2019 මැයි 11 වන සෙනසුරාදා

දුක අමතක කරමුද?

 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 247

දුක, සතුට, බය, ඉරිසියාව, ක්‍රෝධය, මේ සියල්ලම අපේ හැඟීම්. දුක කියන්නෙ මේ හැඟීම් සමුදායෙන් එක් හැඟීමක් පමණයි. ප්‍රියයන්ගෙන් වෙන්වීම, ඔවුන් මරණයට පත්වීම, දික්කසාදය, ඈත්වීම, හදිසි අනතුරකට පත්වී ශරීරයේ යම් කොටසක් අහිමිවීම, බෝම්බයකට වැනි දෙයකට හසුවී ඔබේ ආදරණීයන්, පවුලේ හිතවතුන්, ළඟම ඥාතීන්, හිතමිතුරන් මරණයට පත්වීම ආදී මේ සියල්ලම අපට දුක ඇතිකරන මානසික තත්ත්වයන් ලෙස හඳුනාගන්න පුළුවන්.

විශාල දුකක් හෝ කම්පනයක් ඇතිවූ විට අපගේ මනස වැඩ කරන්නේ කෙසේද..?

අපිට විශාල දුකක් හෝ කම්පනයක් ඇතිවූ විට එය මානසිකව සහ ශාරීරිකව බලපානවා. නමුත් මෙම මානසික හෝ ශාරීරික ප්‍රතික්‍රියාව සිදුවන්නෙ ඔබ නොදැනුවත්වමයි. අපි මෙහෙම හිතමු. බෝම්බයකින් හෝ හදිසි අනතුරකින් ඔබේ ආදරණීය අවුරුදු 10ක් වයසැති පුංචි පුතා නැතිවුණා කියලා.

1. පළමු ප්‍රතික්‍රියාව

මෙම අවස්ථාව මේ සිද්ධිය මනස පිළිනොගන්නා අවස්ථාව ලෙස හඳුනාගෙන තිබෙනවා. (Denial Phase)

ඔබේ පුංචි දරුවා නැතිවුණා කියලා මනස පිළිගන්නෙ නෑ. සමහරවිට ඔබ විශාල කම්පනයකින් හෝ දුකකින් ඉන්න බවක් පේන්නෙත් නැහැ. මොකද, ඔබේ හිත කියනවා තවමත් ඔබේ පුංචි පුතා මැරුණෙ නෑ, ජීවත් වෙනවා කියලා. මෙම කාල පරිච්ඡේදය සමහරවිට සති දෙක තුනක් තියෙන්නත් පුළුවන්.

2. දෙවැනි ප්‍රතික්‍රියාව

මේ ප්‍රතික්‍රියාවට නිතරම ඔබේ නැතිවූ හෝ මියගිය ආදරණීය පුද්ගලයා සෙවීමේ අවස්ථාව කියලා. (Searching phase)

ටිකෙන් ටික ඔබට ඔබේ දරුවා මියගොස් හෝ නැතිවී ඇතැයි යන සිතුවිල්ලක් එනවා. ඔබ හැමතැනම ඔහු හෝ ඇයව සොයාගන්නවා. ඔබ කරන සෑම ක්‍රියාවකම, යන සෑම තැනකදීම ඔහු හෝ ඇයව ඡායාවක් ලෙස හෝ මතකයට නැගෙනවා. ඔබගේ සිත ඔහු හෝ ඇය දිගින් දිගටම සෑමතැනම සොයනවා. විලාප දීලා අඬනවා. හිටිහැටියේම අධික ලෙස තරහ යන්න පටන් ගන්නවා. සමහරවිට මේ තරහ පාලනය කරගන්න බැරුව ළඟ තියෙන බඩු මුට්ටු පවා පොළොවෙ ගහනවා. මියගිය දරුවා ඔබ ළඟ ඉන්නවා වගේ දැනෙනවා. ඔබට කතා කරනවා වගේ කටහඬවල් ඇහෙනවා. මෙතනදී තමයි හුඟක් අය මිත්‍යා විශ්වාස පිටුපස යන්නෙ. මේ කටහඬවල් ඇසීම හෝ පෙනීම මනස තුළ ඇතිවෙන දැඩි මානසික ප්‍රතික්‍රියාවක්. එය මානසික රෝගයක් නෙමෙයි. එය දුක නැමති ප්‍රතික්‍රියාවේ කොටසක්.

ඇගේ නම නිමානි. වයස අවුරුදු 35යි. ඇයට හිටියෙ එකම දරුවායි. දරුවාගෙ වයස අවුරුදු 4යි. දවසක් නිමානි සුපර් මාකට් එකට ගියා. දරුවත් අරගෙනයි ඇය ගියේ. පාර පනිනකොට වේගයෙන් ආව මෝටර් සයිකලයක දෙදෙනාම වැදුණා. නිමානි තුවාල වෙලා බේරුණා. පුංචි දරුවා මියගියා. ඇයට මේ කම්පනය දරාගන්න බැරි වුණා. සති දෙකක්වත් යන්න කලින් ඇයට මේ මියගිය දරුවාගේ කටහඬවල් ඇහෙන්න ගත්තා. ළඟින් ඉන්නවා වගේ දැනුණා. මියගිය මේ දරුවා &අම්මේ” කියලා ඇය ළඟට එනවලු. ඇය ආදරයෙන් බදලා වඩාගන්නවලු. ඒත් ටිකකින් බලන විට එහෙම දරුවෙක් නැතිලු. ඇගේ යාළුවෝ, නෑදෑයෝ කවුරුත් කීවෙ දරුවා මැරිලා භූත ආත්මයක් වෙලා ගෙදරට ආශාවෙන් ඇවිත් කියලා. ගෙදර අය රුපියල් 75000/-ක් වියදම් කර විශාල යාගයක් ද සූදානම් කළා. වාසනාවකට යාගය කිරීමට ප්‍රථමව නිමානි අපට හමුවුණා. ඇයට උපදේශනය පටන් ගත්තා. (Grief counselling)

3. තුන්වැනි ප්‍රතික්‍රියාව

අසංවිධානාත්මක බව හෝ සියලුම දේ අවුල් සේ දැනීම (Disorganization phase)

දැන් සිද්ධිය වී මාසයක් හෝ දෙකක් ගිහින්. ඔබගේ ආදරණීය දරුවා මියගොස් ඇති බව ඔබට දැන් දැනෙනවා. ඒත් යන යන තැන ඔහු හෝ ඇයව මැවිලා පේනවා. මතක් වෙනවා. ඔබ ගැනම ඔබට තරහක් ඇතිවෙනවා. සමහරවිට ඔහු හෝ ඇයගේ මරණයට ඔබ වගකිව යුතු යැයි යන හැඟීම ඔබට නිතරම එනවා. (Guilt feelings) මෙය වළක්වා ගැනීමට හැකියාව තිබුණේ යැයි යන සිතුවිල්ල ඔබට නිතරම එනවා. ඔබගේ පිළිවෙල නැතිවෙලා යනවා. නිතරම ඇඟේ පතේ අමාරුව දැනෙනවා. නින්ද යාම අඩුවෙනවා. පිළිවෙලට අඳින්න කියන්න සිදුවෙනවා. සියලුම වැඩ කටයුතු ටිකෙන් ටික අතපසු වන බව ඔබට දැනෙනවා. ඒත් ජීවිතේ ගෙනියන්න ඕන කියන ශක්තිය ඔබට තියෙනවා. අපි මෙයට උදාහරණ බලමු.

ඇය සුමාලි. වයස අවුරුදු 30යි. විවාහ වී ඇයට දරුවන් දෙදෙනෙක් සිටියා. ඇගේ සැමියා පිටරට රැකියාවට ගොස් තිබුණා. සුමාලි අපිට හමුවුණේ සුනාමියෙන් මාස දෙකකට පමණ පසුවයි. ඇය මෙහෙම කියනවා.

&මට තාම මතකයි ඒ දවස. එදා අපි ගාල්ලෙ පොළට යන සවස. අපි පදිංචිවෙලා ඉන්නෙ ගාල්ලෙ කොටුවෙ. මමයි අම්මයි දෙන්නම පොළට යන්න ලෑස්ති වුණා. මගේ දෙවැනි දරුවාට බඩේ කැක්කුමක් හැදිල තිබුණා. අම්මා කීවා ඔයා එන්න එපා. අද මම පොළට යන්නම්. බබාටත් සනීප නෑනෙ කියලා. මම අම්මට කීවා අද පොළට යන්න ඕනෙ නෑ. අපි දෙන්නම වෙන දවසක යමු කියලා. අම්මා කීවා නෑ නෑ මම ගිහින් එන්නම්. ඔයා ඉන්න කියලා. අම්මා ගියා ගියාමයි. එදායින් පස්සෙ කවදාවත් මගේ අම්මා මම දැක්කෙ නැහැ. ඇයි අම්මා යන එක මම නැවැත්තුවෙ නැත්තෙ? මම මොන තරම් පව්කාරද? මගේ තමයි සම්පූර්ණ වරද. දැන් හැමදෙයක්ම අවුල් වෙලා. යන යන තැන මට අම්මා මැවිලා පේනවා.” මෙහෙම කියමින් ඇය වේගයෙන් අඬන්න පටන් ගත්තා.

4. හතරවැනි ප්‍රතික්‍රියාව

සාමාන්‍යයෙන් මාස හයක් පමණ යනවිට ඔබේ ජීවිතය ටිකෙන් ටික යථා තත්ත්වයට පත් වෙනවා. ඔබ ජීවිතය ගෙන යන්න වෙනත් අරමුණු සොයාගන්නවා. මියගිය පුද්ගලයාගේ හොඳ ආකර්ෂණීය ගතිගුණ, ඔහුගේ බලාපොරොත්තු ඉටුකිරීමට ඔබ ජීවත් විය යුතු බව ඔබට දැනෙනවා. (මෙම අවස්ථාව, දුක නැමති ප්‍රතික්‍රියාවේ සංවිධානාත්මක අවස්ථාව ලෙස හඳුන්වනවා.) (Organization phase)

මෙය අපි තවදුරටත් උදාහරණ පැහැදිලි කර ගනිමු.

නැවතත් අපට සුමාලි හමුවුණේ මාස 6කට පමණ පසුවයි. ඇය ගුරුවරියක්. ඇය දැන් ශක්තිමත්. ඒත් දුක නම් තාමත් තියෙනවා. ඇය මෙහෙම කියනවා.

&මට අම්මා නිතරම මතක් වෙනවා. ඒත් මම අම්මට හුඟක් ආදරේ නිසා ජීවත් වෙන්න ඕන. අම්මා ජීවත්වෙලා ඉඳිද්දී කියන දෙයක් තමයි දරුවො දෙන්නට හොඳට උගන්වන්න කියලා. අම්මගෙ ඒ සිහිනය ඉටුකරන්න මම දැන් ජීවත් වෙනවා කියලා මට හිතෙනවා.”

දුක කියන්නෙ මානසික රෝගයක් නෙමෙයි. දැඩි මානසික කම්පනයකට පසු ඇතිවන මානසික ප්‍රතික්‍රියාවක්. මෙවැනි අවස්ථාවකදී ඔබ එවැනි දුකට පත් වූ අයකුට පිහිට වන ආකාරය විද්‍යාත්මකව දැනගෙන සිටිය යුතුය. එසේ නොවුණහොත් එම දුකට පත් වූ තැනැත්තාගේ ජීවිතය තවත් අවුල් වී මානසික අවපීඩනය වැනි තත්ත්වයන්ට ගොදුරැ විය හැක.

දුකට පත් වූ කෙනෙකුට උදව් වන්නේ කෙසේද?

කළ යුතු දේ

1. ඔහු හෝ ඇයගේ හැඟීම් හඳුනාගන්න. ඔහු හෝ ඇයගේ දුක ඔබට දැනෙන බව ඉරියව් සහ වචනවලින් ප්‍රකාශ කරන්න.

2. නැති වූ පුද්ගලයාගේ සමරු සටහන් පොතක් සාදන්න. ගෙදරට ඇතුළු වන තැන, කාමරයේ, ඉස්තෝප්පුවේ ආදී ස්ථානවල ඔහු හෝ ඇයගේ ඡායාරූපයක් එල්ලන්න.

3. මියගිය පුද්ගලයාගේ හොඳ ගතිගුණ, දක්ෂතා කණ්ඩායමක් ලෙස එකතු වී සාකච්ඡා කරන්න. මෙයට පවුලේ අය ද සම්බන්ධ කරගන්න.

4. ඔහුට උපදෙස් දෙන්න යන්න එපා. ඔහු වචන 10ක් කතා කරන විට ඔබ වචන දෙකක් කතා කරන්න. ඔහු අඬන විට අඬන්න ඉඩ දෙන්න. ඔහුට තරහ යනවිට ඔබ කලබලයට පත් නොවන්න. එය සාමාන්‍ය දෙයක් බව ඔබ අඟවන්න.

5. ඔහුගේ ජීවිතය ගොඩනගාගන්න උදව් වෙන්න. ඔහුගේ ජිවිතයේ අරමුණු, බලාපොරොත්තු ටිකෙන් ටික මතක් කර දෙන්න. යම්කිසි විටෙක ජීවිතය නැතිකර ගැනීමේ සිතුවිලි, ක්‍රම සහ විධි නිතර කතා කරයි නම් මනෝ වෛද්‍යවරයකු වෙත යොමු කරන්න.

►කිරිබත්ගොඩ මූලික රෝහලේ
විශේෂඥ මනෝ වෛද්‍ය

නයනානන්ද කුමාරනායක

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30