2018 අප්‍රේල් 13 වන සිකුරාදා

ලේ හිඟය මාරාන්තික ලෙඩක්!

 2018 අප්‍රේල් 13 වන සිකුරාදා, පෙ.ව. 06:00 3859

ඇඟපතේ පණ නැතිකම, සුදුමැලිවීම, ඈලි මෑලි දුබල ගතිය වගේ අපහසුකාරී තත්ත්වයන් සඳහා අධික ලෙස වෙහෙස මහන්සි වී වැඩ කිරීම, මානසික පීඩනය ආදී බොහෝ කරුණු හේතු විය හැකියි. නමුත් ඒ සඳහා බලපාන ප්‍රබලම හේතුවක් ලෙස රක්තහීනතාවය හැඳින්විය හැකියි. සාමාන්‍ය කටවහරෙදී ලේ හිඟකම කියලා හඳුන්වන මේ තත්ත්වය එදිනෙදා ජිවිතය අවුල්කර දමන එසේම මාරාන්තික විය හැකි  රෝගයක්. අද අපි ඒ ගැන කතාබහ කරමු.

නිරෝගී පුරුෂයකුගේ රුධිරයේ තිබිය යුතු හිමොග්ලොබින් සාන්ද්‍රණ අගය ලෙස සැළකෙන්නේ ඩෙසි  ලීටරයක් තුළ ග්‍රෑම් 12ක (12g/dl – 14g/dl) අගයයි. එය නිරෝගී කාන්තාවකගේ නම් 11.5g/ dl – 13.5 g/ dl අගයක් ගත යුතුවනවා. මෙම අගයන්ට වඩා අඩු අගයකින් රුධිරයේ හිමොග්ලොබින් සාන්ද්‍රණය පවතී නම් එය රක්තහීනතාවය එසේත් නැතිනම් නීරක්තිය ලෙස හඳුන්වනවා. රුධිරයේ හිමොග්ලොබින් ඩෙසි ලීටරයට ග්‍රෑම් 5ට අඩු වූවිට මරණය පවා සිදු විය හැකියි.

නිතර ඇතිවන ක්ලාන්තය මෙන්ම ඇඟ සුදුමැලි ස්වභාවයක් ගැනීම සමඟම විඩාබර ගතියක් දැනෙනවා නම් ඊට හේතුව රක්තහීනතාවය විය හැකියි. අප ගන්නා ආහාරයෙහි යකඩ, විටමින් බී – 12 හෝ ෆෝලික් අම්ලය අඩුවීම රක්තහීනතාවයට බලපාන හේතු සාධක ලෙස දැක්විය හැකියි. එය විටමින හිඟය නිසා ඇතිවන රක්තහීනතාවයි. ඒ වගේම පිළිකාව, වකුගඩු හෝ  අක්මා ආබාධ, ඒඩ්ස්, දිරවීම් පද්ධතියේ රෝග ඇතුළු නිදන්ගත ආබාධ හේතුවෙනුත් ලේ හිඟ විය හැකිය. මෙම අවස්ථා 2කදීම රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය අඩුවීමක් සිදුවන නිසා රුධිර මඟින් පෙණහලුවල සිට සිරැරේ නොයෙක් පටක කරා ගෙන යන ඔක්සිජන් ප්‍රමාණය ද අඩුවී යනවා.

එම තත්ත්වය මඟ හරවා ගැනීම සඳහා හිමොග්ලොබින් අඩු රුධිරය සිරුර පුරා වේගයෙන් ගෙන යාමට හෘදය වස්තුවට වේගයෙන් ගැහෙන්නට සිදු වෙනවා. සුළු වැඩක් පළක් කළ ද මහන්සි ගතියක් ඇතිවන්නේ ඒ නිසයි.

රක්තහීනතාව ඇතිවීමට බලපාන හේතු

රුධිරයේ ප්‍රමාණවත් තරම් රතු රුධිරාණු නිෂ්පාදනය නොවීම.

මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ රතු රුධිරාණු නිෂ්පාදනයට අවශ්‍ය වන පෝෂණ සංඝටක නොලැබීමයි. ඒ අතර යකඩ ඌණතාව, විටමින් බී 12 ඌණතාව හා ෆෝලික් ඇසිඩ් ඌණතාව ප්‍රධාන වෙනවා.

ඇට මිදුළු ආශ්‍රිත රෝග තත්වයන් 

මේ නිසාද රතු රුධිරාණු නිපදවීම අඩපණ වෙනවා. මෙයට ඇට මිදුළු ආශ්‍රිත පිළිකා තත්ත්වයන් මෙන්ම ඇට මිදුළු ක්‍රියාකාරිත්වය අඩපණ කරවන ඖෂධ වර්ග භාවිතය ද හේතු වන්නට පුළුවන්.

රතු රුධිර සෛල නිපදවීමට අවශ්‍ය හෝර්මෝන ප්‍රමාණවත් පරිදි නිෂ්පාදනය නොවීම 

උදා: එරිත්‍රෝපොයෙටින් හොර්මනයේ ඌණතාවය. මෙය දිගුකාලීන වකුගඩු රෝග තත්ත්වයන් ඇති වීමටද හේතුවක් වනවා.

තයිරොයිඩ් ආබාධ

අර්ෂස් හා පණු රෝග. නිදන්ගත ආමාශ රෝග සහ බඩවැල් තුවාල

බාහිර රුධිර වහනයන් 

උදා : ඔසප් වීමේදී අධික ලෙස රුධිරය පිටවීම.

සිරුරේ අභ්‍යන්තරව ඇතිවෙන රුධිර වහනයන් 

මේවා පිටතින් හඳුනාගන්නට බැහැ. වෛද්‍ය පරීක්ෂණවලින් පමණයි හඳුනාගත හැකි වන්නේ.

රතු රුධිරානු හැඩය වෙනස් වීම (සික්ල්සෙල් හෙවත් දෑ කැති හැඩ රුධිර සෛල)

මෙහි ඉහත සඳහන් කළ රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් ඔබටත් ඇත්නම් එය කිසිසේත්ම නොසලකා හැරීම නොකළ යුතුයි. වහාම වෛද්‍යවරයකු හමුවී උපදෙස් ලබා ගත  යුතුයි. තදබල නිරක්තිය හෘදයාබාධ සඳහාත්, ජීවිත හානි සදහාත් හේතු විය හැකියි. 
       
  සුගත්