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ජන අනුපාතය අනුව අපේ රටේ එක් අයෙක් බොන මත්පැන් ප්‍රමාණය 16.2L. ඔවුන් කියන්නේ හොර මත්පැන් හෙවත් කසිප්පු බොන ප්‍රමාණය අපේ රටේ පිරිමින්ගෙන් 55%ක් කියලා.

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00