2018 අගෝස්තු 04 වන සෙනසුරාදා

දියවැඩියා රෝගීන් කරන්නම ඕනෑ ඇල්බියුමින් පරීක්ෂාව

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1386

දිගටම පවතින දියවැඩියාව සහිත වූ විට නිර්දේශ කරන පරීක්ෂාවක් තමයි මුත්‍රාවල ඇල්බියුමින් පරීක්ෂාව. ඇල්බියුමින් යනු රුධිර ප්ලාස්මාවේ තිබෙන ප්‍රෝටීනයකි. නිරෝගී සිරුරකින් වුවද මුත්‍රා සමඟ ඇල්බියුමින් ඉතා සුළු ප්‍රමාණයක් පිටවීම සිදුවිය හැකිය. නමුත් මේ ප්‍රමාණය කැපීපෙනෙන මට්ටමකින් ඉහළ ගොස් ඇතිනම්, එයින් හැඟවෙන්නෙ දරුණු රෝගී තත්ත්වයක් ගැනයි. 

වකුගඩු ආසාදිත අයගෙන් බොහෝ දෙනකුගේ ප්‍රධාන රෝග ලක්ෂණයක් බවට පත් වී ඇත්තේ මුත්‍රා සමඟ ඇල්බියුමින් පිටවීමයි. මේ අයගේ වකුගඩු අකර්මණ්‍ය වීමේ ප්‍රවණතාවය ද වැඩිය. දියවැඩියාව නිසි පාලනයකින් තොරවීම හේතුකොට මේ තත්ත්වය උදාවීම වැළැක්විය නොහැකිය.

රුධිර ප්ලාස්මාවේ තිබෙන මෙම ප්‍රෝටීනය (ඇල්බියුමින්) මුත්‍රා සමඟ පිටවන ප්‍රමාණය කොතරම් අල්ප ද කිවහොත් UFR හෙවත් යූරින් ෆුල් රිපෝට් එකට පවා හසුනොවන තත්ත්වයක පවතී. විශේෂයෙන් මුත්‍රා සමඟ ඇල්බියුමින් පිටවීම සනාථ වන්නට UFR පරීක්ෂණයේදී ඇල්බියුමින් මිලිග්‍රෑම් 300කට වඩා වැඩි ප්‍රමාණයක් පිටවිය යුතුය. ඊට වඩා අඩු ප්‍රමාණයක් පිටවෙනවා නම් UFR පරීක්ෂණයට හසු නොවේ.

සාමාන්‍යයෙන් සිරුරකින් මිලිග්‍රෑම් 30ට වඩා අඩු ප්‍රමාණයක් ඇල්බියුමින් පිටවීම රෝගී තත්ත්වයක් නොවේ. නමුත් මිලිග්‍රෑම් 30 – 300 දක්වා ප්‍රමාණයක් පිටවීම රෝගයක මූලාරම්භයකි. මේ ප්‍රමාණය ප්‍රමාණාත්මකව නිවැරදිව සොයා බැලිය හැකි පරීක්ෂණයක් තිබේ. එම පරීක්ෂණය හඳුන්වන්නේ මයික්‍රෝ ඇල්බියුමින් යූරියා පරීක්ෂණය ලෙසය. මෙම පරීක්ෂණයෙන් මුත්‍රාවල ඇල්බියුමින් මිලිග්‍රෑම් 30 - 300 අතර යම්කිසි ප්‍රමාණයක් තිබේ නම් එය ප්‍රමාණාත්මකව සොයාගත හැක. 

මෙම මයික්‍රෝ ඇල්බියුමින් පරීක්ෂණයේ මුත්‍රා සමඟ ඇල්බියුමින් පිටවන ඉතා කුඩා ප්‍රමාණයක් පවා නිවැරදිව හඳුනාගත හැකිය. ඇතැම් විට තද උණ තත්ත්වයකින් පෙළෙන විට, අධික ලෙස ව්‍යායාම් කිරීම වැනි තත්ත්ව වලදී ද ඇල්බියුමින් මිලිග්‍රෑම් 30ට ආසන්නව ප්‍රමාණයක් පිටවීමක් සිදුවේ. ඒවා දීර්ඝකාලීනව බලපාන සාධක වන්නේ නැත.

එපමණක් නොව අධිරුධිර පීඩනය ඇති රෝගීන් ද මෙම පරීක්ෂණය කරගත යුතු අතර මුත්‍රාවල ඇල්බියුමින් වැඩිවීම මෙම රෝගීන්ට හෘදයාබාධ ඇතිවීමට හේතු සාධකයක් ද වේ.

එම රුධිර පීඩනය ඉහළ යාමටද දියවැඩියාව ප්‍රධාන හේතුවකි. අනෙක් අතට ඉහළ පීඩනය වකුගඩුවලට මෙන්ම හෘදය සහ රැධිර වාහිනී පද්ධතියට හානි කරයි. එබැවින් විශේෂයෙන් දීර්ඝකාලීනව දියවැඩියා වැළඳුණ රෝගීන් අවම වශයෙන් මාස 6කට වරක්වත් මෙම මයික්‍රෝ ඇල්බියුමින් පරීක්ෂණය කරගත යුතුය.