2017 ජුලි 15 වන සෙනසුරාදා

මාරාන්තික තරබාරුව මට්ටු කරමු

 2017 ජුලි 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 250

දුම් පානය හා තරබාරුකම වහා පිටුදැකීමට ක‍්‍රියා නොකළ හොත් 2015 වන විට ලොව පුරා මිලියන 36ක් ඉන් මිය යන බව ලැන්සෙට් සඟරාව පසුගියදා පෙන්වා දී තිබුණි. ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා පෙන්වා දෙන අන්දමට අඩු ආදායම් ලබන පහළ සමාජ ආර්ථික රටාවක ජීවත් වන ජනතාව තුළ තරබාරුකම පැතිර යාම ඉහළ වෙයි. මෙයට හේතුව ලෙස මෙම ජනතාව මිලෙන් අඩු, වැඩි පිෂ්ට හා සීනි අඩංගු ආහාර වලට යොමු වීම පෙන්වා දී ඇත. ඔවුහු බඩගින්න නිවා දැමීමට කටට රසවත් සීනි හා තෙල් කෑම ගැනීමට පුරුදු වෙති. 

තරබාරුකම කෙරෙහි හේතු වන ආහාර රටාවේ වෙනස්කම්
ලොව පුරා බෙදාහරින බොහෝ ආහාර අධික පිෂ්ටයෙන් හා සීනි සාරයෙන් යුක්ත වීම.
ආසියාව, මැද පෙරදිග හා අප‍්‍රිකානු රටවල ජනතාව අතර අධික ලෙස තෙල් (ආහාර) පරිභෝජනය ඉහළ යාම.
තෙවන ලෝකයේ රටවල ආහාර වේල තුළ ශක්ති ඝනත්වය ඉහළ යාම.
දියුණුවන රටවල ජනතාවගේ ආහාර වේල තුළ අඩංගු සත්ත්වමය ආහාර සංඝටක ප‍්‍රමාණය කැපී පෙනෙන ලෙස ඉහළ යාම.
 
තරබාරුකම කෙරෙහි බලපාන ජීවන රටාවේ වෙනස්කම්
ශරීරය වෙහෙසා සිදු කරන කෘෂිකර්මය ඇතුළු වගා කටයුතු වලින් ඉවත් වූ ජනතාව රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා සපයන රැකියාවලට කොටු වීම.
මෙහි ප‍්‍රතිඵලයක් ලෙස දවසේ වැඩිම කාලයක් එකතැන හිඳ රාජකාරී කටයුතු කිරීමට සිදු වන අතර මේ කාලය තුළ ශරීරයේ ව්‍යායාම කටයුතු සිදු නොවෙයි. ලිපිකරැවන්ගේ පටන් වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, පරිපාලකයින් දක්වා මෙය පොදු වෙයි.
කාර්යාල කටයුතු වලින් අනතුරුව බස් රථයකට ගොඩ වී හෝ තමන් ගේ පෞද්ගලික වාහනයෙන් (යතුරු පැදි /මෝටර් රථ) යළි නිවසට යන අතර එහිදී ද කය වෙහෙස වීමක් සිදු නොවෙයි. 
පුද්ගලයින්ගේ එදිනෙදා ජීවිතයේ විවේක කාලය බොහෝ විට රූපවාහිනිය නරඹමින්, ඇඳට හෝ පුටුව උඩට වී පොතපත කියවමින්, තරුණයෙකු නම් පරිගණකය ඉදිරිපිට හෝ වීඩියෝ ක‍්‍රීඩාවකට සීමා වෙයි.
නිවස තුළද සිදු කිරීමට පවතින්නේ සීමා සහිත වැඩ කොටසකි. සියල්ල යන්ත‍්‍ර සූත‍්‍ර වලට භාර දී ඇත. රෙදි සේදීම, කෑම පිසීම, නෑම හෝ ඇවීදීම, පොල් මිරිකීම මේ සියල්ලටම කය වෙහෙසීමක් නැත.
නිවසේ කෑම පිසීමට වැය වන්නේ ද ඉතා අඩු කාලයකි. බොහෝ විට සුපිරි වෙළඳ සැලෙන් හෝ කෘත්‍රිමව සකස් කළ ආහාර විනාඩි කිහිපයක් තුළ පිස ආහාරයට ගැනීම සිදුවෙයි.
 
ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර පෙන්වා දෙන්නේ වැඩිහිටියන් අධික ලෙස තරබාරු වීමත්, කුඩා ළමයින් මන්දපෝෂණයෙන් පෙළීමත් තෙවන ලොව රටවලට විශාල උභතෝකෝටික ගැටලුවක් නිර්මාණය කර ඇති බවයි. නිරන්තර රෝගාබාධයන්ට ලක් වීමත් නිසි සැලකිල්ලට යොමු නොවීමත් නිසා ළමයින් මන්දපෝෂණයට ගොදුරු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන අන්දමට බෝ නොවන, ආසාදන නොවන (NCD) රෝග අතරින් වළක්වාගත හැකිම රෝගය තරබාරුකමය. තෙවන ලොව රටවල මරණවලින් සියයට හැටක් ම මේ (NCD) නිසා සිදු වෙයි. මේ අතරට ආසාදන රෝග හා මන්දපෝෂණය ද පැමිණි විට මෙම රටවල් අන්ත අසරණ තත්ත්වයට පත් වෙයි. 
තරබාරුබවේ අතුරු ප‍්‍රතිඵල
පහත රෝග වලට ගොදුරු වීමේ අවධානම ඉතා ඉහළ වෙයි.
1. දියවැඩියාව
2. අධිරුධිර පීඩනය
3. අධිකොලෙස්ටරෝල් මට්ටම
4. ශ්වසන අපහසුතා
5. නින්දේදී ඇති වන ශ්වසන අවහිරතා
6. පිත්තාශය ආශ‍්‍රිත රෝග
 
පහත රෝග වලට ගොදුරු වීමට මධ්‍යම මට්ටමේ අවදානමක් පවතී 
1. හෘදයාබාධ හෝ හෘද අකර්මණ්‍යතා 
2. හන්දි අමාරුව
3. මුත‍්‍රා සමඟ යූරික් අම්ලය පිට වීම.
4. ගර්භණී සමයේ සංකූලතා, අධි රුධි පීඩනය
 
පහත රෝග වලට ගොදුරු වීමට සාමාන්‍ය අවදානමක් (Risk) පවතියි.
1. බොහෝ පිළිකා රෝග
2. සරුබාවයට බාධා වීම
3. කොන්දේ ආබාධ 
4. ශල්‍යකර්මවලදී නිර්වින්දන අපහසුව
5. කලලයේ ඇති වන විකෘතිතා
 
ඔබේ ශරීරයේ බර 10% කින් අඩු කර ගැනීමෙන් සැලසෙන විශේෂ වාසි
1. මෙමගින් අධි රුධිර පීඩනය අඩු කරගත හැකිය.
2. දියවැඩියා රෝගීන් ගේ රුධිරගත සීනි මට්ටමට 50% කින් අඩු කරගත හැකිය.
3. දියවැඩියාව නොමැති නමුත් ඒ සඳහා ඉහළ අවදානමක් පවතින රෝගීන් ගේ එම අගය අඩු වෙයි. ඉන්සියුලින් සඳහා වන සංවේදීතාව ඉහළ යයි. දියවැඩියාවට ගොදුරු වීම 40-60% ප‍්‍රමාණයකින් අඩු වෙයි.
4. ශරීරයේ මුළු කොලෙස්ටරෝල් ප‍්‍රමාණය 10% කින් අඩු වෙයි. ශරීරයට හිතකර අධි ඝනත්ව කොලෙස්ටරෝල් (HDL) ප‍්‍රමාණය 8% කින් ඉහළ යයි.
5. මරණ වලට ගොදුරු වීම (ඕනෑම රෝගයකින්) 30% කින් අඩු වෙයි.  දියවැඩියාව නිසා වන මරණ සංඛ්‍යාව 30% කින් අඩු වෙයි. තරබාරුබව නිසා වන මරණ සංඛ්‍යාව 40% කින් අඩු වෙයි.
මේ අනුව තරබාරුකම කල් තියා හඳුනාගෙන ඊට එරෙහි වීමට ජීවන රටාව හැඩගස්වා ගැනීම ඉතා වැදගත් බව නොකිවමනාය.
 
ආහාර වේල වෙනස් කර ගන්නේ කෙසේද?
1. ආහාර වේලේ ප‍්‍රමාණය අඩු කිරීම.
2. සංතෘප්ත මේද අනුභවය අඩු කිරීම.
3. අසංතෘප්ත මේද අඩංගු ආහාර අවශ්‍ය නම් පමණක් එක් කර ගැනීම.
4. එළවළු හා පළතුරු ආහාර වේලට වැඩියෙන් එකතු කර ගැනීම.
5. තන්තු අධික ආහාර එකතු කර ගැනීම.
6. සීනි අඩංගු ආහාර භාවිතය අඩු කිරීම.
 
ශාරීරික ව්‍යායාම වලට යොමු කිරීම
මෙහි දී වැඩි වශයෙන් ව්‍යායාම කිරීම හෝ ජිම් (Gym) එකකට යාමට උනන්දු කිරීමට වඩා ක‍්‍රියාශීලී ව සිටීම  වැඩි කිරීම, අලස බව නැති කිරීම වැදගත් වෙයි. මේ අනුව අප එදිනෙදා ජීවිතයේ දී ක‍්‍රියාශීලී ලෙස වැඩ කරන්නේ නම් විශේෂයෙන් ව්‍යායාම අවශ්‍ය නොවෙයි. රූපවාහිනී බැලීම අඩු කිරීම, ඇවිදීම, උද්‍යාන වැවීම, පා පැදි පැදීම, ක‍්‍රීඩා වල යෙදීම ද මීට එකතු කරගත හැකි ය.
 
දිස්ත‍්‍රික් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ - හම්බන්තොට
වෛද්‍ය ජී.ජී. චමල් සංජීව.
 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00