2019 ජුලි 06 වන සෙනසුරාදා

ඇතුවත් නැතුවත් බැරි හැඟීම්

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 161

කිසිම පුද්ගලයකුට හැඟීම් නැතුව ජීවත් වෙන්න බැහැ. ජීවිතය විදින්නත් විඳවන්නත් මේ දෙකටම හැඟීම් අවශ්‍යයි. මොනවද මේ හැඟීම් කියන්නේ? සතුට, බය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, තරහ යනාදී වශයෙන් මෙම හැඟීම් ඕනෑම පුද්ගලයකුට අඩු සහ වැඩි වශයෙන් දැනෙනවා. බොහෝ විට අපට ඇතිවන හැඟීම් මානසිකව ඔබට දැනෙන විට එය ශාරීරිකවත් දැනෙන අවස්ථා තිබෙනවා. අපේ මනස තුළ සිදුවෙන බොහෝ මානසික ප්‍රතික්‍රියා සම්පූර්ණයෙන්ම ශරීරයෙන් වෙන්කර හඳුන්වන්න බැහැ. අපට ඇතිවන සිතුවිලි සමඟ හැඟීම් මිශ්‍රවී තිබෙනවා. ඔබගේ ඊළඟ හැසිරීම තීරණය වන්නේ (Behavior) මෙම මිශ්‍ර වූ සිතුවිලි සහ හැඟීම් සමඟයි. සමහර විට මෙහිදී ඇතිවන හැඟීම් පාලනය කරගන්න අපහසුයි. එය ක්ෂණිකව ඇති වන මුහුදු රැල්ලක් මෙන් මහත් වේගයෙන් වියරුවෙන් ඔබ වෙත එනවා. මේ ඇතිවන පාලනය කරගත නොහැකි හැඟීම් (over whelming emotions) සමහර විට වියරු ප්‍රචණ්ඩකාරී හැසිරීමක් බවට පත්වෙන්න පුළුවන්. මෙම හැසිරීම ඔබට වගේම ඔබ ළඟ සිටින තවත් කෙනෙකුට ශාරීරිකව හෝ මානසිකව විශාල හානියක් ගෙන දෙන්න පුළුවන්. අපි මෙය නිදසුනක් මගින් බලමු.

චතුරගේ වයස අවු. 18යි. තව මාස හතරකින් එන උසස් පෙළ විභාගයට ඔහු සූදානම් වෙමින් සිටියා. ඉතා දැඩි මහන්සියකින් දිවා රෑ නොබලා පාඩම් කටයුතුවල යෙදුණ චතුර දැඩි ආතතියකින් පෙලුණා. ඉතා කුඩා දේකට කිපෙන සුළු බව නිතර පවතින හිසේ බර ගතිය, උරහිස්වල ඇති වන වේදනාව නිසි ලෙස නින්ද නොයෑම වැනි ලක්ෂණයි. දිනක් චතුර ඔහුට චිත්‍රපටියක් බලන්න අවශ්‍යයි කියා මවගෙන් මුදල් ඉල්ලුවා. සැබැවින්ම මව ළඟ ඒ වනවිට මුදල් තිබුණේ නැහැ. මව මුදල් නැහැයි කියූ විට ඒ ගැන ක්ෂණිකව කෝපයට පත් චතුර මවගේ දුරකතනය පොළවේ ගසා කුඩු කළා. ඒ ඔහු තමාගේ කෝපය ප්‍රකාශ කළ ආකාරයයි.

චතුරගේ සිද්ධිය අධ්‍යනය කිරීමේදී ඔහු විභාගය සමඟ දැඩි ආතතියකින් පෙළෙන බව ඔහු නොදැන සිටි බවත් තමාට ඇති වන මෙම ආතතිය හෝ කෝපය පාලනය කර ගැනීමේ ක්‍රමවේද පිළිබඳ පැහැදිලි අවබෝධයක් නොමැති බවත් මනාව පැහැදිලි වෙයි. සැබැවින්ම මෙහි එන චතුර තම ආවේගශීලී හැඟීම් පාලනය කර ගැනීම පිළිබඳ පුහුණුවක් ලබා තිබුණේනම් මෙවැනි හානියක් කිසිසේත්ම සිදුවන්නේ නැහැ.

මෙසේ අපට ඇති වන හැඟීම් පාලනය කරගත නොහැකි වන්නේ ඇයි? මීට හේතු රාශියකි.

• ඔබේ පෞරුෂය ද මීට ප්‍රධාන ලෙසට බලපායි.
ඔබේ පෞරුෂය තීරණය වන සාධක දෙකකි. ඉන් පළමු වැන්න ප්‍රවේණික හෝ ජාන සංයුතියයි. එසේත් නොමැතිනම් ඔබට දෙමාපියන්ගෙන් ලැබුණු ආරයයි. නමුත් ඊටත් වඩා වැදගත් වන්නේ ඔබේ පුංචි කාලේ පරිසරයයි. ඔබ කුඩා කාලයේ හැඳීවැඩුණු පරිසරය තුළදී ලැබෙන සමහර අත්දැකීම් මුළු ජීවිතයටම බලපායි. කුඩා කාලයේදීම දෙමාපියන්ගෙන් ඈත්වීම සහ ආදරය නොලැබීම, නිතර දෙවේලේ දෙමාපියන්ගේ රණ්ඩු දඹර දැකීම සහ එයට මැදිවීම, ශාරීරික හා මානසික අපයෝජණයට ගොදුරු වීම, ලිංගික අපයෝජණයන්ට ගොදුරැවීම ඒවා අතරින් කිහිපයකි. මෙම පාරිසරික සාධක නිසා කුඩා දරුවකු යම් දිනෙක වැඩිහිටියකු බවට පත්වූ විට ආවේගශීලී හැඟීම් පාලනය කරගත නොහැකි නොයෙකුත් පෞරුෂ භින්නතාවයන්ට ගොදුරු විය හැකිය. මෙහිදී ඔබ පෞරුෂය ගොදුරු වියහැකි ප්‍රධානම රෝගී තත්ත්වයක් වන බෝඩලයින් (Borderline Personality Disorder) නම් පෞරුෂ භින්නතාවයට ගොදුරැ වූවකුගේ පෞරුෂය පිළිබඳ අපි කෙටියෙන් බලමු.

A - ආව්ගශීලී බව.
තරහ ගිය විට අත කපා ගැනීම, බඩු පොළවේ ගැසීම. හිස බිත්තියේ ගසා ගැනීම හෝ සියදිවි නසා ගැනීමට තැත්කර ගැනීම. B - තමාට දැනෙන දැඩි පාලුව හෝ හිස්කම. C - සම්බන්ධතාවයන්ට ක්ෂණිකව ඇතුළුවීම සහ ඒවායින් ඈත් වීම.

බොහෝ සමීක්ෂණවලට අනුව මෙවැනි ආවේගශීලී හැඟීම් පාලනයට අපහසු පෞරැෂයක් ගොඩනැගෙන්නේ කුඩා කල සිදුවන අපයෝජණය නිසා මොළයේ හැඟීම් පාලනයට අදාළ සියුම් මධ්‍යස්ථානවලට හානි සිදුවීමෙනි. මෙහිදී හානිවන ප්‍රධාන ස්ථාන දෙකකි. ඒවා නම් ඇමිග්ඩලා (Amygdala) සහ ලලාට කණ්ඩිකාවයි. (Prefrontal cortex.)

මෙහි එන ඇමිග්ඩලා අපගේ හැඟීම් සහ බය ක්ෂණික පාලනය කරන මධ්‍යස්ථානයයි. මෙම මධ්‍යස්ථානය මොළය තුළ ඉතා ගැඹුරින් පිහිටා ඇත. කුඩා කළ අපයෝජණයේදී මෙම මධ්‍යස්ථානයේ ක්‍රියාකාරිත්වය වැඩි වනබව විශේෂඥයන්ගේ මතයයි. ලලාට කණ්ඩිකාව අපගේ බුද්ධිය පාලනය කරන මධ්‍යස්ථානයයි. කුඩා කල අපයෝජණයේදී මොළයේ මෙම කොටස නිසි ලෙස සංවර්ධනය නොවී ශෛල ප්‍රමාණය අඩුවී ක්‍රියාකාරිත්වය අඩුවන බව විශේෂඥයන්ගේ මතයයි. මේ අනුව අපට පෙනීයන්නේ ලලාට කණ්ඩිකාවේ ක්‍රියාකාරිත්වය අඩුවීමත් ඇමිග්ඩලාවල ක්‍රියාකාරිත්වය වැඩි වීමත් අපයෝජණයට පත් ඔබ යම් දිනක වැඩිහිටියකු වූ විට ආවේගශීලී පුද්ගලයකු වීම කෙරෙහි බලපාන බවයි.

• ආවේගශීලී භාවයට හේතුවන ප්‍රධාන දෙවනි කරුණ නම් දැඩි ආතතියයි. මෙම ආතතිය අප කවුරුත් ගොදුරුවන ඇතුවත් බැරි නැතිවත් බැරි මානසික ප්‍රතික්‍රියාවයි. නමුත් මෙය පාලනය කළහැකිය. දැඩි ආතතියකට ඔබ ගොදුරු වීමේදී ශාරීරික මෙන්ම මානසික වගේම හෝමෝන ක්‍රියාකාරිත්වයේ ද වෙනස්කම් රාශියක් ඇති වේ. ඇඩ්‍රිනලීන් (Adrenaline) සහ කෝටිසෝල් (Cortisol) යන හෝමෝන වැඩියෙන් ශ්‍රාවය වේ. විශේෂයෙන්ම ඔබ දැඩි ලෙස කෝපවීම, හෝ ආවේගශීලී වූ විට ඔබට එන දැඩි ආවේගයට ඇඩ්‍රිනලීන් නැමති හෝමෝනය වැඩියෙන් ශ්‍රාවය වීමද එක් හේතුවකි. යම්කිසි පුද්ගලයකු දැඩි ආතතියකට ගොදුරු වූ විට එහිදි ඇතිවන මානසික හා ශාරීරික ලක්ෂණ ගැන අවබෝධයක් ඇතිව ජීවත් වන්නේ නම් ඒවා පාලනය කරගැනීමේ ක්‍රමවේද පුහුණු කරගැනීමෙන් ඔබගේ කෝපය සහ තරහ නිසි ලෙස මැඩපවත්වා ගතහැකිය. මෙම ක්‍රමවේද මොනවාදැයි අපි එකින් එක සොයාබලමු.

මාර්ෂා ලෙනිහෑන් (Marsha Linehan) කියන්නේ අමෙරිකාවේ වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ කීර්තිමත් මනෝවිද්‍යාඥවරියක්. හැඟීම් සහ ඒවා කළමනාකරණය පිළිබඳ ඇය විසින් සිදුකරන ලද සමීක්ෂණ ලෝකය තුළ මහත් විප්ලවයක් ඇති කරා. මාර්ෂා ලෙනිහෑන්ගේ මෙම ක්‍රම සහ විධි නූතන මනෝවිද්‍යාවේ උපදේශන ක්‍රම වේදයක් ලෙසද භාවිතා කරයි. මෙම ක්‍රමවේදය. (Dialectical Behavior Therapy) ලෙස ප්‍රචලිත වී තිබෙනවා. මාර්ෂා ලෙනිහෑන්සට අනුව හැඟීම් පාලනය කර ගැනීමේ ක්‍රමවේද පිළිබඳ අධ්‍යනයේදී බෞද්ධ දර්ශනයෙන් විශාල පිටුවහලක් ලැබූ බව ඇය පවසනවා. දැඩි ලෙස කෝපවන ආවේගශීලී බවෙන් යුතු ඕනෑම පුද්ගලයකුට ඒවා පාලනය කරගැනීමට නම් පුහුණු කළයුතු ක්‍රමවේද තුනක් මාර්ෂා ලෙනිහෑන්ඩ් හඳුන්වා දී තිබෙනවා.

1. ආවේග පාලනය කර ගැනීමේ ක්‍රමවේද (Emotional Regulation Skills) 2. මානසික ඒකග්‍රතාවය ඇතිකර ගැනීමේ ක්‍රමවේද (Mindfulness Skills) 3. සම්බන්ධතාවයන් වැඩි දියුණු කරගැනීමේ ක්‍රමවේද (Interpersonal Developing Skills)
අප දැඩි දුකකට, පීඩාවකට හෝ දොම්නසකට පත් වූ විට සාමාන්‍යයෙන් කරන ක්‍රියාවන් මොනවාදැයි බලමු. 

• සිදුවීම ගැන කල්පනා කරමින් ලතවෙමින්, තමාටම චෝදනා එල්ල කරගනිමින් කාලය ගත කිරීම. • සියල්ලගෙන්ම ඈත් වී හුදකලාව සිටීම. • ඇතිවන හැඟීම හෝ තරහ පාලනය කරගැනීමට නොහැකි වී අත කපාගැනීම, බිත්තියේ ඔලුව ගසා ගැනීම, අනිත් අය සමඟ රණ්ඩු වීම. • මත්ද්‍රව්‍ය වැනි දේකට ගොදුරු වීම.

ඉහත සියලුම ක්‍රමවේද අපට හානිකරය. මෙවැනි අවස්ථාවකදී සැබැවින්ම අප කළයුතු දේවල් මොනවාදැයි බලමු. 

1. ඔබ ආශාකරන යම් ක්‍රියාවකට ඔබගේ මනස හා ශරීරය ඇතුළු කිරීම.

Ex. මල්වැවීම, කෑම හැදීම, යහළුවන් සමඟ ගමන් යාම, ආශා කරන චිත්‍රපටියක් බැලීමට යාම ව්‍යායාමවලට යොමුවීම.

ඔබගේ හොඳම මිතුරකු සමඟ ඔබගේ ගැටලුව සාකච්ඡා කිරීම.

2. ඔබට ක්ෂණිකව ඇතිවන කෝපය හෝ තරහයාමකදී මගහැරීම හෝ පලායාම.

Ex. අයිස් මුහුණේ හෝ ඇගේ තබාගැනීම, බැලුම් බෝලයක් පුම්බා ඔබ අකමැති පුද්ගලයාගේ මුහුණ එහි ඇඳ බැලුම පුපුරණතෙක් පුම්බා හැරීම.

3. ඔබට පීඩාකාරී සිතුවිලි හෝ එම අදාල අනිත් පුද්ගලයා පිළිබඳ ලියුමක් ලියා එම ලියුම කෑලි කෑලිවලට ඉරා දැමීම හෝ පුච්චා දැමීම.

4. කොට්ටයක් අරගෙන කොට්ටයට මුහුණ තද කරගෙන ඔබට දුක හිතෙන හෝ තරහ යන සිතුවිලි හඬ නගා කියවීම.

5. අපි හිතමු දැඩි ආවේගයකදී ඔබ ඔබටම හානි කර ගන්න පුද්ගලයකු කියා උදා: ලෙස බ්ලේඩ් තලයකින් අත කපාගැනීම, නැත්නම් ඔලුව බිත්තියේ ගසාගැනීම, එවැනි අවස්ථාවකදී ඊට විරුද්ධ නමුත් එතරම් දරුණු නොවන වේදනාවක යෙදෙන්න. 

නිදසුන: බ්ලේඩ් තලයකින් කපන්නාක් මෙන් වේගයෙන් ඔබේ අත මත රේඛා ඇදීම. එහෙමත් නැත්නම් අතේ දැමූ රබර් පටියක් වේගයෙන් ඇද වේදනාවක් ඇතිවන ලෙස අතහැරීම. එසේත් නොමැති නම් රස්නය වතුර භාජනයකට දමා ඒ ඇතුළට වේදනාවක් දැනෙන තෙක් ඔබගේ අත්දෙක දමාගෙන සිටීම.

ඊළඟ ලිපියෙන් මානසික ඒකාග්‍රතාව ඇතිකරන ක්‍රමවේද පිළිබඳ අපි සොයා බලමු.

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30