2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා

වෙස් පෙරැළෙන අමුතු රෝගය (Bipolar Disorder)

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 561

මානසික රෝග අතර ඉතා ප්‍රබල මානසික රෝග තිබෙනවා. භින්නෝන්මාදය සහ ද්විද්‍රැව රෝගය මෙවැනි රෝග දෙකකි. මෙම මානසික රෝග දෙක “ප්‍රබල” ලෙස හඳුන්වනුයේ ඒවා වැළඳීමෙන් මුළු ජීවිතයම උඩු යටිකුරැ වියහැකි නිසාය. මින් අදහස් වනුයේ මෙම රෝග සමඟ එදිනෙදා ජීවිතය අවුල් වීම, රැකියාව කරගෙන යාමට නොහැකි වීම, තම පවුල සමඟ නොයෙකුත් ඝට්ටනවලට පැටලීම, සැකය සහ ජීවිතය එපා වීම වැනි රෝග ලක්ෂණ සමඟ ජීවිතය අවුල් වීමයි. මෙවැනි මානසික රෝගී තත්ත්වයන් කල්තියාම හඳුනාගෙන නිසි ලෙස විද්‍යාත්මක ප්‍රතිකාරවලට යොමු විය යුතුයි. බොහෝ විට රෝගය ආරම්භ වන මුල් අවදියේ මෙවැනි රෝගීන් මනෝවෛද්‍යවරැන්ට යොමු නොවේ. ඊට ප්‍රධානම හේතුව සමහර රෝග ලක්ෂණ යම් භූත බලපෑමක් නිසා ඇතිවිය හැකි බවට ප්‍රජාවේ පවතින මිත්‍යා විශ්වාස නිසාය. අපි ද්විද්‍රැව රෝගය ගැන බලමු.

ද්විද්‍රැව රෝගය අපූරු චමත්කාර ජනක රෝගයකි. මෙවැනි රෝගියකුගේ මනස යම් කාලයක් අධික සතුටින් පිරී පවතින අතර ඒ කාලයේ දී සතුට වැඩි නිසාම ජීවිතය අවුල් වන අතර තවත් කාලයක් අසාමාන්‍ය දුකකට මනස පත්වන අතර එහිදී අධික දුක නිසාම ජීවිතය අවුල් වී එදිනෙදා වැඩකටයුතු සියල්ලම අඩපණ වේ. සමහර විට අධික සතුට සහ අසාමාන්‍ය දුක යන මේ කාලපරිච්ඡේද දෙක අතර ඉතාමත්ම සාමාන්‍ය ලෙස ජීවිතය ගෙවී යන රෝගීන් ද ඇත.

ප්‍රජාව තුළ 1%ක් පමණ මෙම රෝගීන් සිටින බවත් මින් 30%ක් හෝ 60%ක් වැනි ප්‍රමාණයක් නිසි ප්‍රතිකාරවලට යොමු නොවන බවත් සමීක්ෂණවලින් පෙනීගොස් ඇත. මෙවැනි රෝගියකු නිසි කලට හඳුනානොගැනීම සහ නිසි කලට ප්‍රතිකාරවලට යොමු නොවීම ඉතා භයානක දෙයකි. මීට ප්‍රධානම හේතුව නම් ද්විද්‍රැව රෝගීන්ගෙන් 1%ක් පමණ සියදිවි නසා ගැනීමට පෙළඹීමයි. ප්‍රජාව තුළ සිටින සාමාන්‍ය පුද්ගලයකු හා සසඳන විට ද්විද්‍රැව රෝගියකු ජීවිතය නැති කර ගැනීමට තිබෙන සම්භාවිතාවය හැට ගුණයකින් වැඩිය.

ද්විද්‍රැව රෝගය ප්‍රධාන රෝග දෙකකට බෙදේ. 
1. ද්විද්‍රැව රෝගය එක (Bipolar Disorder)

මෙම රෝගී තත්ත්වයේදී ප්‍රධාන රෝග ලක්ෂණ දෙකක් ඇත. 

A. අධික සතුට හෝ අසාමාන්‍ය අභිමානය (Mania)
B. අධික දුක හෝ අසාමාන්‍ය ලෙස කලකිරීමට පත්වීම (Depression)

ද්විද්‍රැව එක රෝගී අවස්ථාවේදී අසාමාන්‍ය සතුට හෝ අභිමානය සමඟ රෝගී තත්ත්වය එළියට පිළිබිඹු වේ. අපි මෙහි ලක්ෂණ බලමු.

• නින්ද අඩු වීම හෝ නින්ද නොයාම. (පැය දෙක තුනකට වඩා නින්ද නොමැත.)

• අසාමාන්‍ය ශක්තිය. (නොනවත්වා දිගටම වැඩ කිරීම.)

• අසාමාන්‍ය ලෙස කතා කිරීම. (කතාව වැඩියි. නමුත් එක මාතෘකාවක දිගට නොරුදේ. ක්ෂණිකව වෙන මාතෘකාවකට මාරැවේ.)

• අවධානය බිඳීම. (එක වැඩක නොරුඳේ. තවත් වැඩකට ක්ෂණිකව ඇතුළු වේ.)

• බොරැ ලොකුකම සහ කතාව. (මම එළිසබත් රුජිණගෙ දුව. මම ආවෙ ලංකාවෙ දුප්පත්කම නැති කරන්න.)

• ක්ෂණයෙන් මනස වෙනස් වීම. (අසාමාන්‍ය සතුටක ඉඳ ක්ෂණයකින් ප්‍රචණ්ඩ වීම.)

• අසාමාන්‍ය ලෙස මුදල් වියදම් කිරීම හෝ අසාමාන්‍ය ලිංගික ආශාව. 

• රැකියාව තුළ අවුල් ඇති කර ගැනීම, අනික් අයව විවේචනය සහ සමාජ සබඳතා බිඳ වැටීම. 

ද්විද්‍රැව රෝගය එක නැමති මෙම තත්ත්වයේදී මානසික අවපීඩන ලක්ෂණ සමහර විට ඇති විය හැකි අතර තවත් සමහර විටෙක අවපීඩන ලක්ෂණ නොමැතිව අධික සතුට සමඟ මෙම රෝගය මතුවේ. ද්විද්‍රැව රෝගය තුළදී ඇති වන මානසික අවපීඩනය බොහෝ විට හඳුනා නොගැනේ. මීට හේතුව මෙහිදී ඇතිවන අවපීඩනය සාමාන්‍යයෙන් පුද්ගලයකු තුළ දැඩි ආතතිය නිසා ඇතිවන අවපීඩනයයැයි හඳුනාගැනීමයි. ද්විද්‍රැව රෝගයේදී ඇතිවන අවපීඩනය සාමාන්‍ය අවපීඩනයෙන් වෙනස් වන ආකරය අපි බලමු.

• වයස අවු. 20ත් 30ත් අතර වයසේදී අවපීඩන ලක්ෂණ ඇතිවීම.
• දරු ප්‍රසූතියෙන් පසු ඇතිවන අවපීඩන ලක්ෂණ.
• අවපීඩන ලක්ෂණ ක්ෂණිකව ඇති වේ.
• නින්ද අඩු වීමට වඩා නින්ද වැඩි වේ.
• බොහෝ විට පවුල් ඉතිහාසයක් තිබීම.

2. ද්විද්‍රැව රෝගය දෙක (Bipolar II Disorder)

ද්විද්‍රැව රෝගය දෙක අසනීපයේ ද ප්‍රධාන ලක්ෂණ දෙකකි. මෙහි ප්‍රධානම ලක්ෂණය තදබල මානසික අවපීඩනයයි. මානසික අවපීඩන තත්ත්වයේදී එවැනි රෝගියකුට ජීවිතය එපාවීම, කළකිරීම, එදිනෙදා වැඩකටයුතුවලින් ඈත් වීම, සමහර විට නිතරම නිදා ගැනීම, තරහයාම වැනි ලක්ෂණ දක්නට ලැබේ. මෙහිදී ජීවිතය නැතිකර ගැනීමේ ප්‍රවණතාවය ද වැඩිය. මෙම රෝගයේ අනෙක් ලක්ෂණ නම් අසාමාන්‍ය අභිමානය හෝ සතුටයි. නමුත් “ද්විද්‍රැව රෝගය එක” නැමති තත්ත්වයේදී මෙන් සතුට වැඩිවී, ක්‍රියාකාරීත්වය වැඩි වී, නින්ද සහමුලින්ම නැතිවී, විකාර රූපී ස්වභාවයකට පැමිණෙන්නේ නැත. නමුත් ද්විද්‍රැව රෝගය දෙක නැමති මෙම අවස්ථාව හඳුනාගැනීමට අසාමාන්‍ය ජවය හෝ අභිමානය (Hypomania) නැමති තත්ත්වය තිබිය යුතු නැත.
ද්විද්‍රැව රෝගය සහ සියදිවි නසාගැනීම.

බොහෝ සමීක්ෂණවලින් පෙනී යන්නේ ද්විද්‍රැව රෝගීන් ලෙස හඳුනාගත් අයගෙන් 30%ක් පමණ යම් අවස්ථාවලදී ජීවිතය නැති කරගැනීමට උත්සාහ කරන බවයි. පහත සඳහන් ලක්ෂණවලින් අවධානම හඳුනාගත හැක.

• “ජීවිතය වැඩක් නෑ. නැතිකර ගන්නවා.” යැයි කරන ප්‍රකාශ.
• මෑතකදී නින්ද තදබල ලෙස ඇති වීම.
• “වැඩක් නෑ... මේ ජීවිතේ කිසිම තේරුමක් නැති ජීවිතයක් මේක* වැනි ප්‍රකාශ නිතර පැවසීම.
• ආශාවෙන් කළ වැඩකටයුතුවලට ඇති ආශාව නැතිවී යාම.
• දිගටම මත්පැන් හෝ මත්ද්‍රව්‍ය ගැනීම.
• මීට පෙර ජීවිතය නැති කර ගැනීමට උත්සාහ කිරීම.

මෙවැනි ලක්ෂණ මේ රෝගියකු තුළ දක්නට ලැබේ නම් එය අඩුවෙන් තක්සේරැ නොකර ඉක්මනින් මනෝ වෛද්‍යවරයකු වෙත රැගෙන යා යුතුය.

ද්විද්‍රැව රෝගය සමඟ ඇබ්බැහි වන මත්පැන් සහ දුම්වැටි.

ද්විද්‍රැව රෝගීන් ඉතා පහසුවෙන් මත්පැන්, මත්දුව්‍ය සහ දුම්වැටියට ඇබ්බැහි වේ. සමීක්ෂණවලින් පෙනී යන්නේ මෙම රෝගීන්ගෙන් 42෴ක් මත්පැන්වලට ද 20෴ ගංජා වලටද ඇබ්බැහි වියහැකි බවයි. සිගරට්වලට ඇබ්බැහි වීමේ ප්‍රවණතාව 60෴ සිට 80% දක්වා වේ. 

ධනංජයගේ කතාව:-

ධනංජයගේ වයස අවු. 22යි. ඔහු අපට යොමු වනවිට තදබල ලෙස ගංජා සහ සිගරට්වලට ඇබ්බැහි වී සිටියේය. ඔහුගේ ඉතිහාසය පිරික්සීමේදී ධනංජය ළමා කාලයේදී ඉතා හොඳින් ඉගෙන ගත් දරුවෙකි. ඔහුගේ හැසිරීමේ වෙනස්කම් දක්නට ලැබී ඇත්තේ වයස අවු. 17දීය. ඒ වනවිට ඔහු ඉතා හොඳින් සාමාන්‍ය පෙළ සමත් වී උසස් පෙළ හදාරමින් සිට ඇත. තම පියාට අනුව ධනංජයගේ හැසිරීමේ ලක්ෂණ ඒ වනවිට මෙසේ දක්නට ලැබී ඇත. වැඩිපුර කතාකිරීම, නින්ද අඩු වීම, අසාමාන්‍ය ලෙස මුදල් වියදම් කිරීම, තම යහළුවන් සමඟ එකතු වී දැඩි ලෙස ගංජා පානය කිරීම, පාසල් නොගොස් කට්ටි පනිමින් තැන් තැන්වල යමින් දවස් ගණන් ගෙදර නොපැමිණීම ආදියයි. ඔහුගේ පියා මෙසේ ද කීවේය.

“මගෙ පුතා හරිම දක්ෂයි. පහේ ශිෂ්‍යත්වෙට ලකුණු 175ක් තිබුණා. O/L වලට A-7ක් තිබුණා. A/L කාලෙදි තමයි මේ ලෙස හැසිරීම වෙනස් වුණේ. අනේ අපි හිතුවේ නෑ මේක ලෙඩක් කියලා දරැවගෙ කේන්දරේ බැලුවා ලොකු අපලයක් තියනවා කියලා නක්ෂත්‍රකරු කීවා. යන්ත්‍ර මන්ත්‍ර ගුරැකම් නොකරපු දෙයක් නෑ. අපි මෝඩ වුණා. ලොකු Dr. කීවා මුලදීම ආවනම් මෙච්චර දුරට නාස්ති වෙන්නෙ නෑ කියලා.”

මේ රෝගයට ඉතා සාර්ථක ඖෂධ ප්‍රතිකාර තිබෙනවා. නිසි කලට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් රෝගයෙන් මිදී සමාජගතව කටයුතු කිරීමේ හැකියාව ලැබේ.

කිරිබත්ගොඩ මූලික රෝහලේ 
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක