2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා

දුම් උගුරයි ලෙඩ අහුරයි

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 310

නොසිතූ විරූ ලෙඩ තොගයක් ඔබේ සිරුරේ මතුකරන්නට දුම්පානය සමත්. සැබවින්ම සිරැරේ සෑම අවයක්ම පාහේ ක්‍රමානුකූලව විනාශ කර දමන්නට මේ ඇබ්බැහියට හැකියි. කොටින්ම දුම්පානය කරන මවකගේ කුස තුළ ඇති කළලයටත් එහි බලපෑම දැඩිව දැනෙනවා. එංගලන්තයේ මිඩ්ල්ස්බර්ග් හි ජේම්ස් කුක් රෝහල් සරසවියේ සිදුකළ අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂාවකට අනුව අරැම පුදුම දෙයක් වාර්තා වුණා. නිතර දුම්පානයේ යෙදෙන මවකගේ කුස තුළ වැඩෙන කළලයත් තමන්ගේ අතින් මුහුණ සහ නාසය වසාගන්නා දර්ශනයයි ඒ. දුම්පානයේ යෙදෙන මවුවරැන්ගේ දරු කළලවල මධ්‍ය ස්නායු පද්ධතියේ වැඩීමට බාධා ඇතිවන අතර අක්මාව ඇතුළු අභ්‍යන්තර ඉන්ද්‍රීයන් විනාශ වන බවත් ඔවුන් සොයාගෙන තියනවා. නිතර දුම්පානය කරන මෙන්ම අනියම් ලෙස දුමට ගොදුරැවන අයටත් ඇති විය හැකි රෝගාබාධ ගණනාවක් ගැන විස්තරයි මේ.  

1. පෙනහළු පිළිකා  

පෙනහළු පිළිකා ඇතිවීමට බලපාන මූලික කරැණ වන්නේ දුම්පානයයි. මෙය ලංකාව තුළද බහුලව වාර්තාගත තත්ත්වයකි.

 2. හදවත් රෝග

හදවත් රෝග සෑදී සිදුවන මරණ පහකින් එකකට සෘජුවම දුම්පානය හා සම්බන්ධ බව වාර්තා වී තිබේ.

3. දියවැඩියාව

දියවැඩියාවේ දෙවන අදියර ඇති කිරීමට දුම්පානය හේතුවන බව සනාථ වූ කරුණකි. 

4. අක්මාවේ ඇතිවන පිළිකා

අක්මාවේ පිළිකා ඇතිවීමේ අවදානම දුම්පානය නිසා ඉහළ යයි.

5. දුම්පානය නිසා ධමනි තුළ සිදුවන තැන්පත් වීම් නිසා රුධිර සංසරණයට බාධා ඇතිවන අතර එය අප්‍රාණීකත්වයට ප්‍රබල හේතුවකි.

6. බහිර් ගර්භාෂයීක ගැබ්ගැනීම් “Ectopic Pregnacy”

ගර්භාෂයෙන් පිටත බොහෝවිට පැලෝපිය නාලයක වර්ධනය වන ගැබ මෙනමින් හඳුන්වන අතර මේ ආකාරයේ ගැබ් ගැනීම් 11% කට වාගේ දුම්පානය සෘජුව සම්බන්ධ ‍වෙනවා.

7. ආතරයිටිස්

දුම්පානය මගින් ආතරයිටිස් ඇතිවීමේ අවදානම වැඩි ‍වෙනවා.

8. මහා බඩවැලේ ඇතිවන පිළිකාව

දුම්පානය කරන්නන්ට විවිධ පිළිකා ඇතිවන අතර එයිනුත් ප්‍රබල පිළිකා අවදානමක්  ලෙස මහා බඩවැලේ ඇතිවන පිළිකාව දක්වන්නට හැකිය.

9. අක්‍රිය දුම්පානය

දුම්පානය කරන්නන් ඔවුනට සිදුකර ගනු ලබන හානියට අමතරව ඔවුන් අසල සිටින්නන් පවා අක්‍රිය දුම්පානයට ලක්කිරීම මගින් මරණය වෙත ළඟාකරනු ලබනවා.

10. ආයු කාලය වසර ගණනාවකින් අඩු වනවා

දුම්පානයට ඇබ්බැහි වී සිටින්නන්ගේ ආයු කාලයෙන් වසර 10 ක් පමණ අඩුවනවා.

11. ආඝාතය

දුම්පානය නිසා රුධිරය ඝනවීමෙන් රැධිරය කැටිගැසීම් ඇතිවීමත් ආඝාතය වැනි තත්ත්වයන් ඇති වනවා.

12. මුත්‍රාශයේ ඇතිවන පිළිකා

මුත්‍රාශයේ පිළිකා ඇතිවීමටත් ප්‍රධාන ලෙස දුම්පානය බලපායි.

13. ගැබ්ගෙල පිළිකාව

කාන්තාවන් දුම්පානය කිරීම නිසා ඔවුන්ගේ ගැබ්ගෙල පිළිකා අවදානමද ඉහළ යයි. 

14. ප්‍රතිශක්තිකරණ පද්ධතිය බිඳවැටීම

රෝග සමඟ සටන් කිරීමට ඇති ප්‍රතිදේහ සහ ශෛල අඩපණ කිරීම දුම්පානය නිසා සිදුවනවා.

15. උපතින්ම ඇතිවන තල්ල පැලීම “Cleft Palates”

ගර්භනී සමයේදී මවක් දුම්පානය කිරීම මගින් උපත ලබන දරුවාගේ මෙම තත්ත්වය ඇතිවීම කෙරෙහි වැඩි අවදානමක් තිබෙනවා.

16. පිළිකා සඳහා ප්‍රතිකාර

දුම්පානය කිරීම නිසා පිළිකා සඳහා සිදුකරනු ලබන ප්‍රතිකාරවල නිසි ක්‍රියාකාරීත්වය සිදු නොවෙයි.

17. ලෙඩරෝග ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි වනවා

දුම්පානය නිසා බොහෝ ලෙඩ රෝග ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි වනවා.

18. පෙනුම

දුම්පානය නිසා සම අකලට වියපත්වීම සහ නිය සහ දත් දුර්වර්ණ වීමද සිදු වනවා.

19. සුවදායක නින්ද

දුම්පානය කිරීම නිසා සුවදායක නින්ද අහිමි වෙනවා.

20. අස්ථිවල සවිමත් භාවය නැති වනවා

දුම්පානය කිරීම නිසා ඔස්ටියෝපොරෝසිස් සහ වෙනත් අස්ථි ආබාධ ඇතිවන බව අධ්‍යයනයන් මගින් තහවුරු කර තිබෙනවා.

21. කන් ඇසීම අඩුවීම

දුම්පානය කරන්නන්ගෙන් 70% පමණ මෙම සෞඛ්‍ය ගැටලුවෙන් පීඩා විඳිනවා.

22. දෑත් සහ දෙපා උණුසුම් වීම

රුධිර සංසරණයට බාධා ඇතිවීම නිසා දෑත් සහ දෙපා උණුසුම් වනවා.

23. වැඩිවන කැෆේන් අවශ්‍යතාව

දුම්පානය කරනා විට සාමාන්‍ය පරිදි ඇතිවන කැෆේන් අවශ්‍යතාවය දෙගුණ වනවා.

24. ගර්භනීභාවයට ඇතිවන බලපෑම

ගර්භනී සමයේදී කාන්තාවක් දුම්පානය කිරීම මගින් විවිධ අතුරු ආබාධවලට මුහුණ දෙනවා.

25. ආම්ලිකතාවය වැඩිවීම

දුම්පානය කිරීමෙන් ශරීරයේ ආම්ලිකතාවය වැඩිවී ශරීරයට අපහසුවක් ගෙන දෙනවා.

26. අඩුවෙන් ආහාර ගැනීම

දුම්පානය නිසා ආහාර රුචිය අඩුවන බව අධ්‍යයනයන් මගින් තහවුරු කර තිබෙනවා.

27. හිසකෙස්

දුම්පානය නිසා අකලට තට්ටය පැදීම සහ හිසකෙස් සුදුවීම ඇතිවනවා.

28. තුවාල සුවවීමේ කාලය

දුම්පානය නිසා සිරුරේ ඇතිවන තුවාල සුවවීම සඳහා වැඩි කාලයක් වැයවන බව වාර්තා ගතයි. 

29. අත දරුවන්ට මරණය කැඳවීම

පිළිකා කාරක රසායනික ද්‍රව්‍ය මගින් අතදරුවන්ගේ පෙනහළු, හදවත සහ මොළයට හානිවී මරණය පවා ඇතිවනවා.

30. ඔසප්වීම

කාන්තාවන් විසින් දුම්පානය සිදු කිරීමේදී ඔසප් සමයේදී වැඩි වශයෙන් රුධිරය වහනය වීම සිදුවනවා.

31. ශුක්‍රානු වල බලය නැතිවීම

දුම්පානය නිසා ශුක්‍රානුවල වේගය සහ ජිවමය හැකියාව නැති වනවා.

32 ඩිමෙන්ෂීයා 

දුම්පානය කිරීම නිසා අමතක වීමේ “Dementia” රෝගය  ඇතිවීමේ හැකියාව ඉහළ යනවා.

33. ගැබ් ගැනීමට බාධක 

කාන්තාවන් දුම්පානය කිරීම නිසා ගැබ් ගැනීමේ හැකියාව අඩු වනවා.

34. “Alzheimer’s” රෝගය

දුම්පානය නොකරන වැඩිහිටි පුද්ගලයින්ට වඩා දුම්පානය කරන වැඩිහිටි පුද්ගලයින්හට මෙම මානසික රෝගය ඇතිවීමේ අවදානම ඉහළයි.

ස්වසන පද්ධතිය මුලික කරගත් රෝග අතරින් නිදන්ගත පෙනහළු රෝගය ප්‍රමුඛ  බ්‍රොන්කයිටීස්, නියුමෝනියා තත්ත්ව ප්‍රමුඛය. නමුත් මාංශ පේශී දුර්වලවීම ස්නායු අස්ථී ඇතුළු සමස්ත ශරිරයම දුර්වල කරන රෝග සඳහා දුම්පානය හේතුවකි. මේ නිසාම දුම්පානය වහාම අත්හළ යුතු විෂම පුරුද්දකි. 

 සුගත්