2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා

ජීවිතය බිලිගන්නා අමතක වන ලෙඩේ

 2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 199

අද කතා කරන්න අදහස් කළේ සමාජයේ නිසි අවධානයට යොමුව නැති ලෙඩක් ගැනයි. ඒ තමා අමතක වීම හෙවත් ඩිමෙන්ෂියා. ඩිමෙන්ෂියා කියන්නේ ඉතා සරලව කිව්වොත් අමතක වීමයි. නමුත් මේ අමතක වීම සාමාන්‍ය අමතක වීමක් නොවේ. ඩිමෙන්ෂියාව හුඟාක් වයසත් එක්ක එන්න පුළුවන් ලෙඩක්. අවුරුදු 60 පහු වුණාට පස්සේ පුද්ගලයන් 20 දෙනකුගෙන් එක්කෙනෙකුට ඩිමෙන්ෂියාව රෝගයට ගොදුරු වීමේ ප්‍රතිශතයක් තිබේ. මෙම රෝගයට ඇල්ෂයිමර් රෝගය කියලත් කියනවා.

නන්දනීගේ කතාව

ඇයගේ නම නන්දනී. ඇය නොතාරිස්වරියක් ලෙස කඹුරුපිටිය ග්‍රාමයේ සාර්ථක ලෙස රැකියාවක් කළ තැනැත්තියකි. ඇයගේ වයස අවුරුදු 63ක් වූ අතර විවාහ වී අවුරුදු 25ක් වයසැති දුවෙක් සිටියාය. දවසක් ඇය උදේ තමාගේ දත් බුරුසුව සොයා සෑම තැනක්ම පරික්ෂා කළාය. අවසානයේ ඇය එය සොයා ගත්තේ ශීතකරණය තුළ තිබියදීය. කවුද මගේ දත් බුරුසුව ශීතකරණයේ තිබ්බේ යැයි දුව සමඟ රණ්ඩු කළාය. ක්‍රමයෙන් ඇයට හොඳින් දන්නා දුරකථන අංක ද අමතක විය. මෙසේ කල් යත්ම ඇයට ගෙදර ආහාර පිළියෙල කිරීමට ද අපහසු විය. එයට හේතු වූයේ ආහාරවලට වැඩියෙන් ලුණු දැමීමයි. තවද ලිපේ තැබූ මාළුව නිසි වේලාවට ගැනීමට ද ඇයට අමතක විය.

මේ නිසා දිනක් ලිපේ තැබූ මාළුවක් ගිනි ගෙන ලොකු විපත්තියක් ද සිදු වූයේය. ඇයගේ රුකියාවේ කටයුතු ද ක්‍රමයෙන් අවුල් විය. ඇය ලියන ඔප්පුවලට ද වැරදි අංක යෙදීම නිසා ඇයට උසාවි යෑමට ද සිදු විය. මේ හේතුව නිසා ඇය ළඟට ඔප්පු සකස් කරගැනීමට ද එන සංඛ්‍යාව අඩු විය.

මෙසේ වර්ෂයක් ගතවිය. ඇයගේ රැකියාව ද කර ගැනීමට නොහැකි විය. ඇයට නිතර තරහා යෑම සහ සැකය ද තදබල ලෙස ඇති විය. තමාගේ බඩු බාහිරාදිය ද අනෙක් අය විසින් සොරකම් කරනවායැයි ඇය සැක කළේය. මේ නිසා නිතරම ගෙදර රණ්ඩු දබර ද ඇති විය.

දිනක් අපූරු දෙයක් සිදුවිය. ඇය එක ගවුමක් උඩින් තවත් ගවුමක් ඇඳ තිබුණාය. ඒ ගැන ඇගේ දුව විමසූවිට ඇය නොයෙකුත් විදිහට නොයකුත් පිළිතුරු දුන්නාය. ඉතින් ඔයාට මොකද මම මොනවා ඇන්දත් කියා ඇසීය. ක්‍රමක්‍රමයෙන් ඇයගේ සෞඛ්‍ය කටයුතු ද පිරිහී ගියේය. දත් මැදීමද, නෑමද, ඇඳුම් සේදීමද ඇයට අතපසු විය. ඇය නිතරම තමාගේ රාජකාරි කටයුතුවලට කිලෝමීටර් 1ක් පමණ ඈතින් තිබූ කඹුරුපිටිය නගරයට යෑමට පුරැදුව සිටියාය. ඇය එසේ ගියේ ඇගේ පරණ මයිනර් කාරයෙනි. මෙසේ ගිය ඇයට නැවත තම නිවසට පැමිණෙන පාර ද අමතක විය. සමහර දිනවල ඇයට ගෙදර එන්න පැය 4-5 පමණ ගතවිය. නන්දනීට ඇයගේ අමතක වීම නොතේරුණි. ඇය මේ පිළිබඳව පැවසුවේ මම පොඩි ගමනක් ගිය නිසා පරක්කු වුණා කියායි. තමා ළඟට ඔප්පු ලිවීමට එන අයගේ නම් ද ඇයට අමතක විය. අවුරුදු 3ක් පමණ ගියවිට ක්‍රමක්‍රමයෙන් ඇයට ගෙදර අයගේ නම් ද අමතක විය. තම දුවගේ නම් ඇසූවිට ඇය ඇයි මගේ දුවගේ නම ඔයාට මොකටද කියා අසන්නට විය.

මේ සියලු වෙනස්කම් දුටු දුව මේ වෙනස්කම් ආරම්භ වී අවුරුදු 3කට පමණ පසු වෛද්‍යවරයකු වෙත නන්දනීව රැගෙන ගියාය. ඇයට අධි රුධිර පීඩනය සහ දියවැඩියාව ද නොතිබුණි. මනෝ වෛද්‍යවරයා ඇයව පරික්ෂා කර බලා ඇය ඇල්ෂයිමර් හෙවත් ඩිමෙන්ෂියා නැමති රෝගයට ගොදුරු වී ඇති බව පැවසීය. මෙහිදී ව්‍යෛවරයා ඇයගේ මොළයේ CT Scan පරීක්ෂණයක් ද කර ඇයට එම රෝගය ඇති බව තහවුරැ කර ගත්තාය.

කෙටිකාලීන මතකයන් අමතක වීම ඩිමෙන්ෂියා රෝගයයි.

ඩිමෙන්ෂියා රෝගියකු තුළ මුල් අවධියේ දක්නට ලැබෙන ලක්ෂණ

ඩිමෙන්ෂියා තත්ත්වයට ගොදුරැ වනවිට මුල් කාලයේ ලිංගික ආශාව වැඩි වේ.

හිටි හැටියේ ඇඬීම සහ තරහා යෑම.

ඒ රෝගියාගේ අතීතයේ තිබුණ පෞරැෂ දුර්වලතා ඉස්මතු වීමට පටන් ගනී. 

උදා - රෝගියා තරහ යන කෙනෙක් නම් ඔහුගේ හෝ ඇයගේ තරහ යෑම වැඩිවේ.

ඩිමෙන්ෂියා රෝගියකු තුළ බහුලව දක්නට ලැබෙන ලක්ෂණ

කොහේ හරි ගියාම ගෙදර එන පාර අමතක වීම.

තමා නිතර ආශ්‍රය කරන අයගේ නම් අමතක වීම.

තීරණ ගැනීමේ කුසලතා සහ බුද්ධිමය කුසලතා පිරිහීමට පත් වේ.

ඔවුන්ට කතා කරන්න අවශ්‍ය වචන සොයා ගැනීමේ අපහසුතාවයන් පැන නැගීම. 

උදා - මේ මොකද්ද, එයට උත්තර දුන්නම මට මොකද, මට වැඩක් නෑනේ කියනවා.

ක්‍රමානුකූලව තමාගේ සෞඛ්‍ය පිළිබඳව ඇති අවධානය අඩු වීම.

ඩිමෙන්ෂියා රෝගීන්ට බොහෝවිට සැක මතු වේ. සැකය එන්නේ අමතක වීමත් එක්ක. සැකයත් සමඟ ලොකු ගැටලු ඇතිවන්න පුළුවන්.

උදා - මගේ රත්තරන් බඩු ටික හොරු අරගෙන කියලා ප්‍රශ්න ඇතිවීම. සමහර අවස්ථාවලට ගෙදර අයටත් එපා වෙන්න පුළුවන්.

තරහා යෑම.

හැඟීම් පාලනය කර ගැනීමට අපහසු වීම.

තේරුමක් නැතිව ඒ මේ අත ඇවිදීම.

යම් භාණ්ඩයක් තිබිය යුතු ස්ථානයේ නොතබා වෙනත් තැන්වල තැබීම.

උදා - දත් බුරුසුව ශීතකරණයේ දැමීම.

ඩිමෙන්ෂියා රෝගීන් හට කෙටි කාලීන මතකයන් අමතක වුවත් දිගු කාලීන මතකයන් බොහෝවිට රැඳී පවතී.

ඩිමෙන්ෂියා රෝගීන්ගෙන් 20% පමණ මානසික අවපීඩනයට ගොදුරු වේ. දිවි නසා ගැනීමට පවා යොමු විය හැකිය. එම නිසා ඩිමෙන්ෂියා රෝගීන්ගේ අවපීඩන ලක්ෂණ සොයා බැලීම ද ඉතා වැදගත්ය. 

මේ රෝග ලක්ෂණ පහලවන මුල් අවධියේම වෛද්‍ය උපකාර සොයා යාම ඉතාමත් වැදගත් බව මතක තබාගත යුතුයි.

කිරිබත්ගොඩ
මූලික රෝහලේ
විශේෂඥ මනෝ වෛද්‍ය
නයනානන්ද කුමාරනායක.

 2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00