2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා

සෙල්ෆි මායාව

 2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 89

සෙල්ෆි කියන්නේ බැලූ බැල්මට චමත්කාරජනක ලෝකයක්. හෙරොයින් ගත්ත කෙනකුට ඉන් ගැලවෙන්න අපහසු සේ සමහරවිට සෙල්ෆි ලෝකය තුළත් ඔබ අතරමං වී ඉන්න පුළුවන්. සාමාන්‍යයෙන් එක් පුද්ගලයෙක් වර්ෂයකට සෙල්ෆි පනස්හතරක් ගන්නා බව වාර්තා වෙනවා. 2014දී කරන ලද අධ්‍යනයකදී වර්ෂයක් තුළ සෙල්ෆි දසලක්ෂයක් ගන්නා බවද අනාවරණය වී තිබෙනවා.

තවත් සමීක්ෂණයකදී හෙළි වූ පරිදි 47% ක් කියනවා මවකට දරුවෙක් ලැබෙන විට සෙල්ෆි ගන්න ආසයි කියලා. 30% කියනවා ලිංගික එකතු වීමකදී සෙල්ෆි ගන්න ආසයි කියලා. 20%ක් කියන්නේ මළ ගෙදරකදී සෙල්ෆි ගන්න ආසයි කියලා. 2013 දී ලෝකයේ ජනප්‍රිය වචනය සෙල්ෆි කියලා ප්‍රසිද්ධ වුණා. පිස්සුවෙන් වගේ සෙල්ෆි පිටුපස යන අය අපට හමුවෙලා තියෙනවා. මාධවත් එයින් එක්කෙනෙක්. අපි මාධව ගැන කතා කරමු.

මාධවගේ වයස අවුරුදු දහහතයි. ඒ වගේම A/L කරන සිසුවෙක්. ඔහුට තිබුණ ගැටලුව තමයි නිතර පවතින හිසරදය, තරහා යාම, සිතට වදදෙන සිතුවිලි සහ අමතක වීම. ඔහු මෙහෙම කියනවා.

“ඔව්, දැන් මට පාඩම් කරන්න හිතෙන් නෑ. දවසට සෙල්ෆි දහයක්වත් ගන්න ඕන. මගේ සෙල්ෆි කොපමණ ගත්තත් කිසිම සතුටක් මගේ මනසේ නැහැ. එක සෙල්ෆියක් ගත්තම ඊළඟ එක ගන්නකම් හිතට බොහොම වදයක්. මට මේක නවත්තගන්න ඕනෙ. ඒත් හරිම අමාරුයි.

වියරුවෙන් වගේ සෙල්ෆි පිටුපස යෑම අසනීපයක්ද?

ඔව්. ඇත්තටම මේක අසනීපයක්. අමෙරිකානු මනෝ විද්‍යා සංගමය 2014දී මෙය තහවුරු කළා. වියරුවෙන් සෙල්ෆි ගැනීම ග්‍රස්ථිය හා සමාන දැඩි ආතතියක් බව ඔවුන් කියනවා. ඔවුන් මෙය කොටස් තුනකට බෙදුවා.

01. පළමු අවස්ථාව - දවසකට සෙල්ෆි තුනකට වැඩි සංඛ්‍යාවක් ගන්නවා. නමුත් මෙය Facebook වැනි සමාජ වෙබ්අඩවිවල දමන්නේ නෑ.

02. දෙවැනි අවස්ථාව - දවසකට සෙල්ෆි තුනකට වැඩිය  අරගෙන Facebook දානවා. 

03. තුන්වැනි අවස්ථාව - දවසකට සෙල්ෆි හයකට වැඩිය අරගෙන Facebook දානවා.

මේ ඉහත අවස්ථා තුනෙන් නිරූපණය වන්නේ සෙල්ෆි නිසා ඇතිවන දැඩි ආතතියේ ස්වභාවයයි. මෙම අසනීපය ඔවුන් සෙල්ෆිට්ස් (Selfits) කියා හඳුන්වනවා.
සෙල්ෆි නිසා ඇතිවන දැඩි ආතතියේ තවත් ස්වරූපයක් වෛද්‍යවරු සොයාගෙන තිබුණා. එනම් තමාගේ පෙනුම පිළිබඳව අතෘප්තියෙන් පසුවන අය තම අභිමානය වැඩිකර ගැනීමට වියරුවෙන් සෙල්ෆි පිටුපස යන බවයි. මේ අතෘප්තිකර ආශාව සමහරවිට මානසික අවපීඩනයෙන් කෙළවර වෙන්නත් පුළුවන්. මානසික අවපීඩනය අවසානයේ සියදිවි නසා ගැනීමක් දක්වා වර්ධනය වෙන්නත් පුළුවන්.

සුපුන්ගේ වයස අවුරුදු දහඅටයි. ඔහු උසස් පෙළට සූදානම් වෙමින් සිටියේ. සුපුන් දවසට සෙල්ෆි සියයකට වඩා ගත්තත් ඒ ගැන කිසිම තෘප්තියක් ඔහුට ඇති වුණේ නැහැ. ඔහුගේ ආශාව වූයේ Facebook හරහා ලස්සන girl කෙනෙක් සොයා ගැනීමයි. නමුත් මේ අසනීපය අවසානයේදී මානසික අවපීඩනය දක්වා දුරදිග ගොස් ඔහුට තම ජීවිතය ද එපා වුණා. සෙල්ෆිවල භයානක පැත්තක් ද තියෙනවා. සමහරවිට ඔබ වාහනයක් පදින විට සෙල්ෆි ගන්න පුළුවන්. ඔබ නොදැනම භයානක අනතුරකට ලක්වෙන්න තිබෙන ඉඩකඩ වැඩියි. මීට හේතුව මෙවැනි අවස්ථාවක ඔබේ මතකය හා දැනීම බාහිර පරිසරයෙන් ගිලිහී යාමයි.

වියරැවෙන් සෙල්ෆි පිටුපස යන අයගේ පෞරුෂය තුළ සමාජ විරෝධී, ආත්මාර්ථකාමී ස්වරූපයක් ද දකින්න ලැබෙන බව සමීක්ෂණවලින් සොයාගෙන තිබෙනවා. සමහර පුද්ගලයන් භයානක සෙල්ෆිවලට මුහුණ දෙනවා. මේ තුළ තිබෙන්නේ ක්ෂණික ජනප්‍රිය වීමේ ආශාවක්. යම් භයානක අවදානම් සහගත දෙයක් Facebook දැම්මොත් තමයි වැඩි අවධානයක් යොමු වෙන්නේ. මිනිත්තුවක් තුළ මුළු ලෝකෙම අවධානය ගන්න පුළුවන්. නමුත් සමහරවිට ඔබට ජීවිතයෙන් වන්දි ගෙවන්න සිදුවෙන්නත් පුළුවන්. 2015දී මෙවැනි සෙල්ෆි ගැනීමට යෑමෙන් විසිහත් දෙනකු මියගොස් තිබෙනවා. මින් 50%ක්ම වාර්තා වන්නේ ඉන්දියාවෙන්.

සෙල්ෆි කියන්නේ චමත්කාරජනක ලෝකයක් බව ඇත්ත. ක්ෂණයකින් මුළු ලෝකය තුළ ඔබට ජනප්‍රිය වෙන්න පුළුවන්. ඒත් එහි ඇති අවදානම් පැතිකඩ අමතක කරන්න එපා.

►කිරිබත්ගොඩ මූලික රෝහලේ මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30