2016 අගෝස්තු 24 වන බදාදා

අධිකරිය පැත්තක බෙහෙත් මිල අහසට

 2016 අගෝස්තු 24 වන බදාදා, පෙ.ව. 12:00 32

රෝගියා ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වී සිටී. ඔහුට වෛද්‍යවරයා නියම කරන බෙහෙත් ගෙන ඒමට ෆාමසියට යන තැනැත්තා කීය කිව්වත් එම බෙහෙත මිලයට ගත යුතුය. එයට හේතුව ඖෂධය නියමිත වෙලාවට නොලැබුණහොත් අසරණ රෝගියා මරැ වැළඳ ගැනීමට ඇති ඉඩකඩ වැඩි බැවිනි. ඒ නිසා බෙහෙත පිළිබඳ කේවල් කිරීමට හෝ අඩු මිලට ඇති ස්ථානයක් සොය සොයා යාමට අවස්ථාවක් නොමැත.

 

මෙම සංවේදී තත්ත්වය අවබෝධ කරගෙන ඇති කූඨ ඖෂධ ජාවාරම්කාරයා කිසිම හේතුවක් නොමැතිව බෙහෙත්වල මිල ඉහළ දමයි. අද ඇති මිලට වඩා හෙට මිල වැඩිය. මෙලෙස මිල වෙනස් කිරීමට කිසිදු සාධාරණ හේතුවක් නැත. එකම හේතුව වැඩි ලාබ ලැබීමේ බඩජාරි අපේක්ෂාවය. දොස්තර ලියාදුන් බෙහෙතට වෙනත් විකල්පයක් නැත. ඒ වෙනුවට වෙනත් බෙහෙතක් ඉල්ලා ගත නොහැකිය. ආදේශකයක් නොමැත. අතේ වළල්ල හෝ කනේ කරාබු දෙක උගස් තබා අවශ්‍ය බෙහෙත නොඅඩුව සැපයිය යුත්තේ රෝගියා ගොඩගැනීම එකම අපේක්ෂාව නිසාය.
ජනතාව රජයේ රෝහල්වලට උදේ පාන්දර සිට පෝලිම් ගැහෙන්නේ පෞද්ගලිකව දොස්තරවරැන් හමුවී බෙහෙත් ගැනීමට වත්කමක් නැති නිසාය. එසේ වුවද රජයේ රෝහල් සහ බෙහෙත් ශාලාවලට පැමිණෙන රෝගීන්ට නොමිලයේ ලබාදෙන බෙහෙත්වලට අමතරව අවම වශයෙන් එක බෙහෙතක් හෝ පිටින් ගැනීමට තුණ්ඩුවක් ලියාදීමට වෛද්‍යවරැ පුරැදු වී සිටිති. ඇතැම් අය පවසන්නේ දොස්තරවරැන් බෙහෙත් නිෂ්පාදන ආයතන සමඟ සම්බන්ධතා ඇති නිසා එම බෙහෙත් වර්ග අලෙවිකර ගැනීමට මෙමගින් අනුග්‍රහය දක්වන බවය.


බොහෝ ප්‍රධාන පෙළේ ෆාමසිවල නිර්දේශ කරන බෙහෙත් පිළිබඳ සංඛ්‍යා ලේඛන ඒ ඒ දොස්තරවරැන්ගේ නම් යටතේ ලියාපදිංචි කර මසක් පාසා ඖෂධ සමාගම්වලට යවන බවද දැනගන්නට තිබේ.


මෙයට පෙර පැවැති ආණ්ඩු සමයේදී පවා වෛද්‍යවරැන්ට වෙළෙඳ නාමයෙන් බෙහෙත් නිර්දේශ කිරීම තහනම් කරන බව ප්‍රකාශ කළද එය තවමත් ක්‍රියාත්මක වන බවක් දක්නට නැත. මහාචාර්ය සේනක බිබිලේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය අනුව ප්‍රමුඛස්ථානය ලැබී ඇත්තේ රෝගීන්ට ඖෂධ නිර්දේශ කිරීමේදී එය ඖෂධීය නාමයෙන් පමණක් සඳහන් කිරීමේ නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමටය. මෙවැනි කොන්දේසියක් ඇතුළත් කළේ ඖෂධ නාමයෙන් නිර්දේශ කරන බෙහෙත් වර්ගවල මිල වෙළෙඳ නාමයෙන් නිර්දේශ කරන ඒවාට වඩා පහළ මට්ටමක තිබීම නිසාය. මෙයින් රෝගියාට මිල අඩු බෙහෙත් ලබාගැනීමට අවස්ථාව ලැබේ.
2017 ජනවාරි 01දා සිට රෝගීන්ගේ රසායනාගාර පරීක්ෂණ පිටත ස්ථානවලින් කිරීම තහනම් කරන බව සෞඛ්‍ය ඇමැතිවරයා කියයි. එසේ වුවද එම සේවය සැපයීම සඳහා රෝහල් පද්ධතිය ශක්තිමත් කරන බවක් නම් පෙනෙන්නට නැත. රජයේ රෝහල්වල සේවය කරන රසායනාගාර ශිල්පීන් බොහෝ දෙනා පෞද්ගලික රසායනාගාරවලද සේවය කරන බව ප්‍රකට රහසකි. ඔවුන් ඇතැම් විට රාජකාරිය කරන අතරතුර මෙන්ම සේවයෙන් මිදුනාට පසු පැය කිහිපයක් පෞද්ගලික අංශයේ සේවය කිරීමට පෙළඹී සිටිති. ඇතැම් විට දිනකට රෝහල් රසායනාගාරයේ කළයුතු පරීක්ෂණ සංඛ්‍යාව හිතා මතා අඩු කිරීමෙන් පෞද්ගලික ඒවාට වාසි සැලසෙන පරිදි කටයුතු කරන්නෝද වෙති.
CT Scan, MRI Scan සහ  X Ray මෙන්ම විවිධ රැධිර පරීක්ෂණද රජයේ රෝහල්වලින් නොමිලයේ කළ හැකි නමුත් ඒ සඳහා දිගු කාලයක් බලා සිටීමට රෝගියාට සිදුවේ. විශේෂයෙන්ම මහරගම පිළිකා රෝහලේ පවා රෝගීන් විකිරණ, රැධිර හා ශෛල පරීක්ෂණවල ප්‍රතිඵල ලබා ගැනීමට මාස ගණන් ගතවෙන බව පෙනෙන්නට තිබේ. ඒ නිසා රෝගියාගේ රෝග නිශ්චය කිරීම ප්‍රමාද වීමෙන් ඔහු මරැ වසඟයට යන දිනය වඩාත් ළංවනු ඇත.
එසේම රජයේ රෝහල්වල රැධිර, මුත්‍ර, මළ ආදී පරීක්ෂණ සඳහා අවශ්‍ය සුදුසුකම් ලත් නිලධාරීන් සිටියද බොහෝ ඒවායේ එම පරීක්ෂණ පෞද්ගලික ආයතන මඟින් සිදුකිරීමේ ප්‍රවණතාවක් දක්නට ඇත. රෝගීන් එම ආයතනවලට යොමුකිරීමේ ව්‍යාපාරයක්ද ඇති බව පෙනේ. රජයේ රෝහල් අවට බිහිවී ඇති පෞද්ගලික රසායනාගාර සංඛ්‍යාව දෙස බලන විට මෙය වඩාත් පැහැදිලිය. මේවායේ සුදුසුකම් ඇති ශිල්පීන් සිටීද යන්නද සැකයට තුඩු දෙන්නකි.
මෙරටට ආනයනය කරන ඖෂධ ලියාපදිංචි කිරීමේ වගකීම භාරව ඇති ඖෂධ නියාමන අධිකාරිය ජාතික ඖෂධ ප්‍රතිපත්ති පනත යටතේ බෙහෙත් මිල පාලනය කරන මිල සූත්‍රයක් හඳුන්වා දුන් බව ප්‍රකාශ වුවද තවම එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වී නැත. කොතැන හෝ අදෘශ්‍යමාන බලවේගයක් ක්‍රියාත්මක වන බවක් දක්නට ඇත. මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය අනුව ජාතික ඖෂධ පනත පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන, ඒ අනුව ස්වාධීන ඖෂධ නියාමන අධිකාරියක් ආරම්භ කර ඇතත් එයට බෙහෙත් මිල වැඩිවීම පාලනය කළ නොහැකිව ඇති බව අද අතිධාවනයෙන් ඉහළ යන මිල දෙස බැලූ විට සනාථ වේ.
වගකිවයුතු අය මේ පිළිබඳ කටයුතු කරන්නේ සෙමින් ගමනෙනි. මේ ප්‍රමාදයේ වාසිය ලැබෙන්නේ බෙහෙත් මුදලාලිලාටය.
සේනක බිබිලේ අනුස්මරණ සංවිධානයේ ජාතික සංවිධායක වෛද්‍ය ජයන්ත බණ්ඩාර:
&මේ රටේ බෙහෙත් මිල තීරණය කිරීමේ නිසි ක්‍රමවේදයක් නැහැ. එහි සම්පූර්ණ අයිතිය ඇත්තේ ඖෂධ සමාගම්වලටයි. එම ආයතන තමන්ට ඕනෑ හැටියට මිල ඉහළ දමා රෝගියා සූරාකනවා. වගකිව යුත්තන් නිහඬයි. ලොව වෙනත් දියුණු රටවල පවා බෙහෙත් මිල තීරණය කිරීමේ ප්‍රතිපත්තියක් තියෙනවා. රජය ඒ සඳහා නිර්ණායක ඉදිරිපත් කරනවා. එහෙත් අපේ රටේ එහෙම කෙරෙන්නේ නැහැ. එයින් ජනතාව හිරිහැරයට පත්වෙලා.
පසුගිය වසරේ සම්මත වුණු ජාතික ඖෂධ නියාමන පනත අනුව ඖෂධ මිල තීරණය කළයුතු බව කියනවා. දැනට එය සම්මත වෙලා අවුරැදු 1 ½ක් පමණ වෙනවා. එහෙත් අවාසනාවකට වගේ එය තවම ක්‍රියාත්මක වෙලා නැහැ. අක්‍රිය පනතක් ළඟ තියා ගැනීමෙන් වෙන වැඩක් නැහැ. සෞඛ්‍ය ඇමැතිවරයා පසුගියදා පැවසුවා මෙම දෙසැම්බර් වනවිට පනත අනුව ක්‍රියා කරලා මිල අඩුකරන බව. එහෙත් මෙතෙක් ඒ සඳහා වැඩපිළිවෙළක් හදලා නැහැ. මෙය සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ ඖෂධ නියාමන අධිකාරියේ වගකීමක්.*
ඔහු පවසන්නේ වර්තමාන සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍යවරයා මෙය ඉටුකිරීම ප්‍රමාද කරන බවයි. ඔහු ඖෂධ සමාගම්වලට අවශ්‍ය ලෙස කටයුතු කරන්නේ යැයි වෛද්‍ය ජයන්ත බණ්ඩර චෝදනා කරයි. අද වනවිට ජනතාවට ඖෂධයේ නියම මිලට වඩා 10-12 ගුණයක් ගෙවන්නට සිදුවන බව ඔහු කියයි.
සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය අනුව රෝගීන්ට අඩු මිලට නිසි ප්‍රමිතියෙන් යුතු බෙහෙත් සැපයිය යුතුයි. පසුගිය දිනවල මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළේ නැහැයි විශාල ඝෝෂාවක් නැගූ නමුත් අදටත් එය ක්‍රියාත්මක කර ඇත්තේ නමට පමණි. අද පවතින බෙහෙත් මිල දුප්පත් රෝගීන්ගේ ජීවිතවලට අහිතකර ලෙස බලපාන බව ඔහු කියයි. මෙය රෝගී ජීවිත සමඟ සෙල්ලම් කිරීමක් වන අතර බෙහෙත් මිලට ගත නොහැකිව කී දෙනකු මිය යන්න ඇතිදැයි ඔහු විමසයි. ආණ්ඩුව රජයේ ආරෝග්‍ය ශාලාවලට වඩා පෞද්ගලික රෝහල්වලට සලකන තත්ත්වයක් ඇතැයි ඔහු සැක පහළ කරයි. 2006 වසරේදී පෞද්ගලික රෝහල් නියාමනය කිරීමට ආණ්ඩුව පනතක් ගෙනා අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් රජයේ රෝහල් බිඳ වැටී පෞද්ගලික රෝහල් ඉස්මතු විය. මෙහිදී ආණ්ඩුව කටයුතු කර ඇත්තේ රෝගියා රජයේ රෝහල් වෙත නොව පෞද්ගලික රෝහල්වලට යොමු කිරීම සඳහාය. මේ පනත් දෙකෙන්ම රජයේ සෞඛ්‍ය සේවය සංවර්ධනය නොවන බව ඔහු පෙන්වා දෙයි.
ඔහු මෙසේද කියයි.
&සේනක බිබිලේ අනුස්මරණ පදනම ගොඩනැගී ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය (National Drug Policy) මතයි. මෙහි ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජිකයන් 50 පමණ සිටිනවා. එය නියෝජනය කළ ක්‍රියාකාරියෙක් වන මහාචාර්ය ක්‍රිශාන්ත වීරසූරිය පසුගිය සමයේ මාරැකර සභාපති තනතුරට අලුතෙන් මහාචාර්ය අසිත ද සිල්වා පත්කළා. මෙම පත්වීමට එරෙහිව දැනට අධිකරණයේ නඩු දෙකක් පවරා තිබෙනවා. මෙම මහාචාර්යවරයා ඖෂධ සමාගම්වලට සම්බන්ධ පුද්ගලයෙක්. &රෙමඩියන් 1* යන ප්‍රකට ඖෂධ සමාගමේ ඔහුගේ බිරියට කොටස් තිබෙනවා. මෙම පත්වීමට එරෙහි වී ඇත්තේ ඒ නිසයි. ඔහුගෙන් ඖෂධ සමාගම්වලට හැරැණු විට රෝගීන්ට යහපතක් සිදුවේ යයි සිතිය නොහැකියි.*
අද වනවිට රටේ ඖෂධ පිළිබඳ ගැටලු 4ක් පැන නැගී ඇති බව ඔහු කියයි.
1. රජයේ රෝහල්වල ඖෂධ හිඟය:
ආණ්ඩුව රෝහල්වලට අවශ්‍ය බෙහෙත් සහ උපකරණ ඇති තරම් නොසපයයි. ඒ නිසා නිතරම රෝගීන්ට පිටතින් ඒවා ලබාගැනීමට සිදුවේ. විශේෂයෙන් මිල වැඩි බෙහෙත් එලෙස පිටතින් මිලට ගැනීමට සිදුවීම රෝගියාට අසාධාරණයකි.
2. ඖෂධවල ප්‍රමිතිය බාලවීම:
නිසි ලෙස නියාමනය නොකිරීම නිසා බාල ඖෂධ ලැබීමේ ප්‍රවණතාව වැඩිවේ. මෙම තත්ත්වය පාලනය කළ යුත්තේ ජාතික ඖෂධ තත්ත්ව පාලන ආයතනය මගිනි. එහෙත් ඒ අයගෙන් එය ඉටු නොවන නිසා රටට ප්‍රමිතියෙන් බාල ඖෂධ පැමිණේ. ඒ සඳහා ශක්තිමත් ආයතනයක් නොමැතිවීම පාඩුවකි.
3. බෙහෙත් මිල පාලනයෙන් තොරවීම:
මිල පාලනය කිරීමට කිසිදු වැඩපිළිවෙළක් නොමැත. රෝගීන්ට අසාධාරණ මුදලක් ගෙවා ඖෂධ මිලට ගැනීමට සිදුව තිබෙන අතර ජාතික ධනයෙන් විශාල ප්‍රමාණයක් විදේශ ඖෂධ සමාගම් හරහා පිටරටට ඇදී යයි. අපට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය කළේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගිනුයි. මුල් කාලයේ විශාල ලෙස අමුද්‍රව්‍ය පිටරටින් ගෙන්වා මෙරට තුළ බෙහෙත් නිෂ්පාදනය කර අඩු මිලට ප්‍රමිතියෙන් ඉහළ බෙහෙත් දීමට හැකි විය. ඒ නිසා විදේශ විනිමය නාස්තියද අඩුවිය.
අපේ රටේ සංස්ථාව නිපදවන බෙහෙත් බාල යැයි පැවසීම අමූලික මුසාවකි. රාජ්‍ය ඖෂධ සංස්ථාව පෙර දිනවල ප්‍රමිතියෙන් ඉහළ බෙහෙත් වර්ග 60ක් නිෂ්පාදනය කළේය. දැන් සියල්ලම නැවතී පැරසිටමෝල් පෙත්ත පමණක් නිපදවන තත්ත්වයට පත්ව ඇත. &SPMC* යන වෙළඳ නාමයෙන් යුතු ශ්‍රී ලංකික බෙහෙත් අද නැත. මෙම බෙහෙත් නොමැති නිසා ඕනෑම කෙනෙකුට බාල බෙහෙත් ආනයනය කර වැඩිමිලට විකිණීමට හැකිව තිබේ. මිල තරගයක් නැතිවීම එයට හේතුවයි.
4. අවභාවිතය වැඩිවීම:
කිසිදු වෛද්‍ය නිර්දේශයක් නොමැතිව හිතුණූ හිතුණු පරිදි අනවශ්‍ය බෙහෙත් ගෙන්වීම සිදුවේ.  එසේම අද වනවිට වෛද්‍ය නිර්දේශ පවා නොමැතිව වෛද්‍ය වට්ටෝරැ නැතිව බෙහෙත් මිලට ගැනීමට හැකිව තිබේ. අවභාවිතය නිසා ප්‍රතිජීවක ඖෂධ ප්‍රති විරෝධී වෙයි. (Antibiotic Resisterey) රෝගය හඳුනානොගෙන &හිතලා* බෙහෙත් ගැනීම නිසා රෝගීන් අමාරැවේ වැටෙනු ඇත. ඇතැම් විටෙක ෆාමසියට යන රෝගියා රෝග ලක්ෂණ කියා බෙහෙත් ඉල්ලයි. එලෙස වැරදි බෙහෙත් පාවිච්චියෙන් රෝගියාට නැති රෝග වැළඳෙනු ඇත.
ඔහු පවසන්නේ බෙහෙත් වෙළෙඳුන් සියයට 200 සිට 800 දක්වා ලාබ ලබාගැනීමට පෙළඹී ඇති බවයි.
&මෙයට පරිසරය හදලා දෙන්නේ අමාත්‍යංශයයි. අමාත්‍යංශයට සම්බන්ධ ඇතැම් අය ඖෂධ සමාගම් සමඟ එකතු වී අසරණ රෝගියා ගසා කන අතර වගකිවයුත්තන් හදිසියේ නින්දෙන් අවදි වීමෙන් කරන ප්‍රකාශ විහිළු සපයන බව ඔහු කියයි. &ඇමැතිවරයා කියන දේවලට බාලගිරි දෝෂය වැළඳිලා* ඔහු පවසයි.
වර්තමානයේ නිර්මාණය වී ඇති තත්ත්වය පිළිබඳව නම සඳහන් කිරීමට අකමැති සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පැවසුවේ ඖෂධ මිල අත්තනෝමතික ලෙස ඉහළ ගොස් ඇති බව පිළිගන්නට සිදුව ඇති බවයි. මිල පාලනය පිළිබඳ කමිටුවක් දැනටමත් ක්‍රියාත්මකව ඇති අතර මේ පිළිබඳ නොපමාව පියවරක් ගත යුතු බව ඔහු කියයි.
 යසවර්ධන රැද්රිගු

 2017 ජුලි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ජුලි 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ජුලි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ජුලි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ජුලි 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00