2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා

ලෙඩ ගොඩකට මුල පුරන අසාත්මිකතා!

 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 153

මේ දිනවල ලොව පුරා සිදුකෙරෙන කොවිඩ් සඳහා වූ නව එන්නත්කරණයත් සමඟ අසාත්මිකතාව යන වචනයද නිතර අසන්නට ලැබේ. එන්නත් නිසා පමණක් නොව විවිධ හේතූ නිසා අසාත්මිකතා ඇති විය හැකිය.

ඇත්තටම අසාත්මිකතාවය (Allergy) යනු ලෝකයේ එන්න එන්නම ඉහළ යමින් පවතින රෝග තත්ත්වයකි. සෙසු රෝගවලට සාපේක්‌ෂව සුළු පරිමාණයේ රෝග තත්ත්වයක්‌ ලෙස බැලූ බැල්මට පෙනුණද අසාත්මිකතා ඇතැම් විට ඉතාම සංකීර්ණ රෝග තත්ත්ව හා බැඳී පවතියි.  එමෙන්ම අසාත්මිකතා හඳුනාගැනීම හා ඊට ප්‍රතිකාර කිරීමද මැනැවින් කරුණු විමසා බලා සිදුකළ යුතු බැරූරුම් කටයුත්තක්‌ වෙයි. 

අසාත්මිකතාවය යනු අපගේ සිරුරට ආගන්තුක යමක්‌ එක්‌වූ විට ඊට එරෙහිව සිරුරේ ප්‍රතිශක්‌ති පද්ධතිය අධිකව ක්‍රියාත්මක වීම නිසා ඇතිවන අතුරු ප්‍රතිඵලයකි.

සිරුරට එක්‌වූ ආගන්තුක ද්‍රව්‍යය සිරුරට හානියක්‌ නොවන ලෙස ඉවත් කිරීමට ප්‍රතිශක්‌ති පද්ධතිය ආගන්තුක ද්‍රව්‍යයට එරෙහිව අනවශ්‍ය ලෙස ශරීරයට හානි කරවන පරිදි තදින් ක්‍රියාකර සිරුරට වේදනාකාරී ලෙස විවිධ ලක්ෂණ මතුවේ. බොහෝ විට එය සමේ ලප ඇතිවීම, රතු පැහැති පලු ඇතිවීම, කැසීම, ඇස්‌ රතුවීම, කඳුළු ගැලීම, ඇස්‌ කැසීම වැනි ලක්‌ෂණ විය හැකිය.

සමහර අවස්ථාවලදී ශ්වසන පද්ධතියටද බලපෑම් ඇතිවේ. මෙහිදී කිවිසුම් යෑම, හුස්‌ම ගැනීමේ අපහසුව‍, වමනය, කරකැවිල්ල වැනි රෝග ලක්‌ෂණ මතුවේ. මෙම රෝග ලක්‌ෂණ පසුව මරණය පවා ඇතිවිය හැකි මට්‌ටමට දරුණු විය හැකිය. එම අවස්ථාවට අපි Anaphylactic Shock යයි හඳුන්වමු. එබැවින් එවැනි දරුණු ලෙස අසාත්මිකතාවය මතුවූ විට එවැනි පුද්ගලයන් වඩා විමසිලිමත් විය යුතු අතර ප්‍රතිකාර කිරීම ඉක්මන් කළ යුතුය. අසාත්මිකතාවක්‌ යනු සායනික රෝග තත්ත්වයකි. මෙය හටගන්නේ දේහ ප්‍රතිශක්‌ති යාන්ත්‍රණයෙහි සිදුවන ව්‍යාකූලතාවකිනි. මේ ව්‍යාකූලතාව ඇරඹෙන්නේප්‍රතිශක්‌ති පද්ධතියට අයත් කුඹ සෛල (Mast cells) නමැති සුදුරුධිර සෛලවලිනි. සිරුරට ආගන්තුක බවට හඳුනාගනු ලබන කිසියම් ද්‍රව්‍යයක්‌ කරණ කොටගෙන කුඹ සෛල මගින් හිස්‌ටැමින් (Histamines) නමැති රසායන ද්‍රව්‍යය ස්‍රාවය කරයි.

අසාත්මික තත්ත්වයක්‌ ඇති වීමට වැඩියෙන්ම බලපාන්නේ මෙසේ ස්‍රාවය වන හිස්‌ටැමීනය. ඊට හේතුව එය අසාත්මිකකාරකයකට දේහය නිරාවරණය වූ වහා ස්‍රාවය වීමයි. අසාත්මිකතාවකට ලක්‌ වූ රෝගියකුගේ රුධිරයේ ඉයොසිනොෆිල නමැති සුදු රුධිර සෛල සංඛ්‍යාව ඉහළ යෑමද නිරීක්‌ෂණය කළ හැකිය. ඉයොසිනොෆිලවලින් නිදහස්‌ කරනු ලබන ප්‍රෝටීනද අසාත්මික ලක්‌ෂණ ඇති කිරීමට දායක වෙයි.

ඉහත කී සියලුම බලපෑම්වල එකතුවක්‌ ලෙස දේහ අභ්‍යන්තරයේ ප්‍රදාහමය (inflammatory) තත්ත්වයක්‌ වර්ධනය වන ක්‍රියාවලියක්‌ ඇතිවේ. අසාත්මිකතා රෝග ලක්‌ෂණ පහළ වන්නේ ඒ අයුරිනි.

අසාත්මිකතා රෝග ලක්‌ෂණ ඇති කිරීම සඳහා වැඩියෙන්ම දායකත්වයක්‌ දක්‌වන්නේ හිස්‌ටැමීන්ය. මෙමගින් ඇති කෙරෙන බලපෑම් ක්‌ෂණිකය. හිස්‌ටැමින් මගින් රුධිර වාහිනී විස්‌තාරණය (පළල්) කරන බැවින් රුධිරවාහිනී බිත්ති ඇදීමකට ලක්‌ වී රුධිර තරලය (fluid) රුධිරවාහිනී බිත්තිවලින් පිටතට කාන්දු වේ. එමෙන්ම ශ්වාස නාළිකා අවහිර වීමක්‌ද සිදුවේ. තරල කාන්දු වීම නිසා නාසයෙන් දියර ගැලීම, උදරයේ වේදනාව, හමේ පලු දැමීම වැනි රෝග ලක්‌ෂණ ප්‍රකට වේ. ශ්වාස නාළිකා සිර වීම හතියට හේතු වේ. තරලය කාන්දු වීම උත්සන්න වුවහොත් Anaphilactic shock නමැති කම්පන තත්ත්වය ඇති වන අතර රෝගීන් මිය යන්නේ මේ හේතුවෙනි. මෙහිදී මූලිකව සිදු වන්නේ රුධිර නාළිකා ඉදිමීම සහ රුධිර පීඩනය පහත වැටීමයි. අසාත්මිකකාරකයකට නිරාවරණය වී පැය භාගයක්‌ ඇතුළත මේ තත්ත්වය ඇතිවිය හැකි ය.

හිස්‌ටැමින මගින් ඇති කෙරෙන මේ බලපෑම් සමනය කිරීම සඳහා ප්‍රතිහිස්‌ටැමීන ඖෂධ ලබා දෙනු ලැබේ. පසුව හටගන්නා ප්‍රදාහ තත්ත්වයන් සමනය කිරීමට ස්‌ටිරොයිඩ වැනි ප්‍රතිප්‍රදාහ ඖෂධද ලබාදෙනු ලැබේ.

අසාත්මිකතාව සමාජයක ජනගහනයෙන් සියයට 40ක්‌ වැනි පිරිසකට තිබෙන රෝග තත්ත්වයකි. තවද පෙර කිසිවිටක අසාත්මිකතාවක්‌ හට නොගත් අයකුට පවා කවර මොහොතක හෝ අසාත්මිකතාවක්‌ ඇති විය හැකිය. එහෙත් මෙය වළක්‌වාගත හැකි රෝග තත්ත්වයකි. මෙය ප්‍රවේණියෙන් (උපතින්ම) උරුම වන අවස්‌ථා ඇතත් එසේ නොවන රෝගීන්ද හමු වේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වාර්ෂික සෞඛ්‍ය වාර්තා විමර්ශනය කරන විට අසාත්මිකතා රෝගයක්‌ වන ඇදුම, ශ්‍රී ලංකාවේ එන්න එන්නම ඉහළ යෑමක්‌ දක්‌නට හැකිය. මරණ අතින් සලකන කළ අංක 1ට ඇත්තේ හදවත් රෝගවුවත් රෝහල්වලට ඇතුළත් කර ගැනීම් අතින් ඉදිරියෙන්ම ඇත්තේ ඇදුම රෝගීන්ය.

ඇදුම රෝගයට හේතුවන අසාත්මිකකාරක භූගෝලීය වශයෙන් වෙනස්‌ය. නිදසුනක්‌ ලෙස බළලුන් වැනි සුරතල් සතුන් සමහර රටවල මෙන් අපේ රටේ ප්‍රමුඛ අසාත්මිකකාරකයක්‌ නොවන බව පෙනෙන්නට ඇත. ඊට හේතුව ඔවුන් නිදන ඇඳන් මත තබාගෙන ඇති කිරීම වැනි චර්යාවන් මෙරට විරල වීම විය හැකිය.

2009 වසරේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සැසිවාරයකට ඉදිරිපත් කරන ලද පර්යේෂණ පත්‍රිකාවකට අනුව මෙරට වැඩියෙන්ම ඇදුම අසාත්මිකකාරක ලෙස ක්‍රියා කරන්නේ ගෘහස්‌ථ දුහුවිලි මයිටාවන් සහ කැරපොත්තන්ය. මයිටාවන් ගැවසෙන්නේ කොට්‌ට මෙට්‌ටවල බැවින් ඒවා අව්වේ දැමීමෙන් එමගින් වැළඳීම බොහෝ දුරට වළක්‌වාගත හැකිය. කැරපොත්තන් ඇඟේ නොගෑවුණද පියාඹන විට පරිසරයට නිදහස්‌ වන ප්‍රෝටීනමය අංශු කැබැලි පවා අසාත්මිකකාරක වේ.

එළිමහන් පරිසරයට නිරාවරණය වීම හා නොවීම අනුවද අසාත්මිකකාරකවල බලපෑම වෙනස්‌ වන බව දක්‌නට ඇත. මහාචාර්ය වීරසිංහ මැදිරිගිරිය ප්‍රදේශයේ කළ සමීක්‌ෂණයකට අනුව ගොවි ජනතාව සැලකූ කළ ඔවුන්ට ප්‍රමුඛ අසාත්මිකකාරක වන්නේ පැළෑටි වර්ග සහ මදුරුවන්ය.

ලෝකයේ එන්න එන්නම අසාත්මිකතා වැඩි වන්නේ ඇයි?

මීට එක්‌ හේතුවක්‌ ලෙස හඳුනාගෙන ඇත්තේ මිනිසුන්ගේ සනීපාරක්‌ෂක පුරුදු වර්ධනය වීමය. මෙය බැලූ බැල්මට හොඳ ප්‍රවණතාවක්‌ වුවත් ඇදුම වැනි අසාත්මික රෝග සඳහා අනෙක්‌ අතට එය තුඩු දෙන බව සොයාගෙන තිබේ. දරුවන්ට වැලි අතපත ගෑමට නො දීම, නිතරම අත් සේදීම, වැනි පුරුදු නිසා සොබාදහමට නිරවාරණය වීම අඩුවන අතර ප්‍රතිශක්‌ති පද්ධතියට ඊට හැඩගැසීමට ඇති අවස්‌ථාවද ඒ සමගම අහිමි වේ. එමෙන්ම ප්‍රතිජීවක භාවිතය වැඩි වී තිබීමද අසාත්මිකතා ඉහළ යැමට හේතුවක්‌ වී ඇත.

බටහිර පන්නයේ ජීවන රටාව තවත් හේතුවකි.

බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාවේ (British Medical Journal) පළවන අධ්‍යයන වාර්තාවකට අනුව පවුලක දරුවන් ගණන වැඩි නම් ඔවුන් අසාත්මිකතාවලට ලක්‌වීම අඩු බවද පෙනී ගොස්‌ තිබේ. එක්‌ දරුවකු පමණක්‌ සිටින පවුල්වල ඒ දරුවා අසාත්මිකතාවලට ගොදුරු වීමේ සම්භාවිතාව ඉහළ බව වාර්තාගතය. 

මේ හැර එකිනෙක හා පරස්‌පර සාධකද අසාත්මිකතා ලක්‌ෂණ සඳහා හේතුවන බව සොයාගෙන ඇත. ආසාදන රෝග, දුම්පානය, ඇස්‌පිරින් වැනි ඖෂධ, ව්‍යායාම, ආමාශයික ස්‍රාව උගුරට ඒම වැනි තවත් සාධකද ඇදුම රෝගයට හේතුවන බව සොයාගෙන ඇත. එබැවින් ඇදුම වැනි අසාත්මික රෝගයකට ප්‍රතිකාර කිරීමේ දී මේ සැම සියලු සාධකයක්‌ කෙරෙහිම අවධානය යොමු කිරීම වැදගත් වේ.

ඉහත අවස්‌ථාවලදී සලකා බලා ඇත්තේ ප්‍රමුඛතම අසාත්මික රෝගය වන ඇදුම තත්ත්වයයි. ඇදුම හැරුණු විට සමේ අසාත්මිකතා සඳහා බරවා රෝගය, තයිරොක්‌සින් හෝමෝනයේ ඌනතාව, බළලුන්ට හා බල්ලන්ට වැළඳෙන පණු රෝග, ඉස්‌ හොරි වැනි දිලීර රෝග හේතු විය හැකිය. මේවා බොහෝ විට ප්‍රකට වන්නේ කාලයක්‌ ගත වූ පසුවය. මේ අනුව අසාත්මික රෝග සඳහා බහුවිධ සාධක බලපාන බව පැහැදිලි වේ. මෙවැනි අවස්‌ථාවලදී අසාත්මිකතාවට හේතුකාරක වූ රෝග තත්ත්වයට ප්‍රතිකාර කිරීමෙන් අසාත්මිකතාව පහව යයි.

විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අනුර වීරසිංහ

 

 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00