2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා

වකුගඩු ගෙඩිගැහෙන අමුතුම රෝගය PKD

 2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 636

වකුගඩු යනු මිනිසා තුළ ඇති ඉතාමත් වැදගත්, සංකීර්ණ අවයව යුගලයකි. එහි ප්‍රධාන කාර්යය ලෙස රුධිරයේ ඇති මිනිස් දේහයට අහිතකර බහිස්‍රාවී ද්‍රව්‍ය ඉවත් කිරීම දැක්විය හැක. නමුත් වකුගඩු ආශ්‍රිතව ඇති වන විවිධ රෝගී තත්ත්වයන් නිසා බොහෝ ගැටලු පැන නගින අතර ඒවා මරණයට පවා හේතු විය හැක. බහුකෝෂ්ඨික වකුගඩු රෝගය හෙවත් Polycystic Kidney Disease (PKD) ද එවැනි වැදගත් නමුත් බහුල නොවන රෝගී තත්ත්වයකි. මෙය ජානගතව වැළඳෙන අතර සාමාන්‍යයෙන් පුද්ගලයන් දහසකින් එක් අයෙකු තුළ තිබිය හැකි බව නවතම සොයාගැනීම්වලින් තහවුරු වී තිබේ.

කළල අවධියේ සිට වකුගඩු තුළ ඇතිවන ඉතා කුඩා ප්‍රමාණයේ කෝෂ්ඨ, දේහ වර්ධනයත් සමග විශාල වීමට පටන් ගනී. ඉන්පසු එම කෝෂ්ඨ හේතුවෙන් වකුගඩු තුළ ඇති නිරෝගී පටක තෙරපීමකට හා ක්‍රමයෙන් විනාශ වීමකට ලක් වේ. ඒ හේතුවෙන් වකුගඩුවල ක්‍රියාකාරිත්වය අඩපණ වේ. වකුගඩු සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාලවීමකටද ලක්විය හැක.

මෙම රෝගයේ බලපෑම ඉස්මතු වීම බොහෝ දුරට වයස අවුරැදු පනහෙන් පමණ පසුව සිදුවේ. එම වයස් කාලයේදී වෙනත් රෝගී තත්ත්වයන් ද ඇතිවීමේ අවදානමක් තිබෙන බැවින් මෙම බහුකෝෂ්ඨික වකුගඩු රෝගය පිළිබඳව සැළකිලිමත් වීම ඉතා වැදගත්ය. යම් කිසි අයෙකු තුළ පහත රෝගී ලක්ෂණ පවතී නම් විශේෂ අවධානයක් යොමු කිරීම සුදුසුය. (එම ලක්ෂණ තිබූ පමණින් ඉහත රෝගය පවතී යැයි කිසිවිටෙකත් නිගමනය නොවේ.)

උදරය හා කොඳු නාරටිය දෙපස පවතින අධික වේදනාව, දිගු කලක් පවතින අධික රුධිර පීඩනය, මුත්‍රා සමඟ රැධිරය පිටවීම, මුත්‍රා මාර්ගය ආශ්‍රිත ආසාදන. ඉහත කරුණුවලට අමතරව හදිසියේ වකුගඩු අක්‍රිය වීමද දැකිය හැක. එම තත්ත්වය පොදු රෝග ලක්ෂණ රාශියක් ලෙසින් විද්‍යාමාන වන අතර වකුගඩු අක්‍රියවීම ක්ෂණික මරණයට පවා හේතු වේ.

මෙවැනි රෝගින් අතර අක්මාවේ කුෂ්ඨ ඇතිවීමේ හා අක්මාව විශාල වීමේ ඉඩක්ද තිබෙන බව සඳහන්ය. රෝගය මූලිකව හඳුනාගැනීම අති ධ්වනි තරංග පරිලෝකනය මගින් හෙවත් Ultrasound Scanning මගින් සිදු කෙරේ. එසේම MRI Scanning හා CT Scanning ද උපයෝගී වේ.

බොහෝවිට උදරය ආශ්‍රිත වෙනත් රෝග සඳහා සිදු කරනු ලබන පරීක්ෂණවලදී මෙම රෝගය හඳුනාගැනීම බහුලව දැකිය හැක. මෙයට අමතරව, රෝගයට අදාළ ජාන විශ්ලේෂණයද රෝගය නිශ්චය කිරීමට ඉවහල් වේ. නමුත් එම ක්‍රමවේදය මිල අධිකය. රෝග කළමනාකරණය සැලකූ විට බහුකෝෂ්ඨික වකුගඩු රෝගින්ගේ රුධිර පීඩනය පාලනය අත්‍යවශ්‍ය වේ. ඒ අධික රුධිර පීඩනය  මුළු ශරීරයටම බලපාන නිසාය.

මෙම රෝගය ඖෂධ මගින් මුළුමනින්ම සුවකළ නොහැකි වුවද වෛද්‍ය උපදෙස් නිවැරදි ලෙස පිළිපැදීමෙන් සංකූලතා හා ගැටලු ඇතිවීම පාලනය කර ගත හැක. වකුගඩු බරපතළ ලෙස විනාශ වීමකට ලක් වුවහොත් රුධිර කාන්දු පෙරණයට ලක් කිරීමත් එයින් පසුද රෝගය දරුණු වුවහොත් වකුගඩු බද්ධ කිරීමකට යොමු කිරීමත් සිදු කළ යුතුය.

 සුගත්

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00