2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

විෂබීජ භීතිකාව

 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 908

ග‍්‍රස්ථිය (OCD) කියන රෝගය ප‍්‍රජාව තුළ 2%, 3% ක් දක්නට ලැබෙන තවත් කරදරකාරී මානසික රෝගයක්. මෙවැනි රෝගියකුගේ පවුල් ජීවිතය සමාජයීය ජීවිතය වගේම අධ්‍යාපනයද බිඳ වැටීමට ඇති හැකියාව හුඟක් වැඩියි. මෙම ආතතියෙන් දැඩි කම්පනයට පත්වන රෝගීන් ජීවිතය එපා වී මානසික අවපීඩන තත්ත්වයටද ගොදුරු වෙන්න පුළුවන්. සත්‍ය කතාවක් ඇසුරින් ග‍්‍රස්ථිය පිළිබඳ අපි වැඩිදුරටත් හදාරමු. මෙම රෝගී තත්ත්වයෙන් පෙළුණු රෝගියකු පිළිබඳ E-mail පණ්වුඩයක් අපට ලැබුණ නිසා අපි ඒ ගැන වඩාත් විමසිලිමත් වුණා.

වෛද්‍යතුමනි, මගේ wife ගේ වයස අවුරුදු 35යි. අපිට ළමයි 03 දෙනෙක් ඉන්නවා. ඇයගේ ප‍්‍රශ්නය කෙටි කර ඔබතුමාට පවසන්නම්. චම්පිකාගේ හැසිරීම් රටාවන්වල තියෙන පහත සඳහන් ක‍්‍රියාකාරකම් නිසා මමද දරුවන්ද ඇයද මහත් පීඩාකාරී තත්ත්වයකට පත්ව ඉන්නේ. දවසක වාර 40කට වඩා ඇය අත සේදීම කරනවා. ඇය මෙසේ කරන්නේ ඇයගේ අත් අපිරිසුදු යැයි සිතීම නිසායි. කවුරුන් හෝ ගෙදරට ඇතුළු වූ විට පාවහන් ගලවා කලිසම උඩට නවා කකුල් හොඳින් සෝදාගත යුතුයි. එසේ නොමැති නම් ඔහුට හෝ ඇයට ගෙදරට ඇතුළු වීමට ලැබෙන්නේ නැහැ. ගෑස් ලිප පත්තරවලින් වහනවා. ගෑස් ළිපේ විසබීජ ගෑවෙයි කියලා ඇය හිතන්නේ. සියලුම ඉවුම් පිහුම් කරන්නේ Rice cooker එකෙන්. මෙම නිසා වෑංජන 2ක් සාදා ගැනීමට පවා පැය 4ක විතර කාලයක් ගත වෙනවා. මේ ක‍්‍රියාවලිය මටත් දරුවන්ටත් මහත් වධයක්. විසබීජ පිළිබඳ භීතිය ඇයට තදින්ම තිබෙනවා. අපේ ගෙදරට දැන් අමුත්තන් එන්නේ නැහැ. ඔවුන් පැමිණීමෙන් නිවෙස ඇතුළට විසබීජ පැමිණෙනවා කියලයි ඇය කියන්නේ. මට සහ දරැවන්ට අප නිදන කාමර හැර අනෙකුත් කාමරවලට ඇතුළු වීමටත් තහනම්. එයට හේතුව විසබීජ පිළිබඳ බියයි.

අපේ ගෙදර ඇති සෝපාවේ වාඩිවීමටත් අපට තහනම්. මෙම සෝපාව මිලට ගෙන වසර 06ක්. කිසි කෙනෙක් තවම වාඩිවෙලා නැහැ. දිනපතා කුස්සියේ ඇති බෝතල් සබන් යොදා සෝදනවා. ඇය මේවාට පැය 03-04ක පමණ කාලයක් ගත කරනවා. මටත් දරුවන් දෙදෙනාටත් ශීතකරණය විවෘත කිරීමත් තහනම්. අපට බඩගිනි වුවත් එය කරන්න බැහැ. එයට හේතුව ඇය දඩි ලෙස කෝප වීමයි. ඇයට ඉතා කුඩා දෙයටත් හැඟීම් පාලනය කර ගත නොහැකියි. ඇය නිතරම තරහින් හා ආතතියෙන් ඉන්නේ. කිසිම දෙයකින් සතුටු වෙන්නේ නැහැ.

ඇයගේ මෙම හැසිරීම් රටාවන් නිසා මමත් දරුවන් දෙදෙනාත් අතිශයින් පීඩාවට පත්වෙලයි ඉන්නේ. මේ හේතුව නිසා අවුරුදු 12ක් වන ලොකු දරැවාගේ අධ්‍යාපනයත් දුර්වල වී තිබෙනවා.

මොකද්ද මේ ග‍්‍රස්ථිය කියන්නේ?

ග‍්‍රස්ථිය කියලා කියන්නේ දැඩි මානසික ආතතියක්. එහි ප‍්‍රධාන කොටස් දෙකක් තිබෙනවා.

සිතට වද දෙන සිතිවිලි (Obsession)

ඊට අනුරූපිකව සිදු කරන ක‍්‍රියාකාරකම් (Compulsion)

සරල උදාහරණයකින් මෙය තේරුම් කරන්නම්. ඔබ යමකුගේ නිදාගන්නා ඇඳ උඩ වාඩි වූවා යැයි සිතන්න. ඔබ වාඩි වූ නිසා භයානක ලෙස විසබීජ ඇඳට ඇතුළු වුණා කියලා යමෙකුට සිතෙන්නට පුළුවන්. නමුත් මෙය සත්‍ය නැහැ. සත්‍ය නොවන බවත් ඔහු හෝ ඇය හොඳින්ම දන්නවා.

විසබීජ පිළිබඳ භීතිය නිසා ඊළඟට සිදුවන දේ නම් ඇඳ ඇතිරිල්ල ඉතාම අනවශ්‍ය ලෙස කිහිප වතාවක් වතුරෙන් සේදීමයි. සමහර වෙලාවට මෙම සේදීම 5,6 වතාවක් හෝ 10 වතාවක් පවා සිදුවිය හැකියි. මෙම ක‍්‍රියාව ඉතාම කරදරකාරීම ක‍්‍රියාවක් බව එසේ කරන පුද්ගලයාටද දැනෙයි. නමුත් ඔහුට මෙය නවතා ගන්නත් බැහැ.

ග‍්‍රස්ථියේ ප‍්‍රධාන ලක්ෂණ

1. කරදරකාරී සිතිවිලි (Obsession) - විසබීජ පිළිබඳ භීතිය, යමක් පිළිවෙළට නැතැයි යන සිතිවිල්ල, ප‍්‍රචණ්ඩකාරී සිතිවිලි හා හැඟීම්, දිගටම පැමිණෙන ලිංගික සිතිවිලි හෝ රූප

2. සිතට වදදෙන ක‍්‍රියාකාරකම් (Compulsion) - දිගටම සේදීම, දිගටම පරීක්ෂා කිරීම. (උදා: දොර වසා ඇතිදැයි 7 - 8 වරක් පරීක්ෂා කිරීම.), දිගටම ගණන් කිරීම, අසාමාන්‍ය පිළිවෙළ

ග‍්‍රස්ථිය කියන්නේ ප‍්‍රබල මානසික ආතතියක්. 

මෙහෙදී ඇති වන සිතිවිලි එම පුද්ගලයාට මහත් කරදරයක් හා වධයක් වුණත් මෙසේ ඇති වන සිතිවිලි හෝ රූප නැවැත්වීමට දැඩි ආයාසයක් අරගන්නවා. එසේ කළ නොහැකි බව රෝගියාට තේරුම් යනවා.

ග‍්‍රස්ථියට හේතු

ෆ්‍රොයිඩ්ගේ මතය (Psycho Analytic Theory)

සිතට ඇතුළු වන දෑ පීඩාකාරී සිතුවිලි හැඟීම් සහ රූප යටපත් කර ගැනීමේ යටි සිතේ ඇති වන ක‍්‍රියාවලියක් ලෙස ෆ්‍රොයිඩ් මෙය විස්තර කරනවා.

උදා: යටි සිතේ ඇතිවන ලිංගික හෝ ප‍්‍රචණ්ඩකාරී සිතිවිල්ලක් තමාට කරදරයක් වූ විට එය සූක්ෂම විදියට වෙනත් ආතතියක් බවට පත් වන බව මෙම න්‍යායෙන් විස්තර කෙරෙනවා. 

හැසිරීම් පිළිබඳ න්‍යාය (Behavioral Theory)

සිතට වද දෙන සිතිවිලි අවම කිරීමට ඊට අනුරූපික ක‍්‍රියාවක යෙදෙනවා. එසේ යෙදීම නිසා රෝගියාට විශාල සහනයක් දැනෙනවා. මෙම සහනය සමඟ එය චක‍්‍රයක් ආකාරයට දගටම සිදු කිරීමට මනස පුරුදු වෙනවා.

ජානමය හේතු න්‍යාය (Positiru Reinlordcement Theory)

ජානමය හේතු (Genetic Influce), 50% ක පවුල් ඉතිහාසය, රසායනික හේතු, මොළයේ 5HT රසායනික අසමතුලිතතාවන්, මොළයේ ව්‍යුහාත්මක වෙනස්කම්, මොළයේ ලලාට ඛණ්ඩිකාව සහ පාදස්ථ ගැන්ග්ලියා හි ඇති වෙනස්කම්, ග‍්‍රස්ථිය වෙනත් මානසික රෝග සමඟ දැඩි සම්බන්ධතාවක් පවතිනවා.

උදා: හිසකෙස් ගැලවීමේ රෝගය (Tricotilomania) Tics disorder අවපීඩනය (30%පමණ)

පෞරුෂ භින්නතා (Obessive Compulsine Personalny) කුඩා දරුවන්ටද මෙම රෝගය වැළඳිය හැකිය. පිරිමි දරුවන්ට මෙය අවුරුදු 6-15 අතර ආරම්භ විය හැකිය. කාන්තාවන් අවු 20 - 30 අතර වයසේ දී මෙම අසනීපයට ගොදුරැ වෙන්න පුළුවන්. බොහෝ මවුපියන් දරුවන්ගේ මෙම අසනීපය නිසි ලෙස හඳුනා ගන්නේ නැහැ. ඔවුන් මනෝ වෛද්‍යවරයකු වෙත යොමුවන්නේ මෙම ගැටලුව උත්සන්න වූ පසුවයි. මේ වනවිට දරුවා අධ්‍යාපනික ගැටලුවලටද ගොදුරුවෙලා ඉන්න පුළුවන්.

ප‍්‍රතිකාර

ඊට සාර්ථක මනෝ විද්‍යාත්මක ප‍්‍රතිකාර ඇත.

1. ඖෂධ ප‍්‍රතිකාර

2. මනෝචිකිත්සක උපදේශන ක‍්‍රමය

සිතිවිලි ප‍්‍රතිකාර ක‍්‍රමය  මඟින් එයට ප‍්‍රතිකාර කිරීම තුළින් රෝගී තත්ත්වය නිසි ලෙස පාලනය කර ගත හැකිය. රෝගීන්ගෙන් 2/3ක් පමණ ප‍්‍රතිකාරවලට නිසි ප‍්‍රතිචාරයක් දක්වනවා.

කිරිබත්ගොඩ මූලික රෝහලේ 
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00