2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා

සොරකමට යොමු වන හිතේ ලෙඩේ

 2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 219

හොරකම් කරන පුද්ගලයකුට අපි කියනවා හොරෙක් කියලා. සමහරු තවත් කෙනෙකුගේ දෙයක් සොරකම් කර ගන්නේ ඔහුගේ සුඛ විහරණයට. නොයෙකුත් හොරැ ඉන්නවා. ජනතාවගේ ඡන්දෙන් පත්වෙලා පොදු දේපල මංකොල්ල කෑමත් එක්තරා විදිහක හොරකමක්. තවත් සමහර හොරකම් කරන බොහෝ අය එය කරන්නේ ආශාවකින් නෙවෙයි. කොහොම කළත් සොරකම නීතිය හමුවේ දඬුවම් ලැබිය හැකි වරදක්. නමුත් අද අපි කතා කරන්නේ හොරකමට ආසා හිතෙන ලෙඩක් ගැන.
එංගලන්තයේ අටවන එඩ්වඩ් රජතුමාට තිබුණේ අමුතුම ආශාවක්. එය හොරකමකට තිබුණු ආශාවක්. ඔහු හොරකම් කරේ ඔහු හොරෙන් ගන්නා බඩුවලට තිබුණු ආශාව නිසා නෙවෙයි. එසේ සොරකම් කිරීම ඔහුට අපූරු තෘප්තියක් හා ආස්වාදයක් ගෙන දුන්න නිසයි. මා වෙත යොමු කළ උපුල්ට තිබුණෙත් එබඳු ලෙඩක්.

අපි උපුල්ගේ කතාව අහලා බලමු.

උපුල්ගේ වයස අවු. 17යි. කොළඹ පාසලක උසස් පෙළ හදාරමින් සිටියේය. උපුල්ට හොඳට ඉගෙන ගන්නත් පුළුවන්. පන්තියේ කවුරුත් දන්නවා උපුල් හොරකම් කරනවා කියලා. පන්තියේ ළමයි ඔහුට කීවේ හොර උපුල් කියලා. මේ ළඟකදී පන්ති භාර ගුරැතුමියගේ මුදල් පසුම්බියෙන් රු.500/-ක් හොරකම් කරලා අහු වුණා. පොලීසි යන්නටත් වුණා. පොලීසියෙන් තමයි කිරිබත්ගොඩ මූලික රෝහලේ මනෝ වෛද්‍ය සායනයට උපුල්ව යොමු කළේ. උපුල්ගේ කතාව ඔහු මෙහෙම කීවා.

මට හිටිහැටියේ මොනවා හරි දෙයක් හොරෙන් ගන්න පුදුම ආශාවක් එනවා. මම එහෙම ගන්නේ සැලසුම් කරලා නෙවෙයි. මම එහෙම ගන්නේ මට ඒ දේවල් ඕන නිසත් නෙවෙයි. හිටිය ගමන් යමක් හොරකම් කරන්න පුදුම ආශාවක් එනවා. ඒ එන ආවේගය පාලනය කරගන්න හරිම අමාරැයි. මොනවාහරි දෙයක් හොරෙන් ගන්නකොට මගේ හිතට පුදුම සතුටක් වගේම සැහැල්ලුවක් දැනෙනවා. නමුත් ඊට පස්සේ මම කරපු දේ ගැන මට දුකකුත් එනවා. මේ හැසිරීමට මම කැමති නැහැ. මට මේකෙන් අයින් වෙන්න ඕනේ.

උපුල් ගොදුරු වී ඇත්තේ ක්ලෙප්ටොමේනියා - Kleptomania (සොරකම් කිරීමට ඇති ආශාව) නැමැති මානසික රෝගයටයි. උපුල් හොරෙක් නෙවෙයි. හොරෙක් සහ උපුල් අතර තිබෙන වෙනස්කම් අපි හඳුනාගනිමු.

• හොරෙක් හොරකම් කරනුයේ සැලසුම් සහගතවයි. නමුත් උපුල්ට වැළඳී ඇති මෙම රෝගයේදී සැලසුමක් නැත.

• සොරකම් කිරීමට පෙර මෙවැනි රෝගියෙකුට එය කිරීම සඳහා දැඩි ආතතියක් මනස තුළ ඇති වේ. නමුත් සොරෙකුට මෙසේ ඇති නොවේ.

• සොරකමෙන් පසු මෙවැනි රෝගියෙකු ඒ ගැන දැඩි ලෙස පසුතැවිලි වේ. නමුත් සොරෙකුට පසුතැවිලිවීමක් ඇති නොවේ.

අප වෙත යොමු වුණු උපුල් ඖෂධ හා මනෝ චිකිත්සක ප්‍රතිකාරවලට යොමු කෙරුණා. මෙහිදී මනෝ චිකිත්සක ප්‍රතිකාරය ලෙස (Cognitive Behavior Therapy) යොදා ගැනුණි. දැන් උපුල් මින් ගැලවී පාසලේ හොඳින් ඉගෙනීමේ කටයුතු කරයි.

උපුල් ගොදුරු වී සිටියේ මානසික රෝගයකට බව උපුල්වත්, ඔහුගේ මවුපියන්වත්, ජීවත් වන සමාජයවත් දැන සිටියේ නැත. මවුපියන් උපුල් දිහා බැලුවේ වෛරයෙන් සහ ක්‍රෝධයෙනි. ඔහුව පවුලෙන් ඈත් කර තිබුණි. උපුල් මේ ගැන නිතර කල්පනා කළේය. ඔහුට ගැලවීමට නොහැකි මේ ආතතිය කුමක්දැයි තේරුම් ගැනීමට නොහැකිව ලෝක දෙකක් අතර ඔහු අතරමං විය. ඔහුට ජීවිතයද එපා විය. නිතර තරහා යෑමට ද පටන් ගත්තේය. පාසලේ විෂයන්ට ලකුණු අඩු විය. පාසැල් යාමද ටිකෙන් ටික අඩු විය. ඉහත ක්ලෙප්ටොමේනියා නැමැති අසනීපයට අමතරව උපුල් දැඩි මානසික පීඩනයට පත් වී ඇති බව පෙනෙන්නට තිබුණි. 

උපුල්ගේ ජීවිතය මින් ගලවා ගැනීමට මනෝ වෛද්‍ය විද්‍යාව පහත අකාරයට යොදා ගැනුණි.

පළමුවෙන්ම උපුල්ට තම වියරු ආශාව අඩු කර ගැනීමට අවශ්‍ය ඖෂධ ප්‍රතිකාර ලබා දුනි. මෙම ඖෂධ ලබා ගන්නා අතර උපුල්ගේ මෙම ආතතිය කෙමෙන් තුනී වී ගියේය.

මවුපියන්ගේ සහ ගුරුවරුන්ගේ ආකල්ප වෙනස් කිරීමට මෙම රෝගය පිළිබඳ ඔවුන්ට මනා දැනුමක් ලබාදීම ද මෙහිදී සිදු විය. මෙයට මනෝ වෛද්‍ය විද්‍යාවේදී මනෝ අධ්‍යාපනය ලෙස හැඳින්වේ.

මෙවැනි රෝගියෙකුට ආරොන් ටී බෙක් නැමති මනෝ විද්‍යාඥයාගේ උපදේශන ක්‍රමයක් වන සිතුවිලි ප්‍රතිකාරය සාර්ථක ලෙස යොදා ගත හැකිය. මෙම ප්‍රතිකාරය තුළදී උපුල් තමාගේ ප්‍රශ්නය දිහා බලන ආකාරය ක්‍රමයෙන් වෙනස් කරන ලදි. මෙය තමාගේ වරදක් නොව මනසේ රසායනික වෙනසක් නිසා ඇති වන රෝගයක් තව එහිදී ඔහු අවබෝධ කරගත්තේය. මේ ප්‍රතිකාරයත් සමඟ උපුල්ට මනසට දැනෙන පීඩනය අඩු විය. කලකිරීම සහ එපා වීම අඩු විය. නැවතත් සතුටින් අධ්‍යාපනය වෙත යොමු විය.

උපල්ගේ කතාව කියවනවිට මනෝ වෛද්‍ය විද්‍යාව ඉතා සාර්ථක ලෙස ජීවිතයට යොදා ගත හැකි ආකාරය මනාව පැහැදිලි වේ. යන්ත්‍ර, මන්ත්‍ර, ශාන්තිකර්ම පිටුපස දුවමින් තම කාලය සහ ධනය නාස්ති කරමින් ඒවා පසුපස යන බොහෝ දෙනාට මෙය හොඳ පාඩමකි.

කිරිබත්ගොඩ මූලික රෝහලේ 
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක

 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 ජනවාරි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 ජනවාරි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00