2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා

බර වැඩ සමඟ එන එපා කරපු ලෙඩේ අස්ථිපර්වදාහය

 2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 791

සිරුරේ අස්ථි සහ සන්ධි අතර තිබෙන කාටිලේජ ගෙවීම නිසා සෑදෙන රෝගී තත්වයක් ලෙස අස්ථිපර්වදාහය. නමැති රෝගය හැඳින්විය හැකිය. ලොවපුරා මිලියන 250ක් පමණ රෝගීන් ප්‍රමාණයක් දනහිස් අස්ථිපර්වදාහයෙන් පෙළෙන බව 2010 සංඛ්‍යාලේඛන අනුව සොයාගෙන තිබේ. උකුල් ආශ්‍රිත අස්ථිපර්වදාහය ලෝක ජනගහනයෙන් 0.85%ක ප්‍රමාණයක් පීඩාවට පත්වේ. මෙය සිදුවන්නේ අස්ථිවල පවතින ප්රොටියොග්ලයිකන් ප්‍රමාණය අඩු වී කොලැජන් තන්තු බිඳීයාම නිසාය. මෙම තත්ත්වයට හේතු වනුයේ පෙර අනතුරු, සන්ධි විකෘතිවීම් සහ පාරම්පරික රෝගී තත්ත්වයන්ය. ස්ථුලතාවය සහ බරවැඩ සහිත රැකියා මෙම රෝගය සඳහා අවදානම් වේ. 

සුලබ රෝගී ලක්ෂණ
සුලබ රෝගී ලක්ෂණ වනුයේ සන්ධි වේදනාව සහ තද ගතියයි. මුල් අවදියේදී වේදනාව ව්‍යායායාම සමඟ ඇති වන අතර පසුව එය දිගටම පවති. මීට අමතරව සන්ධි ඉදිමීම සහ ඒවායෙහි ක්‍රියාකාරීත්වයද අඩු වේ. ඇඟිලි කෙළවර, මහපට ඇඟිල්ල මුල, ගෙල, කොන්ද, දණහිස සහ උකුල් සන්ධිවල සුලබව පවතී.

රෝග නිර්ණය
රෝග නිර්ණය සායනික පරික්ෂාවලින් දැනගත හැකි වන අතර එක්ස්රේ ඡායාරූප මගින් තහවුරු කරගත හැක. සන්ධි ද්වාර පරීක්ෂා කිරීමෙන් ඉදිමුමක් (inflammation) පවතීද යන වග හා ආසාදනයක් (infection) තිබේද යන්න සොයාගත හැකිවේ. රුධිර පරීක්ෂණ මඟින් මේ හා සමාන සන්ධි කැක්කුම් ගෙන දෙන රූමටොයිඩ් ආත්රයිටිස් රෝගය නොවන බවට තහවුරු කර ගතහැක.

ප්‍රතිකාර
මෙම රෝගී තත්ත්වයට ප්‍රතිකාර වශයෙන් රෝග ලක්ෂණ අවමකර ගැනීම සඳහා නියමිත බර පාලනය කිරීම, දිනපතා ව්‍යායාම කිරීම, (physiotherapy, yoga) සන්ධි ආධාරක පැළඳීම දැක්විය හැක.

නමුදු රෝග සන්තතිය අනෙක් අතට හරවා ගැන්මට දැනට හැකියාවක් නොමැත. වෘත්තීය චිකිත්සාවලට යොමුවීමෙන්, තම එදිනෙදා ක්‍රියාකාරකම්, රෝගී වූ සන්ධිවලට අවම පීඩනයක් දෙන ආකාරයෙන් කර ගන්නේ කෙසේද යන්න පිළිබඳ දැනුවත් විය හැකිය. මීට අමතරව වේදනා නාශක භාවිතා කළ හැක. මේවායින් සමනය නොවුණහොත් ශල්‍යකර්මයක්  මඟින්  සන්ධි ආදේශනය (joint replacement-arthroplasty) කළ හැකිය.
- Web MD