2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා

ප්‍රචණ්ඩත්වය II වැනි කොටස

 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 77

අද අප රටේ ප්‍රචණ්ඩත්වය නිතර කතාබහට ලක්වෙන මාතෘකාවක් බවට පත්වෙමින් තිබෙනවා. මෑතකදී සිදු වූ සිද්ධි කිහිපයකක් මේ ආන්දෝලනයට හේතු වී තිබෙනවා. නමුත් මීට වසර කිහිපයකට පෙර දිවුලපිටිය ප්‍රදේශයේ සේයා නැමැති දැරිය දූෂණය කර මරා දමන ලද මේ හා සමානම ආන්දෝලනයක් ඇතිකළ ඝාතනයක් බවට පත් වී තිබුණි. ඉතා උණුසුම් ලෙස මෙම සාකච්ඡා ප්‍රජාව තුළට ගෙන යන්නේ මාධ්‍ය තුළිනි. බොහෝ මාධ්‍යවලින් මේවායේ ඇති ප්‍රචණ්ඩකාරී ස්වභාවය දර්ශන මඟින්, චිත්‍ර මඟින් ලස්සන කරන ලද කතා මඟින් සාකච්ඡා මඟින් ඉදිරිපත් වූවත් මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීමට ගතහැකි විද්‍යාත්මක ක්‍රම සහ විධි සාකච්ඡා කිරීම හෝ මාධ්‍ය මඟින් අවම මට්ටමකින් සිදුවන බව පෙනී යයි. බොහෝ මාධ්‍ය මේවා ප්‍රජාව තුළට ගෙන යන්නේ එහි ඇති බිහිසුණු බව පමණක් විදා දක්වමින් යම් බියකරැ ත්‍රාසජනක වින්දනයකින් ප්‍රජාව කුල්මත් කිරීමයි.

අපි මින් පෙර ලිපියේ ප්‍රචණ්ඩත්වයට හේතු වන ප්‍රධාන එක් කරුණක් වන අප ජීවත් වන පරිසරය බලපාන අයුරැ උදාහරණ සහිතව පෙන්වා දුන්නෙමු. විශේෂයෙන්ම ඇල්බට් බන්දුරා නම් මනෝ විද්‍යාඥයාගේ නිරීක්ෂණයෙන් දරුවා පරිසරයේ ඇති දේ ඉගෙන ගන්නා ආකාරය සරලව පැහැදිලි කළෙමු. අප ජීවත් වන පරිසරය නමින් අදහස් වනුයේ ඔබේ ගෙදර පරිසරය, පාසැල් පරිසරය හා පාසල හා ගෙදර අතර ඇති පරිසරය යනුවෙන් හඳුනාගත හැකිය. සමීක්ෂණවලින් පෙනී ගොස් ඇත්තේ ශ්‍රී ලංකාව තුළ ගෘහ ප්‍රචණ්ඩත්වය පවුල් සීයක් ගතහොත් ඉන් පවුල් 65 මීට ගොදුරු වී ඇති බවයි. සෑම පවුල් 3කින්ම එක් පවුලක් මත්පැන් රකුසාට ගොදුරැ වී ඇත. හෙරොයින්වලට ඇබ්බැහි වූ සංඛ්‍යාව පනස්දහස ඉක්මවා යයි. දැනට වේගයෙන් පැතිර යන අලුත්ම සංස්කෘතිය ගංජා හෙවත් කංසාවලින් නිර්මාණය වී තිබේ. ඉහත කී පරිසරාත්මක සාධක ප්‍රචණ්ඩත්වය, ආවේගශීලී බව, හැඟීම් සහ ආදරය අඩු වී හුදෙකලා බව යනාදී වශයෙන් මනස පිරිහීමට බලපාන මනෝ විද්‍යාත්මක සාධකවලින් පිරී තිබේ. දරුවා අත් විඳින්නේ මේ පරිසරයයි. දරුවා මත් ද්‍රව්‍ය, මත්පැන් සහ ප්‍රචණ්ඩත්වයට යොමු කරන්නේ මේ පරිසරයයි. ඇල්බට් බන්දුරා නම් ශ්‍රේෂ්ඨ මනෝ විද්‍යාඥයා නීරීක්ෂණය මඟින් ඉගෙනීම (Observational Learning) නමින් හැඳින්වූයේ මෙයයි.
අද අපි ප්‍රචණ්ඩත්වය පිළිබඳව තවත් ගැඹුරින් සලකා බලමු. මානසික රෝගී තත්ත්වයන් හා ප්‍රචණ්ඩත්වය අතර සම්බන්ධතාවයක් තිබෙනවාද? යම් කිසි පුද්ගලයෙක් ප්‍රබල මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන්නේ නම් සැබැවින්ම ඔහු හෝ ඇය ප්‍රචණ්ඩද? බොහෝ සමීක්ෂණවලට අනුව පෙනී යන්නේ මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන බොහෝ දෙනා සැබැවින්ම අහිංසක බවය. නමුත් යම්කිසි මානසික රෝගියකු නිසි ප්‍රතිකාර නොලැබීම, සමාජය තුළ පවතින විශ්වාස සහ ආකල්ප නිසා තනිවීම, මත්පැන් සහ මත් ද්‍රව්‍ය වැනි නොයෙකුත් දෑට ගොදුරු වීම නිසා සාමාන්‍ය පුද්ගලයකුට වඩා ප්‍රචණ්ඩ වීම විය හැකි බව සොයාගෙන තිබේ. සත්‍ය කතා කීපයක් ඇසුරැ කරගෙන මේ පිළිබඳව අපි සොයා බලමු.

භින්නෝන්මාදය ප්‍රබල මානසික රෝගයකි. මෙය බොහෝ විට ජානවලින් සම්ප්‍රේෂණය වන රෝගයකි. මෙවැනි රෝගියකු නිසි ප්‍රතිකාරවලට යොමු නොවීම හෝ මත්ද්‍රව්‍ය හෝ මත්පැන්වලට ඇබ්බැහි වීමෙන් ප්‍රචණ්ඩකාරී හැසිරීමකට ගොදුරු විය හැකි බව සමීක්ෂණවලින් තහවුරු වී ඇත. මෙවැනි රෝගියකු එසේ ප්‍රචණ්ඩ විය හැකි ප්‍රවණතාවය සාමාන්‍ය පුද්ගලයකුට වඩා දහ ගුණයකින් පමණ වැඩි බව විශේෂඥයෝ පෙන්වා දෙති. මෙවැනි අපරාධයක ස්වරෑපය සොයා බලමු.

සුනිල්ගේ වයස අවු. 35යි. ඔහු භින්නෝන්මාදය නැමැති මානසික රෝගී තත්ත්වයට ගොදුරැ වන විට ඔහුගේ වයස අවු. 20යි. සුනිල්ට මෙම රෝගී තත්ත්වය නිසා ඇති වූ ප්‍රධානම මානසික ගැටලුව වූයේ සැකයයි. අනෙක් අය ඔහුට විරැද්ධව කුමන්ත්‍රණයක් කරන බව, සිතුවිලිවලින් වගේම ශබ්දවලින් ඔහුට දැනුණි. මේ සඳහා නිසි ප්‍රතිකාර ගෙන මෙම රෝග ලක්ෂණ අවම කරගෙන රැකියාවක් ද කරමින් සුනිල් හොඳ ජීවිතයක් ගත කරමින් සිටියේය. සුනිල්ව රෝහලට ගෙන යාම, නිසි ලෙස ප්‍රතිකාර දීම යනාදී සියලුම දේ කළේ ඔහුගේ පියාය. ඉතාම අවාසනාවකට සුනිල්ට අවු. 30 වන විට ඔහුගේ පියා හෘදයාබාධයකින් මිය ගියේය. ඔහු තම රෝගයට ප්‍රතිකාර ගැනීම ද ක්‍රමයෙන් නැවතී ගියේය. ඔහුගේ රෝග ලක්ෂණ ද ක්‍රමයෙන් මතුවන්නට පටන් ගැනුණි. සැකය වැඩිවිය. මව තම ආහාර වේලට වස දමා දෙනවා යැයි ඔහු විශ්වාස කළේය. ගෙදරින් කෑම ගැනීම ද ඔහු නතර කළේය. ඔහුගේ කෑම ගැනීම ද ඔහු නතර කළේය. ඔහුගේ නින්ද ද අඩු විය. ටිකෙන් ටික දරැණු විය. දිනක් මව සමඟ ඇති වූ රණ්ඩුවකදී ළඟ තිබුණු දොර පොල්ලක් රුගෙන මවට දරැණු ලෙස පහර දුන්නේය. මව මරණයට පත්විය. ඔහුගේ ජීවිතය තවදුරටත් අවුලෙන් අවුලටම පත්ව ගියේය. ඔහුගේ රුකියාව ද නැති විය.

ප්‍රචණ්ඩත්වයට හේතු වන තවත් ප්‍රබල රෝගයකි දිවි ද්‍රැව රෝගය (Bipolar Disorder). මෙම රෝගය ප්‍රධාන වශයෙන්ම ජනවලින් සම්ප්‍රේෂණය වේ. මෙම රෝගී තත්ත්වය ජානමය ලෙස සැලකීමට ප්‍රධානම සාක්ෂිය වන්නේ සම ජාතීය නිවුන්නු ගත් විට එක් අයකු දිවිද්‍රැව රෝගයට ගොදුරු වුවහොත් අනෙකා එයට ගොදුරැ වීමට ඇති හැකියාව 65% - 08%ත් අතර වේ. දිවි ද්‍රැව රෝගය චමත්කාරජනක අසනීපයකි. කලකට අසාමාන්‍ය සතුට, අධික ජවය, අසාමාන්‍ය වියදම් කිරීම්, නින්ද නොයාම, අධික ක්‍රියාකාරීත්වය සමඟ පාලනය කළ නොහැකි ප්‍රචණ්ඩ හැඟීම් ජනිත විය හැකිය. තවත් කලෙක අධික හෝ අසාමාන්‍ය දුකකට ගොදුරැ වන මෙම රෝගියා සියලුම ක්‍රියාකාරකම් බිඳ වැටී, ජීවිතය එපා වී සියදිවි නසා ගැනීමේ සිතුවිලිවලට යයි. දිවි ද්‍රැව රෝගියකු ඉතා පහසුවෙන් මත්පැන් මත්ද්‍රව්‍ය වැනි දේට ගොදුරු විය හැකිය. මත්පැන් සහ මත්ද්‍රව්‍ය සමඟ මෙම රෝගී තත්ත්වය හා ප්‍රචණ්ඩත්වය උත්සන්න විය හැකිය. මෙය සත්‍ය කතාවක් ඇසුරෙන් විමසා බලමු.

ඇගේ නම සුනේත්‍රා. වයස අවු. 35යි. සුනේත්‍රා දිවි ද්‍රැව රෝගයට ගොදුරැ වන විට ඇගේ වයස අවු. 20යි. ඉන් පසු නිසි ප්‍රතිකාරවලට යොමු වී රෝගී තත්ත්වයට පාලනය කරගෙන ලිපිකාරිණියක ලෙස රුකියාවක ද නිරත විය. විවාහ නොවී සිටි සුනේත්‍රා ජීවත් වූයේ තම මව සමඟය. ඇයට අවු.32 වන විට මම හෘදයාබාධයකින් මිය ගියේය. ඇගේ ජීවිතය හුදෙකලාවට වැටුණි. ක්‍රම ක්‍රමයෙන් මත්පැන් ගැනීමට යොමු වුණු සුනේත්‍රා තරුණයකු සමඟ සම්බන්ධතාවයක් ද ගොඩනගා ගත්තේය. ඇගේ ඖෂධ ගැනීම ද ක්‍රම ක්‍රමයෙන් නතර විය. ඉතාමත්ම සුළු දෙයකින් දැඩි කෝපයට සහ කිපෙනසුළුභාවයට පත් ඇය හැඟීම් පාලනයට අසමත් විය. ඒ සමඟම ඇයට දැඩි සැකය නැමති මානසික තත්ත්වයක් ද නිර්මාණය විය. ඇයගේ ආදරණීය පෙම්වතා පිළිබඳව ද ඇයට සැකය ඇතිවිය. මේ දරැණු සැකය නිසා දෙදෙනා අතර නිතරම රණ්ඩු දබර ඇතිවිය. දිනක් මෙසේ ඇතිවුණු ගැටුමකදී ගෙදර තිබූ තියුණු ආයුධයකින් තම පෙම්වතාට පහර දී ඔහුට බරපතල ලෙස තුවාල වී ඔහුට මසකට වඩා රෝහල්ගත වන්නට විය.

දැවි ද්‍රැව රෝගයට නිසි ප්‍රතිකාර නොලැබුණොත් මත් ද්‍රව්‍ය, මත්පැන්වලට ගොදුරැ වීමත්, හැඟීම් පාලනය කරගත නොහැකි ලෙස ප්‍රචණ්ඩ වීමත් මෙම කතාව ඇසුරෙන් ඔබට පැහැදිලි වේ.

ප්‍රචණ්ඩත්වයට මනස පොළඹවන තවත් අපූරු රෝගයකි මායාකාරී (Delusimal Disorders) රෝගය. මෙම රෝගයේ ප්‍රධානම ලක්ෂණය වනුයේ දැඩි සැකය හෙවත් අවිශ්වාසයයි. මෙම සැකය හෝ අවිශ්වාසය හෝ දැඩි ඊර්ෂ්‍යාව සත්‍ය කරුණු මත පදනම් නොවූ සිතුවිලිය. ඒවාට විරැද්ධව යමක් ප්‍රකාශ කිරීම හෝ ඒවා එසේ නොවේ යැයි මෙම රෝගියාට තහවුරු කිරීම ලේසි පහසු නැත. මන්ද ඔවුන් මෙම සිතුවිලි තුළ ගිලී ඒවා තදින් විශ්වාස කිරීම නිසයි. මෙම රෝගය සයිකෝසියාව (Psychosis) නැමැති රෝගී ගණයට වැටෙන ප්‍රබල මානසික රෝගයකි. 

මායාකාරී රෝගය (Delusional Disorders) යමකු ප්‍රචණ්ඩත්වයට යොමු විය හැකි තවත් දරැණු මානසික රෝගී තත්ත්වයකි. මෙවැනි රෝග බොහෝ විට ප්‍රතිකාරවලට යොමු නොවී අවසානයේදී නොයෙකුත් භයානක ප්‍රතිඵල ගෙන දීමට හේතු වන්නේ මානසික රෝග පිළිබඳ අපගේ දැනුම අල්ප වීමත් ඒවා පිළිබඳ ඇති මිත්‍යා විශ්වාසයන් තුළ අප ගිලී සිටින නිසාත්ය.

කිරිබත්ගොඩ මූලික රෝහලේ 
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක

 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30