2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා

මියුටිසම් අවබෝධයෙන් ජය ගමු!

 2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 117

මියුටිසම් නැමති තත්ත්වය බොහෝ විට දරුවකු තුළ තිබි හඳුනාගන්නේ වයස අවුරුදු පහ - අට වයසේදී. මෙහිදී දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණය නම් ගෙදරදී හොඳට කතා කරන දරුවා පාසලේදී හෝ පිටතදී කතා නොකරන බවයි. මෙය අවුරුදු ගාණක් දරුවා තුළ තිබිය හැකියි. නමුත් අවුරුදු දහය වනවිට කිසිදු ප්‍රතිචාරයක් නොමැතිව වුවද 50%ක් පමණ දරුවන් ස්වභාවිකවම සුව වෙන්න පුළුවන්.

දරුවන්ට වැළඳෙන තවත් අපි නොහිතන රෝගී තත්ත්වයක් තමයි මේ ‘මියුටිසම්’ කියන මානසික රෝගය. මේ රෝගය ගැන හොඳ අවබෝධයක් ලබා ගැනීමට පහත සඳහන් පුංචි කතාව අපට ගොඩක් වැදගත් වෙනවා.

ගයන්තගේ වයස අවුරුදු හයයි. එයා ‍කොළඹ ප්‍රධාන පාසලක පළමු වසරේ ඉගෙනුම ලබනවා. ගයන්ත සිය නිවසේදී ඉතාමත් දඟකාර දරුවෙක්. එයාගේ මල්ලි, අයියා සමඟ සෙල්ලම් කරන අතර මව සහ පියා සමඟත් හොඳින් කතා කරනවා. ඒත් පුංචි ගයන්ත පාසල් කාලයේදී කිසිම අදහසක් වචනයෙන් ප්‍රකාශ කරන්නේ නෑ. ඒ කියන්නේ එයා පාසලේදී කතා කරන්නේ නෑ. මේ බව ගයන්තගේ අම්මා දැනගත්තේ එයාගේ පන්ති භාර ගුරුතුමිය මාර්ගයෙන්.

ගුරැතුමී කියන පරිදි ගයන්ත සිය අදහස් ප්‍රකාශ කරන්නේ ඔළුව වනලා. අතින් ආදී වශයෙන්. ඒ වගේම එයාගේ ඉදිරිපත්වීමේ හැකියාවක් ද නෑ කියලා තමයි කියන්නේ. මේ කතාව අහපු ගයන්තගේ මවට හරි පුදුමයි. මොකද ගයන්ත ගෙදරදී මෙහෙම තත්ත්වයක් පෙන්නුම් කරන්නේ නැති නිසා. මේ නිසා ඔවුන් අප වෙත යොමු වුණා. අපට ගයන්තගේ තත්ත්වය වැටහුණා. අපි ඒ බව ගයන්තගේ මවට පැවසුවා.

සමහර වෙලාවට ඔබත් මෙවැනි දරුවන් අනන්තවත් දැකලා ඇති. මෙම ‘මියුටිසම්’ තත්ත්වය නිශ්චිත ලෙසම තීරණය කිරීමේදී පහත සඳහන් කරුණු වැදගත් වෙනවා.

01. හොඳින් කතා කරන දරුවෙක් සමහර ස්ථානවලදී කතා නොකිරීම.

02. මෙසේ කතා නොකිරීම නිසා දරුවා බොහෝ ප්‍රශ්නවලට මුහුණ දීම.

03. මෙම තත්ත්වය තීරණය කිරීමට නම් දරුවා මාසයක් පමණ මෙසේ හැසිරිය යුතුයි.

04. බුද්ධිමය වශයෙන් දැනුමෙන් අඩුවක් නැති මෙම දරුවන් සමහර ස්ථානවලදී කතා කිරීම.

05. මෙවැනි දරුවන් වෙනත් මානසික රෝගී තත්ත්වයකින් පෙළෙනවාදැයි බැලීම.

දරුවන් ලක්ෂයක් ගත්තොත් ඒ අතරින් එකසිය අසූවකට මෙම රෝගී තත්ත්වය දකින්න පුළුවන්. දැන් අපි බලන්න ඕනෑ දරුවන් මේ විදිහට ‘මියුටිසම්’ තත්ත්වයට ගොදුරු වන්නේ කොහොමද කියලා.

එහිදී මේ යැයි පැවසිය හැකි නිශ්චිත හේතුවක් හොයාගන්න බෑ. ජීව විද්‍යාත්මක කරුණු බලපාන බව ඇතැම් විද්‍යාඥයන් විසින් පෙන්වා දෙනවා. බොහෝ ලැජ්ජාශීලී දරුවෝ මෙවැනි තත්ත්වයන්ට පත්වීමට ඉඩ වැඩි බව ඔවුන් තවදුරටත් පෙන්වා දෙනවා. ඒ වගේම සමීක්ෂණවලින් ඔප්පු වෙලා තියෙනවා. සමාජ භීතිකාව, සමහර පෞරුෂ භින්නතා සමඟ ද ‘මියුටිසම්’ තත්ත්වය  ඇතිවීමේ ඉඩකඩ තිබෙන බව. කුඩා කාලයේදී දරුවකු තුළ ඇතිවන පෞරුෂ වර්ධනය බාල වීමේ තත්ත්වය ද මෙම රෝගය මතුවීමට බලපානවා. ඒ වගේම සමහර මන්දබුද්ධිකතාව ද මේ සඳහා බලපානවා. දරුවන්ගේ ආතතියට බලපාන කරුණු අතර ගොඩක් තදින්ම බලපාන කරුණු තමයි මවුපියන් අතර පවතින දබරවීම් සහ දරුවන් දැඩි පාලනයට ගොදුරු වීම.

ඒ වගේම දරුවාගේ මොළයට සිදුවන හානි ද ‘මියුටිසම්’ ඇතිවීමට බලපානවා. උදාහරණයක් විදිහට රිය අනතුරක් ගන්න පුළුවන්.

දරැවකු මෙම තත්ත්වයට ගොදුරු වී ඇති බව සොයා ගන්නේ වයස අවුරුදු පහත් අටත් අතර කාලයේදී. නමුත් සමහර දරුවන් වයස අවුරුදු තුනත් - පහත් අතර කාලයේදී මෙවැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා. එහෙත් එය සාමාන්‍ය තත්ත්වයක්. ගොඩක් වෙලාවට මේ රෝගී තත්ත්වය මුලින්ම සොයා ගන්නේ පාසල් ගුරුවරුන් විසින්.

මියුටිසම් රෝගී තත්ත්වය නිසා දරුවන්ට විය හැකි අවාසි

¤ අධ්‍යාපනය කඩාකප්පල් වීම

¤ සමාජයෙන් කොන් වීම

මෙවැනි තත්ත්වයන් හමුවේ දරුවන්ට දඬුවම් කිරීමට යෑමෙන් දරුවා වෙනත් මානසික රෝගී තත්ත්වයන්ට ගොදුරු විය හැකිය.

ඒ වගේම මෙවැනි දරුවන්ට ඕනෑවට වඩා අනුකම්පාව ලැබීම හා වැඩි ආරක්ෂාව ලැබීමෙන් තත්ත්වය වැඩිවීමක් දකින්න පුළුවන්.

මෙවැනි රෝගී තත්ත්වයකට තිබෙන ප්‍රතිකාර

දරුවාගේ මානසික ආතතිය අඩුකර ගැනීම සඳහා ඖෂධ තිබෙනවා. එයට අමතරව මව්පියන්, ගුරුවරුන් මේ රෝගී තත්ත්වය ගැන දැනුවත් වීම වැදගත් වෙනවා. නොයෙක් මනෝ චිකිත්සක ක්‍රම ද මෙවැනි දරුවන් වෙනුවෙන් තිබෙනවා.

01. මුහුණට මුහුණලා කතා කිරීමෙන් වැළකීම.

02. දෑස් දෙස බලා කතා කිරීම අඩු කිරීම.

03. දරැවා සමඟ ආතතියක් ඇති නොවන අයුරින් කතා කිරීම.

04. මෙම දරුවන් තුළ ඇති මානසික අවපීඩන තත්ත්වයන්ට අවශ්‍ය ප්‍රතිකාර ක්‍රම භාවිත කිරීම.

05. දරුවා තුළ ඇති විය හැකි බය, අභිමානය කඩවීම, ආත්ම විශ්වාසය නොමැති වීම වගේ දේවල් උපදේශනය මගින් නිවැරදි කර ගැනීම.

06. සමාජ කුසලතාවලට දරුවා යොමු කිරීමෙන් ද කණ්ඩායම් ක්‍රම උපයෝගී කරගැනීමෙන් ද දරුවා මෙම තත්ත්වයෙන් ගලවා ගත හැකිය.

ඔබ ඔබේ දරුවා පිළිබඳ අවධානයෙන් සිටින්න. ඔහුගේ ඉරියව් නිරීක්ෂණය කරන්න. එහිදී ඔහු රෝගී දරුවෙක් ද නොඑසේ නම් නිරෝගී දරුවෙක්දැයි ඔබටම තීරණය කරගත හැකි වනු ඇත.

මොකද, හැම දරුවෙක්ම මලක් වගේ පිවිතුරුයි. අහිංසකයි.

දරුවා ඔබගේද මගේද කියා වෙනසක් නැහැ. හැම දරුවෙක්ම අපට සම්පතක්. ඒ සම්පත රැක ගැනීම ඔබේත් මගේත් පරම කාර්ය භාරයයි. වගකීමයි.

►කිරිබත්ගොඩ මූලික රෝහලේ 
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30