2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා

මතට තිත තියන හැටි

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 139

මත්පැන් නැතිනම් මධ්‍යසාර ගැන නිතර අසන්නට ලැබෙන්නේ සෞඛ්‍යයට හානිකර කරුණු ගැනම තමයි. අද අපි කතාකරන්නේ මත්පැන්වලින් සිදුවන එම හානිය පිළිබඳවයි. විශේෂයෙන්ම ඇබ්බැහිය නිසා සිදුවන වින්නැහිය ගැනයි. මත්පැන්වල වැඩිම හානිය මොළයටයි. ඇබ්බැහියට ප්‍රධාන වන්නේත් මොළයයි.

වෛද්‍ය පර්යේෂණ මගින් කරුණු ඉදිරිපත්වන්නේ මත්පැන්වලින් මොළයට ඇතිකරන බලපෑමේ ප්‍රතිඵලයක්‌ ලෙස ප්‍රධාන වශයෙන් වැරදි විනිශ්චය, තරහ යාම, අනිසි බය, කතාවේ පැටලිලි සහගත බව, පෙනීමේ (දෘෂ්ටියේ) අපැහැදිලි ගතිය, ප්‍රතික්‍රියා දැක්‌වීමේ ප්‍රමාදය වැනි මානසික ගැටලු ඇතිවන බවය. තවද මේ මගින් මොළය මූලික වන සැලසුම් කිරීම, තීරණ ගැනීම සහ ආවේග පාලනය ද දුර්වල කරයි. යොවුන් වියේදී මොළයේ ශීඝ්‍රව වර්ධනයක්‌ සිදුවන හෙයින් එම වයසේදී මධ්‍යසාර භාවිතය නිසා සිදුවන හානිය දීරකාලීන වන අතර එය යථා තත්ත්වයට පත්කළ නොහැකි වෙයි.

මොළයට අමතරව සිරුරේ අවයව ගණනාවකටම මෙහි අහිතකර බලපෑම පැතිර යයි. මධ්‍යසාර භාවිතය නිසා අක්‌මාව, ගලනාළය, උගුර, ස්‌වරාලය, ආමාශය, බඩවැල් හා සම්බන්ධ පිළිකා ඇතුළු වෙනත් පිළිකා බොහොමයක්‌ ඇතිවිය හැකි අතර අක්‌මාවට හා හෘද වස්‌තුවටද හානි ඇති කරයි. ගැබිනි කාලයේ මධ්‍යසාර භාවිතය නිසා උපදින දරුවාගේ විකෘතිතා/ආබාධ ඇති කරයි. මත්පැන් නිසා හටගන්නා දරැණුම කරදරය ඇබ්බැහියයි.

ඇබ්බැහිවීම
යමෙකු මධ්‍යසාර දිගින් දිගටම භාවිත කරන විට, එම පුද්ගලයා තුළ එයට දැඩි ඇල්මක්‌ ඇතිවන අතර භාවිත කරන ප්‍රමාණය ක්‍රම ක්‍රමයෙන් වැඩිකිරීමට පෙළඹේ. මෙය මානසික හා කායික ඇබ්බැහිවීම දක්‌වා වර්ධනය වේ. මධ්‍යසාරයට ඇබ්බැහි වූ පුද්ගලයාගේ රැධිරයේ මධ්‍යසාර ප්‍රමාණය අඩුවන විට ඇඟේ අපහසු ගතිය, දැඩි වේදනාව, මස්‌ පිඬු පෙරළීම සහ ඇඟිලි වෙව්ලීම ඇතිවේ. මෙය විරාමණ අවස්‌ථාව යනුවෙන් හැඳින්වේ. මෙම විරාමණ ලක්‌ෂණවලින් මිදීමට මධ්‍යසාර වැඩිවැඩියෙන් පානය කිරීමට පෙළඹී, මධ්‍යසාර නොමැතිව සිටිය නොහැකි තත්ත්වයකට පත්වේ.

ඇබ්බැහිවීමට බලපාන සාධක
යොවුන් වියේදී මධ්‍යසාර භාවිතය ඇරඹීම, දුර්වල පෞරැෂත්වය, මානසික ගැටලු/රෝග, ජීවන කුසලතා අඩුකම, කායික දුර්වලතා/රෝග, පෝෂණ ඌණතා මෙයට බලපායි.

මධ්‍යසාරවලට ඇබ්බැහි වූවන් සඳහා ප්‍රතිකාරාත්මක සහ පුනරුත්ථාපන සේවාවන්

• රජයේ රෝහල්වල පවතින මානසික සෞඛ්‍ය සායන සහ මධ්‍යසාර පුනරුත්ථාපන ඒකක.
• ප්‍රජා පුනරුත්ථාපන සේවාවන්.
• රාජ්‍ය නොවන සංවිධානවල ඇති උපදේශන මධ්‍යස්‌ථාන
ඇබ්බැහියට බැහැයි කියමු!
ඇබ්බැහියෙන් මිදීමට ගත හැකි  පියවර කිහිපයකි මේ.
• මධ්‍යසාර භාවිතයෙන් වැළකී සිටීමට ස්‌ථිරව අධිෂ්ඨානය කරගන්න. • වෙනත් පුද්ගලයකු ඔබව මධ්‍යසාර භාවිතයට පෙළඹවීමට උත්සාහ කරන විට එය ස්ථීරවම ප්‍රතික්‌ෂේප කරන්න. • ඔබගේ ගැටලු සහ හැඟීම් දෙමාපියන්, ගුරුවරුන්, වැඩිහිටියන් සහ ආගමික නායකයන් සමඟ සාකච්ඡා කරන්න. • ඔබගේ මිතුරන් මධ්‍යසාර භාවිතයෙන් වළක්‌වා ගන්න. • මධ්‍යසාරවල ඇති අනතුරුදායක බව යහළුවන්ට කියා දෙන්න. • භාවනා කිරීම වැනි මනස නිරෝගී කරන ක්‍රියාකාරකම්වල යෙදෙන්න. • පෝෂ්‍යදායි සමබල ආහාර ගන්න. • ක්‍රීඩා කිරීම, මිහිරි සංගීතයට ඇහුම්කන්දීම, පොත්පත් කියවීම, සමාජ සේවා කටයුතු කිරීම වැනි ක්‍රියාකාරකම්වල නියැලෙන්න. • පෞරුෂත්වය වර්ධනය කරගත හැකි ක්‍රියාකාරකම් කරන්න. • මානසික රෝග සහ කායික රෝග සඳහා ඉක්‌මනින් ප්‍රතිකාර ගන්න.

මධ්‍යසාර  හා බැඳුණු මිත්‍යාව:
1. වැරුදි මතය:  මධ්‍යසාර සිරුර ප්‍රාණවත් කරන උත්තේජකයකි.
නිවැරදි තතු  - මධ්‍යසාර මඟින් ස්‌නායු පද්ධතියට හානි ඇති කරයි.
පළමුව නිවැරදි විනිශ්චය සහ තීරණ ගැනීමේ හැකියාව දුර්වල කරයි. ඉන්පසු සමායෝජනයේ අඩුවීමක්‌ ඇති කරයි (තමාව පාලනය කරගත නොහැකි තත්ත්වය) ඉතා වැඩි ප්‍රමාණයකින් මධ්‍යසාර භාවිතය නිසා ස්‌නායු පද්ධතියට ඇතිවන බලපෑම හේතුවෙන් හුස්‌ම ගැනීම සහ හෘද ස්‌පන්දනය පවා නැවතිය හැකිය.

2. වැරුදි මතය: සිත සැහැල්ලු වීමට සහ ඇඟේ අමාරු අඩුකර ගැනීමට මධ්‍යසාර භාවිතය කදිමය.
නිවැරදි තතු: මධ්‍යසාර භාවිතයේදී සැහැල්ලු බවක්‌ දැනෙයි කියා සිතුනද සැබැවින්ම සිරුරට වැඩි අපහසුතාවක්‌ ඇතිකරනු ලබයි.

3. වැරදි මතය: සැර මධ්‍යසාර වර්ග ගැනීමෙන් බියර් හා වයින් වැනි වර්ගවලට වඩා ඉතා ඉක්‌මනින් මත්වේ.
නිවැරදි තතු: මධ්‍යසාර යනු මධ්‍යසාරමය, වැඩි ප්‍රමාණවලින් ගත් කළ බියර් සහ වයින්වලත්, අරක්‌කු, විස්‌කි වැනි සැර මත්පැන් වර්ගවලත් සම ප්‍රමාණවලින් (මට්‌ටමෙන්) මධ්‍යසාර පවතින බැවින් එකම ප්‍රමාණයට මත්වේ.

4. වැරදි මතය: කෙනකු වැඩිපුර මධ්‍යසාර පානය කිරීම නිසා සිහිමුර්ජා වුවහොත් ඔහුට නිදාගැනීමට සැලැස්‌විය යුතුයි. නිවැරදි තතු: යම් කෙනකු වැඩිපුර  මධ්‍යසාර පානය කිරීම නිසා සිහිමුර්ජා වුවහොත් ඔහුට කළ හැකි බරපතළම හානිය නම් කිසිවකුගේ අවධානය යොමු නොවන තැනකට රැගෙන ගොස්‌ නිදාගැනීමට සැලැස්‌වීමය. එම මධ්‍යසාර ප්‍රමාණය ඔහුගේ දිවි තොර කිරීමට තරම් ප්‍රමාණවත් වන බැවින් ඔහුව හැකි ඉක්‌මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකිරීම ඉතා වැදගත්ය.

5. වැරදි මතය: මධ්‍යසාර ලිංගික ක්‍රියාකාරීත්වය වැඩිකරයි.
නිවැරදි තතු: මධ්‍යසාරවලින් ලිංගික හැඟීම් ඇති වුවද ලිංගික ක්‍රියාකාරකම්වලට ඇති හැකියාව අඩුකරයි.
මධ්‍යසාර පිළිබඳ ඇත්ත කතාව නම් එය අපගේ කිසිදු ප්‍රශ්නයකට විසඳුමක්‌ නොවන බවයි. සැබවින්ම එය තවත් ප්‍රශ්න රැසකට මුලපිරීමක්‌ පමණි. එයින් මිදිය හැක්කේ ඔබටමයි.
► මානසික සෞඛ්‍ය ඒකකය
 

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30