2018 ජනවාරි 13 වන සෙනසුරාදා

මොළේට බෙහෙත් දෙන කුකුළු නින්ද

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 740

කුකුළු නින්ද හෙවත් දිවා කාලයේ කෙටි නින්දක් ලැබීම කාලය කා දැමීමක් නොවෙයි. ඇත්ත වශයෙන්ම කෙටි නින්ද අපගේ මොළය යළි පුබුදුවාලීමක් සිදු කරනවා. කෙටි නින්ද පිළිබඳව විද්‍යාත්මකව ඔප්පු වූ කරුණු කිහිපයකි මේ.

නින්ද පිළිබඳව පර් යේෂණ සිදුකරන විශේෂඥයන් පවසන්නේ විනාඩි 10–20ත් අතර කාලයක කෙටි නින්දක් ලබාගැනීම මගින් ශරීරයට මිල කළ නොහැකි වාසි අත්වන බවයි. නමුත් ඔබ කෙටි නින්දකින් ශරීරය වෙත ලබාගැනීමට අපේක්‍ෂා කරන කාරණය අනුව මෙය වෙනස් වනවා. උදාහරණයක් ලෙස එමගින් ඔබේ සුපරීක්ෂාකාරී බව වැඩිවනවා. විනාඩි 10–20ත් අතර කාලයක කෙටි නින්දක් ලබාගෙන අවදි වීමෙන් ආවේගයකින් යුතුව හොඳ ජවයකින් කාර්යයන් සිදුකළ හැකි බව විශේෂඥයන් පවසනවා.

විනාඩි 60ක පමණ කෙටි නින්දකින් මතක ශක්තිය යළි පිබිදෙන බව සොයාගන තිබෙනවා. මෙවන් නින්දකින් ඔබට ඔබේ මතකයේ ගැඹුරේ තිබෙන විවිධ කරුණු, විවිධ ස්ථාන සහ මිනිසුන්ගේ මුහුණුවර නැවතත් අලුත් කරගන්න පුළුවනි. මෙහි අවාසිය වන්නේ අවදිවීමේදී හිස කරකැවිල්ල සහ කම්මැලි ස්වභාවයක් ඇතිවීමයි.

විනාඩි 90ක කෙටි නින්දක් දිගු වෙලාවක සම්පූර්ණ නිදි  චක්‍රයකට සමාන වනවා. මෙවන් නින්දක් ලබා අවදිවීමෙන් පසුව නිර්මාණාත්මක, මනෝභාවාත්මක මතක ශක්තියක් වර්ධනය වී නිර්මාණාත්මක ක්‍රියාවන්වල නිරත වන්නට හැකිවන බව වෛද්‍ය පරීක්ෂණ මගින් හෙළි වී තිබෙනවා.

“PubMed” සඟරාවේ පල වූ කෙටි නින්ද පිළිබඳව කළ අධ්‍යයන වාර්තාවකට අනුව දිවාකාලය තුළ විනාඩි 5-10ත් අතර කාලයක කෙටි නින්දක් ලබාගන්නා පුද්ගලයින්ට එවන් නින්දක් ලබා නොගන්නා පුද්ගලයින්ට වඩා වැඩි පරීක්ෂාකාරී බවක් සහ ඥානයක් වර්ධනය වන බව සඳහන් වනවා. ඒ වගේම, විනාඩි 10–20ත් අතර කෙටි නින්ද මගින් ශරීරය නැවත ප්‍රාණවත් වන අතර විනාඩි 60–90ත් අතර තරමක් දිගු නින්දකින් සම්පූර්ණ වශයෙන්ම ශරීරය පුබුදුවාලීම සිදු කරගන්නට පුළුවන්.
ඔබ මේ කෙටි නින්ද ලබාගැනීමේදී බෙල්ල සුවපහසු ආකාරයකට තබාගෙන යම්කිසි ආසනයක වාඩිවී කෙටි නින්ද ලබාගන්න. එයින් ඔබට දිගු නින්දක් ලැබීම වළක්වනවා. ඒ, දිවාකාලයේදී වඩාත් දිගු නින්දක් ලැබීමෙන් මොළයට කිසිදු ප්‍රතිලාභයක් නොලැබෙන නිසයි.

ජපානයේ විවිධ ආයතනවල සේවකයින්ගේ ඵලදායීතාවය වර්ධනය කරගන්නට සේවා කාලය තුළ කෙටි නින්දක් ලබා ගැනීමට අවසර දෙන බව ඔබ අසා ඇති. ඔබත් දිවා කාලය තුළ මේ ආකාරයේ කෙටි නින්දක් ලබාගන්න. ඔබ සේවය කරන අයෙක් නම් ඔබේ සේවා ස්ථානයේ ප්‍රධානියා ඒ බව ඔබෙන් ප්‍රශ්න කළ විට විද්‍යාව විසින් ඒ බව තහවුරු කර ඇති බව ඔහුට පහදා දෙන්න බැරිකමක් නෑ.

Sleep Science