2016 දෙසැම්බර් 18 වන ඉරිදා

නෑදෑකම් නොතකන ලෙඩේ

 2016 දෙසැම්බර් 18 වන ඉරිදා, පෙ.ව. 12:00 234

 

පසුගිය දිනක පාසල් ශිෂ්‍යාවක් මා වෙත ලිපියක් එවා තිබුණාය. එහි සාරාංශය මෙසේය.

“වෛද්‍යතුමනි, පාසලේදී මා පිරිමි ළමයෙකු සමඟ ආදර සම්බන්ධතාවක් පැවැත්වූවා. එය අපේ ගෙදරට ආරංචි වුණා. ගෙදර අය ඒ සම්බන්ධතාවට විරුද්ධයි. ඒ නිසා එය වහාම නවත්වන්න කිව්වා. ඒත් එය නවත්වන්න මට බැරි වුණා.
මගේ තාත්තා මිය ගිහින්. අම්මා තමයි ගෙදර ප්‍රධානියා. තාත්තා කරපු රැකියාව දැන් කරන්නේ ලොකු අයියා. එයා තමයි අපට කන්න හම්බ කරලා දෙන්නෙ. අයියා කියන දේකට පිටින් අම්මා යන්නෙ නැහැ.

පාසලේදී ඇතිවූ ප්‍රේම සම්බන්ධය නතර නොකරපු නිසා ලොකු අයියාගේ කීම පිට අම්මා මා ගෙදර නතර කරගත්තා. අම්මා වීවින් එකේ වැඩට යනවා. ලොකු අයියා වඩු මඩුවෙ වැඩ කරනවා. දහවල් කාලයේ ගෙදර ඉන්නෙ මමයි, ලොකු අයියයි විතරයි. දැන් මම ලොකු ප්‍රශ්නෙකට මැදිවෙලයි ඉන්නෙ. ලොකු අයියා මා සමඟ බලෙන් ලිංගික සම්බන්ධතා පවත්වන්න එනවා. මේ ගැන මම අම්මට කිව්වත් ඇය කීයටවත් එය විශ්වාස කරන එකක් නැහැ. අනික අම්මා ලොකු අයියට ගොඩක් ආදරෙයි.

වෙලාවකට මට ගෙදරින් පැනලා යන්න හිතෙනවා. ඒත් මම කොහේ යන්නද? පැනලා ගියොත් රට්ටු කියාවි වෙන කතාවක්. මා පාසලේ යාළුවෙලා හිටපු පිරිමි ළමයා එක්ක පැනලා ගියා කියලා කියාවි. ඒත් ඒ සම්බන්ධය දැන් නතරවෙලා. වෙලාකවකට මට හිතෙනවා සියදිවි හානිකර ගන්න. ඊට පෙර ඔබතුමාට මේ ලිපිය ලියා උපදේශයක් ලබාගන්න හිතුණා. මා කළ යුත්තේ කුමක්ද?

එකම පවුලේ සාමාජිකයන් අතර ලිංගික සම්බන්ධතා පැවැත්වීම ව්‍යභිචාරය ලෙස හැඳින්වේ.
පවුලක් තුළ ස්වාමි පුරැෂයා සහ භාර්යාව අතර වන ලිංගික සම්බන්ධතාව හැර අන් කිසිදු පවුලේ සාමාජිකයන් අතර ලිංගික සම්බන්ධතාවක් පැවැත්වීම සඳහා බොහෝ සමාජ තුළ අවසර ලැබෙන්නේ නැත.

මා ඉහත සඳහන් කළ ලිපියෙන් හෙළිදරව් වන්නේ එකම පවුලේ සහෝදරයා සහ සහෝදරිය අතර ඇතිවූ ලිංගික සම්බන්ධතාවයකි. මව මැදපෙරදිග ගිය විට පියා තම දියණිය සමඟ ලිංගික සම්බන්ධතා පැවත්වූ අවස්ථාවන්ද, මවගේ සොහොයුරා (මාමා) ඇයගේ දුව (ලේලිය) සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්වූ අවස්ථාවන්ද අප දැක තිබේ. මව සහ පුතා අතර ඇතිවිය හැකි ලිංගික සම්බන්ධතාවද ව්‍යභිචාරය යටතට ගැනේ.

ව්‍යභිචාරය සඳහා තහංචි පැනවීම සම්බන්ධයෙන් විවධ ජන සමාජ අතර වෙනස්කම් පැවතීමටද පුළුවන. උදාහරණයක් ලෙස සමහර බටහිර සමාජ තුළ තම ඇවැස්ස නෑනා සමග විවාහ වීම ව්‍යභිචාරයක් ලෙස සැලකුණත් ශ්‍රී ලාංකීය සිංහල බෞද්ධ සමාජය තුළ තම පියාගේ සොහොයුරියගේ හෝ මවගේ සහෝදරයකුගේ දරුවකු (ඇවැස්ස නෑනා සහ මස්සිනා) සමඟ විවාහ වීම සමාජ සම්මතයක් බවට පත්වී තිබේ. එහෙත් තාත්තාගේ සහෝදරයාගේ හෝ අම්මාගේ සහෝදරියගේ දරුවකු (ඇවැස්ස සහෝදරයා හෝ සහෝදරිය) සමඟ විවාහ වීම සම්බන්ධයෙන් තහංචි පනවා තිබේ. ප්‍රවේණි විද්‍යාත්මකව බැලූ විට නම් එම විවාහයෙන් දෙවර්ගය අතර කිසිදු වෙනස්කමක් නැත.

ඉන්දියානු සම්භවයක් ඇති වතුකරයේ සේවය කරන සමහර හින්දු භක්තිකයන් අතර සම්මත වූ තවත් ව්‍යභිචාර විවාහ ක්‍රමයක් වේ. ඒ නම් තම මවගේ බාල නංගී සමග විවාහ වීමයි.

කෙසේ වෙතත් එකම පවුලේ සාමාජිකයන් අතර විවාහ වීම අද ලොව පුරා සියලුම සමාජයන් මගින් අනුමත කරනු නොලැබේ. එහෙත් ඊජිප්තුවේ පාරාඕ රජ පවුල්වල සහ හවායි දූපතේ රජ පවුල්වල සහෝදර සහෝදරියන් අතර විවාහ වීම් දැනට ශතවර්ෂ ගණනකට පෙර සිදුවී තිබේ. එසේ කර ඇත්තේ රාජ පෙළපතේ පිරිසිදු භාවය ආරක්ෂා කරගැනීම සඳහාය.

මෙහිදී සඳහන් කළ යුතු තවත් වැදගත් කරුණක් ඇත. එනම් එකම පවුලක සාමාජිකයන් අතර ස්වාභාවිකව ඇතිවන මානව ප්‍රේමය ප්‍රකාශ කිරීමේ සංකේතයක් ලෙස ස්පර්ශ කිරීම, සිප ගැනීම සහ එකිනෙකා වැළඳ ගැනීම ව්‍යභිචාරී ලක්ෂණයක් ලෙස නොසැලකිය යුතු බවයි. එමගින් පවුලේ සාමාජිකයන් අතර ආදර බැම්ම ශක්තිමත් වන අතර පවුලක යහපැවැත්ම සඳහා එය වැදගත් වේ.

මව විදේශ ගතවූ විට මාමා විසින් තම සොහොයුරියගේ දියණිය සමග සංසර්ගයේ යෙදීම නිසා හටගත් ව්‍යභිචාරය මා වෙත ඉදිරිපත් වුණේ අමුතු ආකාරයකටය. ඇයට එය තම පවුලේ සාමාජිකයන්ට පවසා ගත නොහැකි විය. එබැවින් ඇය හිස්ටීරියා තත්ත්වයට පත්වී සිහි නැතිවී විටින් විට බිම ඇද වැටුණි. දරුවාගේ අසනීප තත්ත්වය නිසා මව අරාබියේ සිට නැවත ලංකාවට පැමිණියාය. ඒ වනවිටත් මල්ලී නිසා තම දියණියගේ කුසයේ පිළිසිඳ ගත් දරුවාට මාස පහක් ගතවී තිබුණි. එය දැනගත් මවටද හිස්ටීරියාව වැළඳුණි.

මෙහිදී අප අවධානය කළ යුතු විශේෂ කරුණ නම් යම් නිෙවසක් තුළ ව්‍යභිචාරයක් සිදුවන්නේ නම් ගත යුතු ක්‍රියාමාර්ගය කුමක්ද යන්න පිළිබඳව දැනුම්වත් වී සිටීමයි. මා වෙත ලිපියක් ලියා එවූ පාසල් සිසුවිය දෙසට දැන් අපි හැරෙමු. ඇය කළේ නුවණක්කාර කමකි. තම පවුලේ සාමාජිකයන්ට මේ ගැටලුව ඉදිරිපත් කිරීමෙන් ඇති වන්නේ ව්‍යාකූල තත්ත්වයකි. එබැවින් පවුලට පිටස්තර විශ්වාසවන්ත ඒ පිළිබඳ සහකම්පනයෙන් ක්‍රියාකරන කෙනකුට එම තත්ත්වය දැනුම් දීම ඥානාන්විත ක්‍රියාවකි. මම ඇය වහාම සුමිත්‍රයෝ සංවිධානය වෙත යොමු කළෙමි. පවුල් සංවිධාන සංගමය මගින් පවත්වාගෙන යන ආලෝකය සහ කොළඹ පිහිටි සහනය නම් වූ ආයතන මෙවැනි අර්බුදකාරී තත්ත්වයන්ට මුහුණ දුන් අයට යොමුවිය හැකි ආයතනයන් කිහිපයකි.

උපදෙස්: විශේෂඥ වෛද්‍ය 
ආරියසේන යූ. ගමගේ

 

♦ සුගත්

 2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00