2019 මාර්තු 02 වන සෙනසුරාදා

ගුරුවරයා සහ දඬුවම

 2019 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 134

ගුරුතුමා ගැන කතා කරන විට අපි අහල තියෙන්නෙ දිසාපාමොක්  ඇදුරු සහ ඔහුගේ ගෝලයන් පිළිබඳවයි. එම සම්බන්ධතාවය අධ්‍යයනය කිරීමේදී පෙනී යන්නේ ගුරුවරයා දරුවාට ආදරය කළා මෙන්ම දරුවන්ද ගුරුවරයාට අසීමිත ගෞරවයක් මෙන්ම ආදරයක්ද දැක්වූ බවයි. මෙම ගුරු-ගෝල සබඳතාවය තුළ ගැටුම් සිදු වූ බවක් අපට පෙනෙන්නට නෑ. අද මෙම සබඳතාවය කුමන ආකාරයකට පැවතිය යුතුදැයි මහත් ආන්දෝලනයක් හටගෙන තිබේ. මේ ළඟම ඇතිවූ සිද්ධියක් දෙස බලන විට දරුවකුට පහරදුන් ගුරුවරයකුට අධිකරණය මගින් අවුරුදු 5ක සිරදඬුවමක් නියම වී තිබුණි.

ගුරුවරයාගේ වටිනාකම පිළිබඳ හොඳම විග්‍රහය කර තිබෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයයි. ඔවුන්ට අනුව දරුවාට පාසල හෝ ගෙදර තුළදී ලබාදිය හැකි ඉහළම දායාදය ‘ආත්ම අභිමානයයි.’ (self-esteem) ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව දරුවාට ආත්ම අභිමානය ලබාදිය හැකි දෙදෙනෙක් සිටිනවා. එම දෙදෙනා නම් ‘ගුරුවරයා සහ දෙමාපියන්’ය. මින් එක් අයකු හෝ තම කාර්යය නිසි ලෙස හඳුනා නොගතහොත් දරුවාගේ මුළු ජීවිතයම අවුල් වී විනාසකාරී ප්‍රවණතාවයකට යොමුවිය හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.

ඇයි මෙහෙම වෙන්නෙ?

ලෝක සෞඛ්‍ය සංවිධානය විශාල සමීක්ෂණ සංඛ්‍යාවක් ඉවහල් කරගෙන දරුවාගේ පෞරුෂය වර්ධනයට හිතකර පාරිසරික සාධක නිසි ලෙස හඳුනාගෙන තිබෙනවා. පුද්ගලයකුගේ සාර්ථක ජයග්‍රහණයට අවශ්‍ය කුසලතාවලින් අධ්‍යාපනික කුසලතා කියන්නෙ 40%ක් පමණයි. 60%ක්ම වෙනත් වූ මෘදු කුසලතාවයන්ය. (soft skills) දරුවාගේ මොළය වේගයෙන් වර්ධනය වේ. මේ මොළයට ‘විෂය’ පමණක් ගිල්වීමෙන් ඔවුන් සාර්ථක පුද්ගලයන් බවට පත් නොවේ. අද දරුවාගේ දක්ෂතාවය මනින්නේ විෂය සහ විභාගය මුල්කොට ගෙනයි. සෞඛ්‍ය අමාත්‍යංශය කරන ලද එක් සමීක්ෂණයකින් පෙනී ගොස් ඇත්තේ දරුවා දැඩි ආතතිය සහ පීඩනයට පත්කරන ප්‍රධානම සාධකය විභාගය බවයි. දරුවාට විභාගයෙන් තොර ලෝකයක් නැත. ඔහු හෝ ඇය මෙම දැඩි ආතතිය තුළ අසරණ වී හෝ හිරවී ඇත. ගුරුවරයා දරුවා දෙස බලන්නෙත්, ඇගයීමට ලක් කරන්නෙත් මෙම විෂය මුල්කරගෙනය. ආදරය සහ තෙතමනය නැති පරිසරයක අතරමං වූ දරුවා සහ ගුරුවරයා අතර මෙම ඝට්ටනය නිර්මාණය වී ඇතැයි අපට සිතිය හැක.

ඔබ කියන්නේ දරුවාට කිසිම ආකාරයක ශාරීරික හෝ මානසික දඬුවමක් ලබා නොදිය යුතු බවද? නැහැ. ඒක වැරදියි. අපි සෑම කෙනෙක්ගේම පුංචි කාලෙට ගියොත් අපිට දඬුවම් කරපු සමහර ගුරුවරු තවම අපට මතකයි. ඔවුන් කෙරේ අපිට කිසිම අහිතක් නෑ. එම සිද්ධීන් සහ එම ගුරුවරු අපි තාමත් මතක් කරන්නේ සැඟවුණු ලෙන්ගතුකමකින් සහ ආදරයකින්. මොකද ඔවුන් අපට දඬුවම් කළත් එම දඬුවම් සාහසික වුණේ නෑ. අනෙක් පැත්තෙන් එම ගුරුවරුන් තුළ අපි කෙරේ සැඟවුණු ආදරයක් තිබුණු බව පෙනී යනවා. නමුත් අද තත්ත්වය මීට වඩා වෙනස් වෙලා. මීට හේතුව ගුරුවරයා දරුවා දෙස බලන ආකාරය වෙනස් වීමයි. එදා දිසාපාමොක්වරු අද දකින්න ලැබෙන්නේ නෑ. ගුරුවරයාත් මානසික ආතතීන් සහ පීඩනයන්ට ගොදුරැ වෙලා. ඔවුන් කරන්නේ රැකියාවක්. ඉන් එහාට ගොස් දරුවාගේ ජීවිතය දිහා බලන්න ඔවුන්ට දැනුමක් වගේම හැඟීමක්ද නැහැ. මෙය සෑම ගුරුවරයකුටම අදාළ වෙන්නේ නැහැ. දරුවාට ආදරය කරන, තම දරුවකු සේ දරුවා දෙස බලන ගුරුවරුන් සිටිනවා. දරුවන්ගේ වැරදිවලට දඬුවම් ලබාදිය යුතු අවස්ථා තියෙනවා. ශාරීරිකව දඬුවම් කිරීම එක් ක්‍රමයක් විතරයි. අද ප්‍රධානම ගැටලුව දරුවාට දඬුවම් දිය යුතු අවස්ථාව, දඬුවම් දීම සහ එසේ දඬුවම් දියයුතු විද්‍යාත්මක ක්‍රමවේද පිළිබඳ ගුරුවරුන්ට තිබෙන අල්ප දැනුම නිසා බොහෝ ප්‍රශ්න නිර්මාණය වී තිබීමයි. මෙයට දෙමාපියනුත් වගකිව යුතුයි. ඉතා කුඩා සිද්ධියක් අලලා ගුරුවරයාට විරුද්ධව පොලීසියට එසේ නැතහොත් මානව හිමිකම්වලට යාමේ මෝඩ ප්‍රවණතාවයකට රට ඇදී ගොස් තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශයේ බරපතළ අඩුපාඩුවක් මෙතනදී පෙන්වා දෙන්න ඕන. එනම් ප්‍රශ්න තියෙන දරුවා හඳුනා ගැනීම, එම හැසිරීමට හේතුව විද්‍යාත්මකව අවබෝධ කර ගැනීම, ඒවා අවම කර ගැනීමට ගුරුවරයාට කළ හැකි ක්‍රියාකාරකම් පිළිබඳ පැහැදිලි මනෝ විද්‍යාත්මක දැනුමක් ගුරුවරුන්ට ලබාදීම අධ්‍යාපන අමාත්‍යංශයෙන් සිදුවිය යුතු කාර්යභාරයක් වේ. පාසල්වලට අවශ්‍ය ගොඩනැගිලි ලබාදීමෙන් පමණක් දරුවාගේ පෞරුෂය නිසි ලෙස සංවර්ධනය කළ හැකි යැයි විශ්වාස කිරීම මිත්‍යාවක් බව බලධාරීන් විසින් අවබෝධ කරගත යුතුයි.

ගුරුවරයා විසින් දරුවාට ශාරීරිකව හෝ මානසිකව දඬුවම් කිරීමට පෙළඹීමට හේතු කීපයක් මුල්වේ.

1. දරුවාගේ කරදරකාරී හැසිරීමට හේතු නිසි ලෙස අවබෝධ කර නොගැනීම (දරුවාගේ මානසික ගැටලු පිළිබඳ නිසි අවබෝධයක් නොමැති වීම)

2. ගුරුවරයාගේ ආතතිය සහ මානසික පීඩනය

අද නිර්මාණය වී තිබෙන ගැටලුකාරී පරිසරය තුළ පාසල් ගුරුවරු සියලුම විනය ක්‍රියා පටිපාටිවලින් ඉවත්වන බවට රජයට තර්ජනය කර තිබෙනවා. මෙම අදහසට කිසිම විද්‍යාත්මක පදනමක් නෑ. විනය කියන වචනය ඔවුන් වැරදි ලෙස අවබෝධ කරගෙන තිබෙනවා. දරුවාගේ ගැටලු අවබෝධ කර ගැනීමට අසමත් වීම නිසා බොහෝ පාසල් ගුරුවරු තමන් විසින්ම මෙම ගැටලු නිර්මාණය කරගෙන තිබෙනවා. මනෝ වෛද්‍යවරුන්ට යොමුවුණු මෙවැනි ගැටලු කීපයක් අපි සාකච්ඡා කර බලමු.

සුපුන්ගේ වයස අවු.12යි. කොළඹ පාසලක 7 වැනි ශ්‍රේණියේ සුපුන් ඉගෙනුම ලැබුවා. හොඳින් ශිෂ්‍යත්වය සමත් වීම නිසා සුපුන්ට ජාතික පාසලකට ඇතුල්වීමට අවස්ථාව ලැබුණා. දැන් මාස 6කට වැඩිය නෑ. සුපුන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. සුපුන්ට හරියට තරහ යනවා. පාසලේ ළමුන්ට පහර දෙනවා. රණ්ඩු ඇතිකර ගන්නවා. සමහර දවස්වලට පාසල් එන්නෙත් නැහැ. පාසලෙන් දෙන Home Work ටික කරන්නෙත් නැහැ. මේ ළඟදී පංති භාර ගුරුතුමා දෙන Home Work කරන් නැත්තෙ ඇයිදැයි විමසූ විට ගුරුතුමා සමග වාදයකට පැටලුනා. පසුව ගුරුතුමා ඔහුට පහර දුන්නා. සුපුන්ගේ පාසල් යාම සම්පූර්ණයෙන්ම නතර වුණා. මෙසේ පාසල් නොයන විට අපට සුපුන්ව යොමු කළේ ඔහුගේ මවයි. ඇඬූ කඳුළින් මව මෙසේ කීවා.

“සුපුන් හරිම දක්ෂ ළමයෙක්. ඔහුගේ හැසිරීම වෙනස් වුණේ මමයි මගේ මහත්තයගෙයි ගැටලුවක් නිසා. කිසිම හේතුවක් නැතුව මගේ මහත්තයා මාව සැක කරන්න පටන් ගත්තා. සැකය මුල් කරගෙන ගෙදර නිතරම රණ්ඩු. සුපුන් මේ රණ්ඩු දැක්කා. මුල් කාලයේදී සුපුන් ගෙදර හිටියේ හරිම බයෙන්. ටිකෙන් ටික හරියට තරහ යන්න පටන් ගත්තා. දැන් හරිම දරුණුයි. පුංචි දේටත් තරහ ගියාම ගෙදර බඩු පොළොවේ ගහනවා. මහත්තයාගේ බොරු සැකය නිසා මා සමඟ ඇතිවන රණ්ඩුවල කෙළවරකුත් නැහැ. ශිෂ්‍යත්වයත් පාස්වෙලා හොඳට ඉගෙන ගත්ත මේ දරුවාගේ ජීවිතේ දැන් අවුල් වෙලා.”

මේ සිද්ධිය අධ්‍යයනය කිරීමේදී ගුරුවරු විනය කියල අදහස් කරන්නෙ මේ දරුවාට පහර දී බයකර පාලනය කිරීමද? එහෙමත් නැත්නම් මෙම දරුවාගේ මානසික තත්ත්වය තේරුම් ගෙන ඔහුගේ ජීවිතය වෙනස් කර ගැනීමට උදව් කිරීමද? මේ අනුව ඉහත කී ගුරුවරයා විසින් දරුවාට පහරදීම කිසිසේත්ම විනය ක්‍රියා පටිපාටියක් ලෙස අපට විස්තර කළ නොහැක. එය සැබැවින්ම ගුරුවරයා දරුවාගේ මානසික තත්ත්වය අවබෝධ කර ගැනීමට ඇති නොහැකියාව පෙන්නුම් කරන එක් සිද්ධියකි.

මෙහි එන සුපුන් මනෝ විද්‍යාත්මක විග්‍රහය අනුව සැබැවින්ම ගොදුරු වී සිටියේ දැඩි මානසික ආතතිය නමැති රෝගී තත්ත්වයටයි. ඊට හේතු වූයේ ගෙදර පරිසරයයි. සැබැවින්ම ගුරුවරයා විසින් කළ යුතුව තිබුණේ මෙම දරුවා හඳුනාගෙන මනෝ වෛද්‍යවරයකු වෙත යොමු කිරීමයි. මෙම තත්ත්වයෙන් දරුවා මුදවා ගැනීමට වෛද්‍ය සායනය තුළදී පහත සඳහන් ක්‍රියාකාරකම් වලට යොමු විය.

1. දරැවා දැඩි ආතතියෙන් එළියට ගැනීමට අවශ්‍ය උපදේශනය ලබාදීම.

2. සුපුන්ගේ පියා “මායාකාරී රෝගය” නැමති මානසික රෝගයට ගොදුරු වී සිටියේය. ඔහුට අවශ්‍ය ප්‍රතිකාර සහ උපදේශනය ලබාදුනි. ඉන්පසු ක්‍රමක්‍රමයෙන් ඔහුගේ සැකය අඩුවිය.

දෙමාපියන්ගේ ගැටලු නිරාකරණය වී සාමකාමී පරිසරයක් නිවස තුළ නිර්මාණය වූ විට සුපුන්ගේ හැසිරීම සාමාන්‍ය තත්ත්වයට පත් වී අධ්‍යාපන කටයුතුද හොඳින් කරගෙන ගියේය.

►කිරිබත්ගොඩ මූලික රෝහලේ මනෝ වෛද්‍ය
කරුණානන්ද කුමාරනායක

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30