2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා

සතිමත් බව (Mindfulness)...

 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:29 251

සතිමත් බව (Mindfulness) ඔබගේ මනස සහ ශරීරය යන දෙකම නිරෝගී කරයි. මනස කියන්නෙ සිතුවිලි ජාලයක්. අප ජීවිතය විඳින්නෙත් විඳවන්නෙත් මේ සිතුවිලි සමඟයි. මෙම සිත සුභවාදී මෙන්ම අසුභවාදී සිතුවිලිවලින් පිරී තිබෙනවා. සිත හෙවත් ඔබගේ මනස බොහෝ ක්‍රියාකාරකම්වලට මුල්වන නිසා තමයි බුදුන් වහන්සේ “මනෝ පුබ්බං ගමා ධම්මා” කියල වදාළේ. මනස හෙවත් අපගේ සිතුවිලි ගැන මුළු ලෝකයම අද අවදි වෙලා. ලෝකයේ පිළිගත් විශ්වවිද්‍යාල වගේම විද්‍යාඥයන් දහස් ගණනින් සමීක්ෂණ පවත්වනවා මෙන්ම පවත්වමින් සිටිනවා. මනසේ සන්සුන්භාවය නැති වූ තැන මනස අවුල් වී ඔබගේ එදිනෙදා ජීවිතය අවුල් වෙනවා පමණක් නොවෙයි, බොහෝ ලෙඩරෝගවලට පවා ශරීරය ගොදුරුවන බව නූතන සමීක්ෂණවලින් සොයාගෙන තිබෙනවා. මේ අනුව මානසික ඒකාග්‍රතාවය (Mindfulness) ජීවිතය සතුටින් සහ නිරෝගීව පවත්වාගෙන යන්න හොඳ ප්‍රතිකාරයක් බවට පැහැදිලිවම සනාථ වී තිබෙනවා. අද නූතන මනෝ වෛද්‍ය විද්‍යාවේ උපදේශන ක්‍රමවලට මානසික ඒකාග්‍රතාවය මනෝ චිකිත්සක ක්‍රමවේදයක් ලෙස ඇතුළු කර තිබෙනවා.

සතිමත් බව (Mindfulness) කියන්නෙ අපට එන අශුභවාදී සිතුවිලි බලෙන් යටපත් කිරීමක් නොවේ. ජීවිතය තුළ අපට එන ගැටලු, මානසික පීඩාවන් අවබෝධ කරගැනීම සහ විවෘතව ඒ දෙස බැලීම සතිමත් බව තුළ ඇති ප්‍රධාන ලක්ෂණ දෙකයි. “යහපත් සිහිය පිහිටුවීම” (සම්මා සති) සහ ඒකාග්‍රතාවයකින් මනස තබාගැනීම (සම්මා සමාධි) ලෙස බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ ද මෙම සතිමත් බව නම් ව්‍යායාමයයි. සතිමත් බව නැතිවන ආකාරය අපි උදාහරණවලින් බලමු.

සුපුන්ගේ වයස අවුරැදු 18 යි. ඔහු උසස්පෙළට සූදානම් වෙමින් සිටී. උසස්පෙළට මාස තුනක් තිබියදී ඔහුගේ මනස දැඩි ලෙස නොසන්සුන් විය. තද නිදිමත ගතිය, අමතක වීම, හිසේ බර ගතිය, තරහ යාම වැනි ලක්ෂණ සමඟ ඔහුට පාඩම් කිරීම එපා විය. ඔහු දැඩි ආතතියට ගොදුරැ වී ඇති බව මින් පැහැදිලි වේ. සුපුන් මෙම ආතතියට ගොදුරු වූයේ ඔහුගේ සිතුවිලි නිසාය. මොනවද ඔහුට ඇතිවුණු සිතුවිලි? මම විභාගය අසමත් වුණොත් දෙමාපියන් මොනව හිතයිද? ගුරැවරැ මොනව හිතයිද? අනාගතයට කුමක් සිදුවෙයිද? මින් පැහැදිලි වනුයේ සුපුන්ගේ මනස තුළ සතිමත් බව නැති බවයි. එනම් මේ මොහොත තුළ ඔහුගේ මනස රැඳී නැත. හෙට දින හෙවත් අනාගතය ගැන කනස්සල්ලට පත්වී ඇත. මෙම මානසික ව්‍යාකූලතාවය තුළ සුපුන්ගේ පාඩම් කිරීම ඇතුළු එදිනෙදා වැඩ අවුල් වී ඇත.

සුපුන්ව සතිමත් බව ඇතිකරන ව්‍යායාමයකට යොමු කරවීය. පළමුවෙන්ම ඔහු මනස සැහැල්ලු කරන හුස්මගැනීමේ ක්‍රමවේදයකට පුහුණු කරවීය. මෙම ක්‍රමවේදය ආනාපානසති භාවනාවට සමානය. හෙමින් හුස්මගැනීම සහ හෙමින් හුස්ම පිටකිරීම මෙම ව්‍යායාමයේ මූලික පියවරයි. දවසකට විනාඩි 15 බැගින් දෙවරක් කිරීමට ඔහුට උපදෙස් දුනි. මෙම ව්‍යායාමය තුළින් අපගේ ප්‍රත්‍යාවේගී ස්නායු පද්ධතියේ (Autonomic) ක්‍රියාකාරීත්වය සමතුලිත වී මනස සන්සුන් වේ.

දෙවැනි ක්‍රමය වූයේ මේ මොහොත ගැන ප්‍රකෘති සිහියෙන් සිටීමට මනස පුරුදු කිරීමයි. ස්නානය කරන විට එම සිහියෙන්ද, කෑම කන විට එම සිහියෙන්ද, පාඩම් කරන විට එම සිහියෙන්ද, සිටීමට ඔහුට ප්‍රායෝගික පුහුණුවක් දුනි.

සුපුන්ට දුන් තුන්වැනි ව්‍යායාමය වූයේ ඇතිවන සිතුවිලි දෙස කුතුහලයෙන් සහ විවෘතව බැලීමට මනස පුරුදු කිරීමයි. උදාහරණ ලෙස විභාගය අසමත් වුණොත් දෙමාපියෝ මොනව හිතයිද? යන සිතුවිල්ල දෙස විවෘතව බැලීමට ඔහුගේ මනස පුරුදු කරවීය. එම සිතුවිල්ලේ වාසි සහ අවාසි ගැඹුරින් සලකා බැලීමට ඔහුගේ මනස පුහුණු කරවීය.

මෙම ව්‍යායාම නිසි ලෙස කරගෙන යාමේදී සුපුන්ගේ මනස සන්සුන් විය. පාඩම් කටයුතුද ඉතා හොඳින් කරගෙන යාමට ඔහුට හැකි විය. විභාගයද හොඳින් සමත් වූ සුපුන් සතිමත් බව ඔහුගේ ජීවිතය ජයග්‍රහණය කරා යොමුකරවූ බව බොහොම උද්දාමයෙන් පවසයි. අපි සතිමත් බව පිළිබඳව තවත් ගැඹුරින් සලකා බලමු.

කිරිබත්ගොඩ මූලික රෝහලේ මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30