2018 මාර්තු 10 වන සෙනසුරාදා

ආදරය අහිමිව ලෙඩ වූ දරුවෝ

 2018 මාර්තු 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 115

ගැටවර විය කියන්නෙ ඉතා සංකීර්ණ සහ සංක්‍රාන්තික කාල පරිච්ඡේදයක්. බොහෝ සිතුවිලි, හැඟීම් අනාගතය පිළිබඳ සිහින මේ සියල්ල එකට කැටි වී වැඩිහිටියෙක් විදිහට සමාජයට යවන්න අවශ්‍ය පෞරුෂය නිර්මාණය වන්නේ අවු:11 ත් අවු:18 ත් අතර මේ කාලය තුළදී. මේ වයස තුළ සිටින ඔබේ දරුවා නිසි ලෙස අවබෝධ කර නොගෙන ඔහුට උපදෙස් දීම, ඔහු මෙහෙයවීමට යාම, ආදරයට වඩා ඔබේ කෑදරකම ඉස්මතු වී කටයුතු කිරීම වැනි හේතු නිසා දරුවාගේ පෞරුෂය කුඩුපට්ටම් වී විනාශ වෙන්නෙ හරියට වේගයෙන් යන දුම්රියක් ක්ෂණිකව තිරිංග තද කිරීම නිසා පෙරළී ඇතිවන හානිය හා සමානවය. මීට ප්‍රධානම හේතුව නූතන මනෝවිද්‍යාත්මක සොයාගැනීම් අනුව දරුවකුගේ පෞරැෂයට අදාළ මොළයේ පරිපථ නිර්මාණය වීමට පටන් ගන්නෙ මේ ගැටවර විය තුළදී නිසයි. හැඟීම්වලට අදාළ පරිපථ, ආදරය, තීරණ ගැනීම, ප්‍රශ්න විසඳාලීමට අවශ්‍ය පරිපථ මොළය තුළ සකස් වන්නෙ මේ කාලය තුළයි.

ළමා කාලය අවසන් වෙමින් සිටි අවු:18 ක් වයසැති දුමින්ද අපට යොමුවුණේ ඔහුගේ මව සමඟයි. මව සහ දුමින්දගේ මුහුණුවල දක්නට ලැබුණේ පීඩනය සහ අසහනකාරී බවයි. දුමින්දගේ ගැටලුව ගැන මව මෙසේ පැවසුවා.

මම ගුරුවරියක්. මහත්තයා පොඩි ව්‍යාපාරයක් කරනවා. මට දැන් හිතෙනවා අපි දෙන්නගෙම වරද නිසා තමයි දරුවා මෙහෙම නාස්ති වුණේ කියලා. අපි දෙන්නම ජීවිතේ ගෙනියන්න ලොකු සටනක් කරනවා. පාසල් ගිහින් ඇවිත් මම tution කළා. මගේ ස්වාමියා ගෙදර එන්නෙ රෑ 9ට විතර. අපි දෙන්නටම අපේ දරුවා අපෙන් මඟහැරුණා කියලයි හිතෙන්නෙ.

ඇයි ඔබ එහෙම කියන්නෙ?

මම කිසිම දවසක මගේ දරුවා අගය කළේ නෑ. ඔහුගෙ වැරදිමයි හෙව්වෙ. O/L වලට A 8 ක් ගත්තා. ඒත් මම රණ්ඩු වුණා ඇයි උඹට A 9 ක් ගන්න බැරිවුණේ කියලා. මම නිතරම අනිත් ළමයි එක්ක මගෙ දරුවා සංසන්දනය කර කර ඔහුට බැන්නා. මගෙ ස්වාමියත් නිතරම දුමින්දගෙ වැරදිමයි හෙව්වෙ. ඔහු දුමින්ද ළඟින් වාඩිවෙලා ආදරෙන් කතා කරන කිසිම දවසක් මම දැකල නෑ. උඹ කාලකණ්ණියා, බූරුවා කියන වචන තමයි නිතරම ඔහුගෙ කටින් පිටවුණේ. මගෙ ස්වාමියත් හොඳටම මහන්සිවෙලා ගෙදර එන්නෙ. වෙලාවකට මට ඔහු ගැනත් දුක හිතුණා. මේ ජීවිත සටන ඇතුළෙ අපි දෙන්නත් ඈත්වෙලා. ආදරය සහ ලිංගික ජීවිතයත් අපෙන් ඈත්වෙලා. ඔහුට හරියට තරහ යනවා. මමත් ඔහු සමඟ නිතරම රණ්ඩු වුණා. දුමින්ද පුංචි කාලෙ ඉඳලම දැක්කෙ ආදරණීය පරිසරයකට වඩා ප්‍රචණ්ඩ පරිසරයක්.

ඉතින් දැන් ඔබේ පුතාට මොනවද වෙලා තියෙන්නෙ?

O/L හොඳට පාස් වුණාට පස්සෙ දුමින්ද A/L වලට කොළඹ ප්‍රසිද්ධ පාසලකට ඇතුළු වුණා. ගෙදර පරිසරය නිසාදෝ ඔහු අපෙන් හුඟක් ඈත්වුණා. උදේ 6ට ගෙදරින් යන දරැවා හවස ගෙදර එන විට 6,7 වුණා. මෙහෙම මාස 6ක්වත් පිළිවෙළට පාසල් ගියේ නෑ. අපිත් එක්ක කතා කරන එක අඩු වුණා. ගෙදරින් සල්ලි හොරකම් කරන්නත් පටන් ගත්තා. ගෙදර ඉන්න කොට ඔහු හිටියෙ කාමරේ ඇතුළෙ. හොස්ස ළඟින් මැස්සා යන්න බෑ, පුංචි දේටත් හරියට තරහ යන්න පටන් ගත්තා. දවසක් ගෙදර එනකොට ඔහුගෙ ඇස් හොඳටම රතුවෙලා තිබුණෙ. මට හොඳටම තරහ ගියා. මම ඔහුට දෙකක් ගැහුව්වා. මොනව හරි මත්වෙන දෙයක් උඹ ගන්නව නේද?* කියලා මම ඇහුව්වා. ඔහු කීවා, ඔව් මම ගංජා බොනවා. ඉස්කෝලෙ ගංජා බොන සෙට් එකක් මට ඉන්නවා. එයාල එක්ක ඉන්න කොට මට හරිම සැහැල්ලුයි. ඔයාල මට සල්ලි වියදම් කළාට කවදාවත් මට ආදරේ කළේ නෑනෙ. ඒත් මට යාළුවෝ එක්ක ඉන්න කොට හරිම සතුටක් දැනෙනවා. කියලා.

අපි දුමින්ද දෙසට හැරුණා. ඔහු මෙසේ කීවා.

අපේ ගෙදර තිබුණෙ හරිම සීතල පරිසරයක්. කිසිම උණුසුමක් නෑ. මට කවුරැත් දැනෙන්න ආදරේ කළේ නෑ. අම්මයි තාත්තයි නිතරම මගේ වැරදිමයි හෙව්වෙ. එයාල මගෙ අධ්‍යාපනය ගැන හෙව්වට මාත් එක්ක ජීවිතේ ගැන කතා කළේ නෑ. මම O/L හොඳට පාස් වුණා. එතනින් පස්සෙ යන්න ඕන තැන හොයාගන්න බැරිව ලෝක දෙකක් අතර අතරමං වුණා. මගේ ලෝකෙ දැන් ඉන්නෙ මගෙ යාළුවෝ විතරයි. ගංජා බීවම හරිම සැහැල්ලුයි. මගෙ ඔළුව හැමදේකින්ම නිදහස් වෙලා පාවෙලා යනව වගේ දැනෙනවා. ඒත් මට දැන් ජීවිතේ එපාවෙලා. මට හැමදේම වැරදිලා කියලා මට දැනෙනවා. මින් එළියට එන්නෙ කොහොමද කියලා හිතාගන්න බැරැව තමයි මම ඉන්නෙ.

දුමින්ද මින් එළියට ගන්නේ කෙසේද?

දුමින්ද මානසික අවපීඩනයෙන් පෙළෙන අතර ගංජා නැමති මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී සිටියේය. ඔහුට මානසික අවපීඩනය හෙවත් ජීවිතය එපාවීම සහ කලකිරීමට ඖෂධ ප්‍රතිකාර ලබාදුන් විට ඔහුගේ ජීවිතය ශක්තිමත් වී ප්‍රබෝධමත් විය. ගංජා හෙවත් කැනබීස් (Cannabies) නැමති මත්ද්‍රව්‍යයෙන් එළියට ගැනීමට විශේෂ ප්‍රතිකාරයක් වන විෂානුහරණයට (Detoxification) ඔහු ලක් කළේය. ඔහුගේ ජීවිතය ශක්තිමත් කිරීම සඳහා ඉන් පසු මනෝවිද්‍යාත්මක උපදේශනයට යොමු කළේය. කොහුවල life ආයතනයේ උපදේශිකාවක් යටතේ ඔහුට ලබාදුන් උපදේශනවල සාරාංශය මෙසේය.

ජීවිතයේ අරමුණු සොයාගැනීමට උදව් වීම.

මනස සහ ශරීරය සැහැල්ලු කරන ව්‍යායාමවලට යොමු කිරීම.

ගංජා නැමති මත්ද්‍රව්‍යවල ඇති භයානකකම හා ඉන් මොළයට ඇතිවිය හැකි හානි පිළිබඳ සාකච්ඡා කිරීම.

දුමින්දගේ දෙමාපියන් සමඟ සාකච්ඡා කර ඔහු සමඟ නිරෝගී ආදරණීය සම්බන්ධයක් පවත්වා ගැනීමට අවශ්‍ය මනෝ විද්‍යාත්මක උපදේශනය ලබා දීම.

දුමින්ද විනාශකාරී ජීවන රටාවෙන් එළියට පැමිණියේය. දෙමාපියන්ද දුමින්ද සමඟ හොඳ සම්බන්ධතාවයක් ගොඩනගා ගත්තේය. ඔවුන් දිනකට පැයක් පමණ දුමින්ද සමඟ ආදරය සතුට බෙදාගත්තේය. මෙම දරුවා දැන් සතුටින් A/L කරයි. එය අපටද සතුටකි. 

මේ විෂම අධ්‍යාපන ක්‍රමය දරුවන් සහ දෙමාපියන් ඈත් කර තබා ඇත. හොඳම ගුරුවරයා කියන්නේ හොඳින් ඔළුවට විෂය ගිල්වන ගුරුවරයාය. අද ගුරුවරයාට දරුවාගේ ප්‍රශ්න හෝ හැඟීම් හඳුනා ගැනීමට දැනුමක් නැත. ඔවුන්ද මුදල් හම්බ කරන සටන තුළට ගිලී ගොස්ය. විද්‍යාත්මකව උපදේශනය පිළිබඳ දැනුමක් ලැබූ ගුරුවරු අද පාසල්වල නැත. ඔවුන් බොහෝ දෙනා අම්මණ්ඩිලාය. දරුවන්ට ළංවීමේ සරල ක්‍රමවේද ඔවුන් ළඟ නැත. මන්ද ඔවුන්ට මෙම පුහුණුව ලබා ඇත්තේ ප්‍රායෝගික දැනුමක් නැති අධ්‍යාපන අමාත්‍යාංශයේ යල්පැන ගිය ඔළුගෙඩිවලිනි. ආදරය හා හැඟීම් බෙදාගැනීමේ පරිසරයක් පන්ති කාමරය තුළ නැත. මෝඩ දේශපාලකයන්ට ජාතිවාදයට වපුරමින් මේ රට ගෙන යන්නට පුළුවන් වී ඇත්තේ කුඩා කාලයේ මනුෂ්‍යත්වය හා ආදරය පිරුණු පරිසරයක් පන්ති කාමරය තුළ නිර්මාණය කිරීමට නොහැකි වූ නිසයි.

කිරිබත්ගොඩ මූලික රෝහලේ 
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30