2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා

අමතක වෙන ලෙඩේ අමතක කරන හැටි

 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 375

අමතකවෙන ලෙඩේ නැත්නම් අල්ෂයිමර් කියන්නේ දරුණු ස්නායු රෝගයක්. මෙය වැළඳුණු පසු සම්පූර්ණයෙන්ම සුව කළ නොහැකි බව කියවෙනවා. මේ නිසා අප කළ යුත්තේ එය නොවැළඳෙන සේ ප්‍රවේසම් වීමයි. ඉතින් මේ දේවල් අනුගමනය කළොත්, ඇල්සයිමර් රෝගය නොවැළඳෙන බව විද්‍යාත්මකව තහවුරු වී තිබෙනවා.

• මෙමරි ගේම්ස්, ප්‍රහේළිකා හා ගණිත ගැටලු සමඟ නිතර අලුත් වෙන්න!

විනෝදයත් සමඟ මතක ශක්තිය වැඩි කර ගත හැකි හොඳම ක්‍රම වන්නේ මෙමරි ගේම්ස්, ප්‍රහේළිකා හා ගණිත ගැටලු විසඳීම වැනි ක්‍රියාවන්ය. නිතරම අලුත් දෙයක් ගැන ඉගෙන ගැනීමට උත්සාහ කරන්න. අලුත් භාෂාවක්, සංස්කෘතිය ගැන අලුතින් යමක් ඉගෙන ගන්න. පත්තර කියවීමට හුරු වන්න. මීට අමතරව හැමදාම එකම විදිහට කරපු දේවල් වෙනස් විදිහකට කරන්න උත්සාහ කරන්න. නිතරම එකම ක්‍රමයක් හෝ පිළිවෙළක් අනුගමනය කළොත් ඔබේ මොළය ක්‍රියාශීලි වන්නේ නැහැ. මේ නිසා සංඛ්‍යා අග සිට මුලට ලිවීම, දිනපතා නිරත වූ යමක් වෙනස් ආකාරයකට කිරීම, කබඩ් එකේ ෆයිල් තබන රටාව වෙනස් කිරීම, කරන වැඩ නුහුරු අතින් කිරීම වැනි යමක් කරන්න.

• තනිකමට හුරු වෙන්න එපා.

මිනිසා කියන්නේ ස්වාභාවිකවම සමාජය හා ගැටීමට බිහි වූ සත්වයෙක්. මිනිසා අවධානය ලබා ගැනීමට සහ සන්නිවේදනය කිරීමට ප්‍රිය කරනවා. මේ නිසා සමාජය හා එක්ව ඔබේ ජීවිතය ගත කරන්න. එසේ කිරීමෙන් මේ රෝගය වැළඳීමේ අවදානම අඩු වෙනවා. සමාජ ආශ්‍රය ඔබට උපකාරී වන්නේ ඇල්සයිමර් රෝගයෙන් බේරෙන්න විතරක්ම නෙවෙයි. එය ඔබේ මානසික ශක්තිය නඟා සිටුවන්නත් උපකාරී වෙනවා. වයස්ගත වීමත් සමඟ බොහෝ මිනිසුන් තනිවෙනවා. මෙයින් මිදීම සඳහා නව මිතුරන් ඇති කර ගන්න, සංවිධාන හෝ වැඩමුළුවලට සහභාගී වන්න, ස්වෙච්ඡාවෙන් සේවය කරන්න.

• ව්‍යායාම පුරුද්දක් ලෙස කරන්න

ව්‍යායාම කිරීම නිසා ඇල්ෂයිමර් රෝගය වැළඳීමේ අවදානම 50%ක්ම අඩු වන බව සනාථ වී තිබෙනවා. ව්‍යායාම නිසා සිරුරේ රුධිර සංසරණය ප්‍රාණවත් වන අතර, මොළය සුරකිනු ලබන රසායනිකයන්වල ක්‍රියාකාරිත්වය වර්ධනය වෙනවා. වයස්ගතවීමත් සමඟ මොළයේ ඇති වන දුර්වලතා වැළැක්වීමටත් ව්‍යායාම උපකාරී වෙනවා. සතියකට මිනිත්තු 150ක්වත් ඔබ ව්‍යායාම්වල නිරත විය යුතුයි. බර එසවීමේ ව්‍යායාම මඟින් මස්පිඩු සකස් වනවා සේම, මොළයේ ක්‍රියාකාරීත්වයත් වර්ධනය වෙනවා.

• ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න

ඇල්ෂයිමර් රෝගය වැළඳුණු බහුතරයක් දෙනා නින්ද නොයෑමේ රෝගවලින් පීඩා විඳි අය බව හෙළි වී තිබෙනවා. නින්ද නොයෑම ඔබේ සිතිවිළි, සිතීමේ රටාව සහ මනසේ ස්වභාවයට බලපානවා. ඔබ නින්ද නොයෑමේ ලක්ෂණවලින් පීඩා විඳිනවා නම්, දවල් කාලයේ කෙටි නින්දවල් ලබා ගැනීමෙන් වළකින්න. රාත්‍රී නින්ද සඳහා ඔබ පැය දෙකක පමණ සිට මනසින් ලෑස්ති වන්න. නිදා ගැනීමට ආසන්න වූ විට ඇඟ සේදීමෙන් නින්ද පහසුවෙන් ඔබ වෙත ළඟා වෙනවා. පොතක් කියවීමට හුරු වීමෙන්, ඔබ වෙත නින්ද ළඟා වේවි. එකම වෙලාවක නින්දට යාමට හුරු වන්න.

• ඔබේ ආහාර වේල ගැන උනන්දු වන්න

ඇල්ෂයිමර් රෝගය හඳුන්වන්නේ මොළයේ ඇති වන දියවැඩියා තත්ත්වයක් ලෙසයි. මේ නිසා ඔබ ඔබේ ආහාර වේල ගැන සැලකිලිමත් විය යුතුයි. සීනි භාවිතය සහ කබෝහයිඩ්‍රේට් භාවිතය ඔබ අඩු කළ යුතුයි. රුධිරගත සීනි ප්‍රමාණය වැඩි වූ විට මොළයට හානි පැමිණෙනවා. මේදය අධික ආහාරවලින් ඔබ වැළකිය යුතුයි. ඔමේගා 3, ෆෝලික් අම්ලය, විටමින් B-12 බහුල ආහාර ඔබේ දෛනික රටාවට එක් කර ගන්න.

• ඔබේ මානසික පීඩනය අවම කර ගන්න

මානසික පීඩන තත්ත්වයන් ඔබේ මොළයේ මතක තබා ගැනීමේ කොටසට හානි පමුණුවනවා. භාවනා කිරීම, ඇවිදින්නට යාම, ගැඹුරින් හුස්ම ගනිමින් හුස්ම ගැනීමේ රටාවට අවධානය යොමු කිරීම, අවට පරිසරයේ සුන්දරත්වයට අවධානය යොමු කිරීම වැනි ක්‍රියාවල නිරත වෙමින් මානසික පීඩනය අවම කර ගන්න. නිතරම සතුටින් සිටීමට උත්සාහ ගන්න.

►Neuronews