2019 අගෝස්තු 10 වන සෙනසුරාදා

ජීවිතය ජය ගැනීමට සන්නිවේදනය (Effective Communication)

 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 97

ජීවිතය සාර්ථක කරගැනීමට නොයෙකුත් රහස් තියෙනවා. එම රහස් අතරින් සන්නිවේදනය ඉතාමත් ඉහළ ස්ථානයක තිබෙනවා. බොහෝ අසාර්ථක මිනිසුන් අධ්‍යයනය කර බැලීමේදී සමාජ සහ මනෝ විද්‍යාඥයන් පවසන්නේ ඔවුන්ගේ සන්නිවේදන කුසලතා අතිශයින්ම දුර්වල බවයි. විවාහය, ආදරය, රැකියාව, පාසල, අන්තර් පුද්ගල සම්බන්ධකම්, මේ සියලු දේම තුළ සැඟවුණු සාර්ථකභාවය ඔබගේ සන්නිවේදන හැකියාවයි. සන්නිවේදනය යනු ඔබගේ කතාව හෝ වචන පමණක් නොවේ. මුහුණේ ප්‍රකාශනය සහ ඉරියව්ද වැදගත් වේ. අපගේ හැඟීම් සහ අදහස් ප්‍රකාශ කිරීමේදී වචනවලට වඩාත් ඉතාමත්ම වැදගත් වන්නේ ඉරියව්ය. සමහර විට ඔබ වචනයෙන් නියම සත්‍ය ප්‍රකාශ නොකරන විට ඉරියව්වලින් සැබෑ සත්‍යය එළිදරව් වේ. මෙය අපි කතාවකින් බලමු.

නිමල් සහ සරත් හොඳ මිතුරන්ය. නිමල් සරත් සමඟ පොඩි ව්‍යාපාරයක් පටන් ගැනීමට සැලසුම් කළේය. නිමල් ඔහුගේ අදහස සරත්ට විස්තර කරන විට සරත් අත්දෙක බැඳගෙන පපුවට තද කරගෙන ඇහුම්කන් දීගෙන සිටියේය. නිමල්ගේ අදහසට සරත් වචනයෙන් කැමැත්ත ප්‍රකාශ කළේය. නමුත් අත්දෙක බැඳගෙන සිටීමෙන් ප්‍රකාශ වනුයේ යටි සිතින් සරත් මෙම අදහසට මනාපයක් නොදක්වන බවය. අවසානයේදී සැබැවින්ම නිමල්ගේ ව්‍යාපාරයට සරත් අකමැති විය.

සන්නිවේදනය තුළ පුදුම රහස් ඇත. යම්කිසි පුද්ගලයකුගේ ඉරියව් සහ මුහුණේ ප්‍රකාශන නිසි ලෙස අධ්‍යයනය කළහොත් ඔහු හෝ ඇයගේ යටි සිත ඔබට කියවිය හැකිය. යම්කිසි පුද්ගලයකුගේ පහත සඳහන් ඉරියව් කෙරෙහි ඔබේ අවධානය මොහොතකට යොමු කරන්න.

• ඇස් දිහා බලා කතා නොකිරීම.
සමහර විට මෙම පුද්ගලයා ආත්ම විශ්වාසය අඩු ලැජ්ජාශීලී පුද්ගලයකු හෝ ඔබට සත්‍ය ප්‍රකාශන නොකරන යටි සිතේ යමක් තබාගෙන කතා කරන පුද්ගලයකු විය හැකිය.
• අත් දෙක බැඳගෙන කතා කිරීම
ඔබ සමඟ සංවාදයේ යෙදෙන මෙම පුද්ගලයා ඔබගේ අදහස්වලට විරුද්ධ බව මින් ප්‍රකාශ කෙරේ.
• නියපොතු සපමින් කතා කිරීම
ඔබ සමග කතා කරන මෙම පුද්ගලයා දෙගිඩියාවෙන් සිටියි. ඔබ කියන දේ පිළිබඳ ඔහුට වැඩි විශ්වාසයක් නැත.
• ඔළුව කසමින් කතා කිරීම
ඔළුව කසමින් කොන්ද නමාගෙන ඔබ වෙත එන මේ පුද්ගලයා යම් කපටි හෝ යටි අරමුණකින් ඔබ වෙත පැමිණ ඇත.
• ඇඟලිවලින් කට වසාගෙන කතා කිරීම
මෙම පුද්ගලයා ඔබට බොරැවක් ප්‍රකාශ කිරීමට උත්සාහ ගනී.
• කතා කරන විට කකුල් දෙක එකින් එකට දැඩි ලෙස පටලවාගෙන සිටීම
මෙම පුද්ගලයා දැඩි ආතතියකින් සිටින අතර යටි සිතින් ඔබව ප්‍රතික්ෂේප කරයි.

ශරීර ඉරියව්වලින් තවත් බොහෝ දේවල් ප්‍රකාශ වන බව සමීක්ෂණවලින් සොයාගෙන ඇත. ඔබ හොඳ නිරීක්ෂකයකු නම් මේවා නිසි ලෙස අධ්‍යයනය කිරීමෙන් ඔබ ඇසුරු කරන සමාජය තුළ සිටින බොහෝ දෙනාගේ චරිතවල සැබෑ ස්වභාවය තේරුම් ගත හැකිය.

ඉරියව් වලින් වගේම අපේ හැඟීම් සහ අදහස් ප්‍රකාශ කරන අනෙක් මාධ්‍ය ‘වාචික සන්නිවේදනයයි’ ඉතා සරලව කිවහොත් එනම් වචනයි. පුද්ගලයකුගේ ජීවිතය වෙනස් කරන්නත් ඔහුගේ හෝ ඇයගේ ඇති ශක්තීන් පෙන්වා දෙන්නත් තමාට ලෝකය දිනන්නත් තමාට සම්බන්දතා දියුණු කර ගන්නත් නිසි ලෙස ‘වචන’ හැසිරවීමෙන් ඔබට සාර්ථක පුද්ගලයකු විය හැකිය. මෙම සන්නිවේදනය ගැන කතා කිරීමේදී ලෝකය වෙනස් කළ ඇමෙරිකානු මනෝ විද්‍යාඥයන් දෙදෙනෙක් සිටිනවා. ඔවුන් නම් ‘කාල් රොජර්ස් (Carl Rogers) සහ මාර්ෂා එම්. ලයින්හෑන් (Marsha Linehan) මෙම විද්‍යාඥයන් දෙදනා උපදේශනය පිළිබඳ ලෝකය තුළ විප්ලවයක් ඇති කළා. එම විද්‍යාත්මක කරැණුවලින් කිහිපයක් අපේ ජීවිතයට යොදාගන්නා ආකාරය අපි බලමු.

සහකම්පනය හෝ සන්නිවේදනය
අපේ මනස බොහෝ විට පිරී ඇත්තේ සිතුවිලි සහ හැඟීම් සමඟය. ජීවිතයයේ බොහෝ ප්‍රශ්නවලදී අප අවට සිටින බොහෝ දෙනා අපට ඇතිවන ගැටලුවලදී එයට විසඳුම් හෝ උත්තර සොයනුයේ හරියට නීතිඥයන් මෙන්ය. එනම් තර්ක විතර්ක ඉදිරිපත් කිරීමෙන්ය. නමුත් බොහෝ දෙනෙක් අපේ හැඟීම් (Imotions) හඳුනා ගන්නේ නැත. ඔබ යමෙකු වෙත කතා කරන විට ඔහුගේ හෝ ඇයගේ හැඟීම් හඳුනා ගැනීමට (Feelings Identifies) මුල් තැනක් දෙන්නේ නම් ඔහු හෝ ඇයට තමා ගැන ආදරයක් හෝ ලෙන්ගතු කමක් ඇතිවේ. මෙය කතාවකින් බලමු.

සුනිල් සහ සුමුදු විවාහ වී අවුරුදු 5ක් ඉතා සතුටින් සිටි මේ යුවළ දැනට විරසක වී මාස 6කි. සුනිල්ගේ දුරකතනයේ තිබූ යම් පණිවිඩයක් දැකීමෙන් සුමුදුගේ මනස සම්පූර්ණයෙන්ම අවුල් විය. එම පණිවිඩයෙන් කියවුනේ “මම ඔයා හමුවෙන්න ආසයි” කියාය. සුමුදු මේ පීඩනය ඇගේ හොඳම යාළුවාට කීවාය. යාළුවා මෙලෙස සුමුදුට පිළිතුරු දුන්නා.

“උඹ ඕක එච්චර ගණන් ගන්න එපා. හැබැයි ඉතින් මිනිහ හදාගන්න උඹ දැනගන්න ඕන”

නිසි ලෙස සුමුදුගේ හැඟීම් හඳුනා නොගත් මෙම ප්‍රකාශය ඇය තවත් පීඩනයට ලක් කළාය. සුමුදු නොනවත්වා අඬන්නට වූවාය. එවිට ඇගේ යාළුවා මෙසේද කීවාය.

“ඉතින් ඕක අඬන්න තරම් දෙයක්යැ. මම හිතුවෙ නෑ උඹ ඔච්චර මෝඩයෙක් කියලා.”

සුමුදුගේ පීඩනය තවත් වැඩිවිය. ඇය මේ ලෝකය තුළ තනි වී අසරණ වී සිටින බව ඇයට දැනුණාය.

කාල් රොජර් නැමති දාර්ශනික මනෝ විද්‍යාඥයාට අනුව ඉහත සිද්ධිය අධ්‍යයනය කළහොත් එය හැඟීම් හඳුනා නොගත් දෙබසක් ලෙස විග්‍රහ කළ හැකිය. අපි මෙම දෙබස හැඟීම් සමග නැවතත් හඳුනා ගනිමු. සුමුදුගේ මනස නිවීමට නම් ඇගේ යාළුවා හැඟීම් මුසුකර කතා කළ යුතුව තිබුණේ මෙලෙසය.

“සුමුදු මට තේරෙනවා ඔයාගේ දුක. ඔයා සුනිල්ට හුඟක් ආදරෙයි. ඒකයි මෙච්චර දුක දැනෙන්නෙ. අපි සුනිල් එක්ක මේක කතා කරමු. එයාගේ හුඟක් හොඳ ගතිගුණ මම දැකල තියෙනවා. අපි ටිකක් එළියට යමු ඇවිදින්න.”

යම්කිසි පුද්ගලයකු යම් මානසික පීඩනයක් නිසා කම්පනයට පත් වී ‘අඬයි’ නම් එසේ හැඬීමට ඉඩදෙන්න. ඔබ අඬන තරමට, කඳුළු වැගිරෙන තරමට ඔබගේ මනස පීඩනය අඩුවේ.

කිරිබත්ගොඩ මූලික රෝහලේ 
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක

 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:30