2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

මැදි වයසේ මළබද්ධය පිළිකා ලක්ෂණයක්

 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 615

මැදි වයසේදී ඇතිවන මළ බද්ධය නොසලකා සිටිය යුතු කාරණාවක් නොවේ. ඇතැම් විට පිළිකාවක ලකුණක් ලෙසින් ද මළ බද්ධය ඇතිවිය හැකියි.ආහාර ගැනීම අපට පහසු කටයුත්තක්. එහෙත් සමහරුන්ට එම පහසු කටයුත්ත කරදරයක් බවට පත්වන්නේ මළ බද්ධය ඇති  වූ විටයි.

මළ බද්ධය ලොකු කුඩා කවුරුත් පීඩාවට පත් කරන රෝගී තත්ත්වයක්. කුඩා දරුවන්ගේ මළ බද්ධය, දරුවා කිරි බොනවා නම් සාමාන්‍ය පරිදි හැසිරෙනවා නම් ගණන් ගත යුත්තක් නොවෙයි.

වයස අවුරුද්දත්, අවුරුදු පහක් අතර දී සමහර දරැවන්ට මළ පිට කිරීම බරපතළ ගැටලුවක්. ඒ ඔවුන් මළ පිට කිරීමට බියක් දැක්වීමේ හේතුව නිසයි. හරිහැටි වැසිකිළි යාමට පුරුදු නොකිරීම ද පොඩ්ඩන්ගේ මළ බද්ධයට හේතු වෙනවා. එහෙත් වයස අවුරුදු 30 - 35 සිට ඉන් ඉහළ වයස් සීමාවන්හිදී මළ බද්ධය ඇති වෙනවා නම් වෛද්‍ය උපදෙස් පතන්න. ඇතැම් විට මෙම වයස් වලදී පිළිකාවක ලකුණක් ලෙසින් මළ බද්ධය ඇතිවිය හැකියි. 

රෝගයක් හේතුවෙන් මළ බද්ධය ඇති නොවනවා නම් කෙඳි සහිත ආහාර අධිකව ගැනීමෙන්, ව්‍යායාම කිරීමෙන් මළ බද්ධයෙන් මිදෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මළ බද්ධය ලෙස හඳුන්වන්නේ මළපිට වෙන වාර ගණන අසාමාන්‍ය ලෙස වෙනස් වීමයි. එනම් මළ පිට නොවීම හෝ මළ පිටවෙන වාර ගණන ඉතා අඩුවීමයි. මළ පිට කිරීමට දුෂ්කර වීමත් මළ බද්ධයේ ලකුණකි. දැඩි ලෙස ඝන, විශාල මළ නිසා ගුද මාර්ගයේ ඉරීම් පවා ඇතිවෙන්නෙ පුළුවන්. විශේෂයෙන් දරුවන් තුළ මේ ලක්ෂණය දක්නට ලැබෙනවා. 

බොහෝ විට මළ බද්ධයට හේතු වෙන්නේ කෙඳි අඩු ආහාරයි. ව්‍යායාම අඩු කම, ඇති තරම් ජලය නොබීම, අවශ්‍යතාවය තිබියදීත් වැසිකිළියට යාම ප්‍රමාද කිරීම, මානසික ආතතිය ගමන් බිමන් යාම මළ බද්ධයට හේතුවන අවස්ථා තිබෙනවා. ඉරිටබල් බවල් සින්ඩ්‍රෝම් නම් අද බහුතරයක් පීඩා විඳින බඩවැල් ආශ්‍රිත රෝග තත්ත්වය ද මේ කෙරෙහි බලපානවා.

ඖෂධ, ස්නායු රෝග, මළ බද්ධය ඇති කිරීමට හේතුවන සරල තත්ත්වය. එහෙත් බඩවැල් ආශ්‍රිත පිළිකා වැනි බරපතල තත්ත්ව නිසාද මළ බද්ධය ඇති වන්න පුළුවන්. එහෙත් එය ඉතා විරල තත්ත්වයක්. මළ බද්ධයෙන් පීඩා විඳින අය තම ආහාර වේලට හැකි තරම් එළවළු පලතුරු, වියළි පලතුරු, ධාන්‍ය, ඇටවර්ග එක් කර ගත යුතුයි. එවැනි ආහාර කෙඳිවලින් පොහොසත් නිසා මළ බද්ධයක් ඇති වෙන්නේ නැහැ. නිතර ව්‍යායාම කිරීම මේ අයට වැදගත් වෙන්නේ. එමගින් බඩවැල්වල ක්‍රියාකාරීත්වය හොඳින් සිදුවෙන නිසයි. මළ බුරුල් කරන ඖෂධ ද වෙළෙඳ පොළෙහි තිබෙනවා. එහෙත් ඒවා වෛද්‍ය උපදෙස්වලින් තොරව ගැනීම සුදුසු නැහැ. එම ඖෂධ දිගට ගතහොත් එය නොමැතිව මළ පිට කිරීමට නොහැකි වෙනවා.

කඩිනමින් වෛද්‍ය උපදෙස් පැතිය යුතු අවස්ථා වන්නේ හදිසියේ ඇතිවෙන මළ බද්ධයත් සමඟ බඩ කොරවීම, මළ සමඟ රුධිරය පිටවීම, මළ බද්ධය සමඟ ඩයරියා තත්ත්වයක් ද තිබීම, පැන්සලක් මෙන් සිහින්ව මළ පිටවීම, ගුද මගේ වේදනාව අසාමාන්‍ය ලෙස බර අඩුවීමයි.

 සුගත්

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00