2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා

වියරු වැටුණ යෞවනයෝ!

 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 131

ප්‍රචණ්ඩත්වය අද හැමදෙනාගේම මුවග රැඳුණු නිතර සාකච්ඡාවට භාජනය වන වචනයකි. මෙම මාතෘකාව කලින් කලට අලුත් වෙමින් නොයෙකුත් ස්වරූපයෙන් පුවත් මවමින්, ඇඟ කිළිපොලා යන දර්ශනවලින් සමන්විත අප සිත් කළඹන්නකි. ප්‍රචණ්ඩත්වය යනු කුමක්ද? යම්කිසි පුද්ගලයකුට තවත් පුද්ගලයකු විසින් දරුණු ලෙස ශාරීරිකව හෝ මානසිකව සිදුකරන හානියක් ප්‍රචණ්ඩත්වය ලෙස සැලකිය හැක. යම් කිසිවකු තම ජීවිතයට හානිකර ගැනීම හෝ හානිකර ගැනීමට තැත් කිරීමද තවත් ආකාරයකට ප්‍රචණ්ඩත්වයකි.

ප්‍රචණ්ඩත්වය ගැන ගැඹුරින් සලකා බැලීමේදී කණ්ඩායම් වශයෙන් කරන ක්‍රියාවන්ද මීට අයත්ය. දේශපාලන ප්‍රචණ්ඩත්වයද මීට අයත්ය. රාජ්‍ය ත්‍රස්තවාදය සහ රාජ්‍ය නොවන ත්‍රස්තවාදයද මීට අයත්ය. යම්කිසි රජයක් විසින් රටක් තුළ විශාල දේශපාලන කලබගෑනියක් ඇතිකර එම රටේ ආර්ථිකය විනාශ කර රට දුප්පත් කරන්නේ නම් එයද එක්තරා ආකාරයක ප්‍රචණ්ඩත්වයකි.

අපි මෙම ලිපිය තුළ ශාරීරික ප්‍රචණ්ඩත්වයේ ස්වභාවය ගැන ගැඹුරින් සලකා බලමු. ඉතා මෑතකදී මාතර නගරයේදී එක් සිසුවකු ඉතා තියුණු ආයුධයකින් තමාගේම මිතුරකුට පහර දී මරණයට පත් කිරීම සහ එම දර්ශන CCTV තුළ කැමරාගත වූ නිසා රට තුළ මහත් ආන්දෝලනයක් මෙන්ම, ඇයි මෙහෙම වෙන්නේ යන සිතුවිල්ලද සැමදෙනා තුළම කුතුහලයක් ගොඩනැගුවේය.

ප්‍රචණ්ඩත්වය ගැඹුරු ලෙස මනෝ විද්‍යානුකූලව පරීක්ෂා කළ යුතු විෂයකි. මාතර සිද්ධියේදී ප්‍රචණ්ඩව සහ වියරැවෙන් හැසිරෙන මෙම තරුණයා මීට පෙරද ඒ හා සමාන දරුණු ක්‍රියා වන විදුහල්පතිට පහරදීම, එම විදුහලේ ශිෂ්‍ය නායකයකුට පහරදීම, බස් කොන්දොස්තරවරයකුට පහරදීම වැනි ක්‍රියාවල යෙදී ඇති අතර අධ්‍යාපනයද කඩාකප්පල් කරගත් විදුහලෙන් නෙරපා දමා ඇති ශිෂ්‍යයෙකි. පිහි වැනි ආයුධ එකතු කිරීම මොහුගේ විනෝදාංශයක්ද වී ඇති බව හෙළි වී තිබේ. කුඩා කල සිට හුරතල් වෙමින් මලක් සේ හැදුණු දරුවකු මෙසේ විය හැකිද?

ඔබ ජීවත් වන පරිසරය, ඔබේ දරුවා පහසුවෙන් ප්‍රචණ්ඩත්වයට ගොදුරු විය හැකි සාධකවලින් පිරී තිබිය හැක. ඇල්බට් බන්දුරා නම් මනෝ විද්‍යාඥයා මේ ගැන ගැඹුරින් අධ්‍යයනය කළ අමෙරිකානු මනෝ විද්‍යාඥයෙකි. ඔහුගේ බාබි ඩෝල් (Barbie doll game) පරීක්ෂණය මීට කදිම නිදසුනකි. ඔහු මෙහිදී කළේ කුඩා දරුවන් කණ්ඩායමක් කාමරයකට දමා ළමයි පිරිසක් ප්‍රචණ්ඩව හැසිරෙන, එකිනෙකාට ගහගන්නා චිත්‍රපටයක් පෙන්වීමයි. ඉන් පසු චිත්‍රපටය පෙන්වීම නවතා එම කාමරයේ චිත්‍රපටය නැරඹූ දරුවන්ගේ හැසිරීම නිරීක්ෂණයට ලක් කර තිබේ. එම නිරීක්ෂණයෙන් පෙනීගොස් ඇත්තේ මෙම ප්‍රචණ්ඩ චිත්‍රපටය නැරඹීමෙන් පසු මෙම දරුවන් ඒ ආකාරයට එකිනෙකාට පහරදෙමින් හැසිරී ඇති බවය. මෙම නිරීක්ෂණයෙන් පසු ඇල්බට් බන්දුරා නම් මනෝ විද්‍යාඥයා අලුත් සොයාගැනීමක් ලෝකයට ඉදිරිපත් කළේය. එය නම් සමාජය තුළ දකින දෙයින් දරුවා ඉගෙනීමයි. (Social learning Theory) 

දරුවකු හදා වඩා ගැනීමේදී ඔබගේ හැසිරීම, ගෙදර පරිසරය, අවට පරිසරය, පාසල් පරිසරය ප්‍රචණ්ඩත්වයෙන් තොරව තිබීමේ වැදගත්කම ඔබට පැහැදිලි වේ. අපි මෙය උදාහරණ කිහිපයකින් පැහැදිලි කර ගනිමු.

ආදරණීය බවක් නැති අනාරක්ෂිත පරිසරයක හැදෙන දරුවන් ප්‍රචණ්ඩත්වයට යොමුවිය හැකි බව සමීක්ෂණවලින් තහවුරු වී ඇත. ඔබ මොන තරම් කාර්යබහුල ජීවිතයක් ගත කළත් දරුවාට ළංවීමට, දරැවා සමඟ යම් කාලයක් ගත කිරීමට, ඔහුගේ හැඟීම් බෙදාගැනීමට අමතක නොකළ යුතුය.

සුමේධගේ කතාව

සුමේධගේ වයස අවුරුදු 15 යි. ශිෂ්‍යත්වය හොඳින් සමත් වී කොළඹ පාසලක ඉගෙනුම ලබන දරුවෙකි. මෙම දරුවා අපට යොමු වූයේ එම පාසලේ විදුහල්පති මගිනි. විදුහල්පති අප වෙත යොමුකළ ලිපියේ මෙසේ සඳහන් විය.

අම්මා සමඟ අපට යොමුවූ සුමේධ, වෙනම කාමරයකට ගෙන ගොස් තනිවම කතා කිරීමට ඉඩ සැලසුවෙමු. ඔහු මෙසේ කීවේය.

මම ඩොක්ටර්ට ඇත්තම කියන්නම්. මට හරියට තරහ යනවා. මගේ හැඟීම් මට පාලනය කරගන්න බෑ. මට තරහ ගියාම සමහරවිට බ්ලේඩ් තලයක් අරගෙන මගේ අත කපාගන්නවා. ඇත්තටම එහෙම කපාගත්තට ලේ දකිනකොට මට හරි සහනයක් දැනෙනවා. මම ගෙදර ඉන්න ආසම නැහැ. මම ආස යාළුවොත් එක්ක ගෙදරින් එළියට ගිහින් කාලය ගත කරන්න. මගේ තාත්තා අරක්කු බොනවා. ඒත් එහෙම බීවට ඉස්සර නම් රණ්ඩු වුණේ නැහැ. දැන් නම් බීල ගෙදර ඇවිල්ලා රණ්ඩු වෙලා අම්මට ගහනවා. තාත්තා අම්මව සැක කරනවා. අම්මට වෙන මිනිහෙක්ගෙ නමක් කියල පාවාදෙනවා. ඒත් මම දන්නවා අම්මගෙ එහෙම කිසිම සම්බන්ධයක් නැහැ කියලා. මේ ගෙදර පරිසරය මට මහ දුකක්, බයක් වගේම පීඩනයක් ඇතිකරලා තියෙනවා. මට නිතරම හිතෙනවා, මට කවුරුත් නැහැ කියලා. මට හිටිහැටියේ කියාගන්න බැරි අසාමාන්‍ය පාළුවක් දැනෙනවා. මම දෙසැරයක්ම පෙති වගයක් බීලා මගේ ජීවිතේ නැතිකරගන්න උත්සාහ ගත්තා. එතකොට අපේ තාත්තා කීවෙ උඹ මැරිල ගියා නම් හොඳයි කියලා.

ගෘහ ප්‍රචණ්ඩත්වය, දෙමාපියන්ගේ මානසික ගැටලු අවසානයේදී දරුවන් නොයෙකුත් පෞරැෂභින්නතාවයන්ට ගොදුරු කරයි. ප්‍රචණ්ඩත්වය මේ ගොදුරුවීමේ එක් ප්‍රතිඵලයකි. මාර්ෂා ලෙනිහෑන්ස් (Marsha Linehan) මේ පිළිබඳ ගැඹුරින් පරීක්ෂණ කළ මනෝ විද්‍යාඥවරියකි. මෙම විද්‍යාඥවරියට අනුව දරැවාගේ හැඟීම් තේරැම් නොගැනීම, හැඟීම් බෙදානොගැනීම වැනි පරිසරයක් තුළ ප්‍රචණ්ඩකාරී පෞරැෂයකට දරැවකු ගොදුරැ විය හැක. මෙහි එන සුමේධගේ පියා දිගටම මත්පැන් ගැනීම නිසා සැකය නැමති මානසික රෝගයට ගොදුරු වී ඇති පුද්ගලයෙකි. ඔහු නිසි ලෙස කිසි කලට ප්‍රතිකාරවලට යොමු වූයේ නම් සුමේධව මෙවැනි ප්‍රචණ්ඩ මානසික රෝගී තත්ත්වයකට ගොදුරැ නොවන්නට ඉඩ තිබුණි.

ළමා කාලයේ සමහර මානසික ගැටලු නිසි ලෙස හඳුනාගෙන ප්‍රතිකාර සහ උපදේශනයට යොමුකිරීමෙන් පසු කාලීනව ඇතිවිය හැකි ප්‍රචණ්ඩ ක්‍රියාවන් අවම කළ හැකි බව මනෝ විද්‍යාඥයන් සොයාගෙන ඇත.

මින් ප්‍රධානම අසනීපය නම් බොහෝ දරුවන් තුළ අවුරුදු 7ට ප්‍රථමව විද්‍යාමාන වන අධි ක්‍රියාකාරීත්වය සහ ඌන අවධානය නම් රෝගයයි. මෙවැනි දරැවන් 5% - 10%ක පමණ ප්‍රමාණයක් ප්‍රජාව තුළ සිටිය හැක. මෙවැනි දරුවකුගේ කුඩා කාලයේ හැසිරීම් රටාවන් නිසි ලෙස අවබෝධ කරගත හොත් නිසි ප්‍රතිකාරවලින් සහ උපදේශනයෙන් යථා තත්ත්වයට ගත හැකි බව සමීක්ෂණවලින් තහවුරු වී ඇත. නමුත් මෙවැනි බොහෝ දරුවන්ගේ මෙම තත්ත්වය පන්ති කාමරය තුළදී හෝ නිවෙසේදී, ගුරැවරැ හෝ දෙමාපියන් විසින් අවබෝධ කර නොගනිති. මෙවැනි දරුවකු කුඩා කාලයේදී හඳුනා නොගෙන ප්‍රතිකාරවලට යොමු නොවුණහොත් ඉන් 50%ක් පමණ දෙනා කන්ඩක්ට් රෝගය (Conduct disorder) නැමති තත්ත්වයට ගොදුරු විය හැක. මෙම රෝගයේ ලක්ෂණ අපි බලමු. එනම් බොරු කීම, සොරකම් කිරීම, වංචා සහගත ක්‍රියාවල යෙදීම මෙන්ම ප්‍රචණ්ඩ හැසිරීම්වලට යොමුවීම වැනි ලක්ෂණය. මෙම තත්ත්වය තවදුරටත් වැඩිදියුණු වී මත්ද්‍රව්‍ය, මත්පැන් සමඟ අපරාධ මානසිකත්වයකට නොදැනුවත්වම යොමුවිය හැකිය. සමාජ විරෝධී පෞරුෂයක් ගොඩනැගීමටද මෙය එක් හේතුවකි. මෙවැනි දරැවන් කුඩා කාලයේම හඳුනාගෙන ප්‍රතිකාර සඳහා මනෝ වෛද්‍යවරයකු වෙත යොමුකළ යුතුය. 

හඳුනාගැනීමේ ලක්ෂණ

කකුල් වේගයෙන් සෙලවීම, කිසිම තේරැමක් නැතිව පන්තියේ ඇවිදීම, නිතර අනිත් අයට බාධා කිරීම, තේරුමක් නැතිව කතා කිරීම, එක තැනක විනාඩි 5ක් සිටිය නොහැකි වීම, පන්තියට ගෙන යන පෑන් පැන්සල් ආදිය නිතර නැතිකර ගැනීම, නිතර උස් ස්ථානවල නැගීම, තමාගේ අවස්ථාව එනතුරැ සිටීමට නොහැකි වීම, ළඟ සිටින අයට නිතර කරදර කිරීම, කේන්ති යාම සහ නුරුස්සන බව.

මේ කරුණු හැදෑරීමේදී ප්‍රචණ්ඩත්වය ඇතිවීමට පරිසරය සහ මානසික ගැටලු බලපාන බව හොඳින් පැහැදිලි වේ. 

කිරිබත්ගොඩ මූලික රෝහලේ 
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30