2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා

මරණයටත් හේතුවන ඇපෙන්ඩිසයිටිස්

 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 4948

අයිස් හෝ සීතල වතුරෙන් තවන්න එපා!
මඳ උණුසුම් රෙදි පොට්ටනියකින් තවන්න

උණ්ඩුක පුච්ඡ ප්‍රදාහය හෙවත් ඇපෙන්ඩිසයිටිස් (appendicitis) යනු අද නිතර අසන්නට ලැබෙන වචනයක් බවට පත් වී ඇත. උණ්ඩුක පුච්ඡයේ ඇතිවන විෂබීජ ආසාදනය (Infection) ඇපෙන්ඩිසයිටිස් නමින් හඳුන්වනු ලැබේ. මෙම රෝගය වසරකට ලොව පුරා, වයස අවුරුදු 10ත් - 30ත් අතර වූ පුද්ගලයන් මිලියන 16 ක් පමණ පිරිසකට වැළඳෙන බව වාර්තාවේ.

උණ්ඩුක පුච්ඡය (appendix) යනු මිනිසාගේ කුඩා බඩවැල, මහ බඩවැලත් සමඟ එකතු වන “සීකම්” (caecum) නමින් හඳුන්වන මහ බඩවැලේ කොටසට සම්බන්ධව පවතින සෙන්ටිමීටර් 10 පමණ දිගින් යුත් නාලයක් වැනි අවයවයකි.
මෙහි බිත්තිය තට්ටු හතරකින් සමන්විත වේ. උණ්ඩුක පුච්ඡ ප්‍රදාහයේ දී මේ බිත්තියේ තට්ටු හතර පුරාවටම නියුට්‍රොෆිල් (neutrophils) ලෙස හඳුන්වන සුදු රුධිරාණු වර්ගය පැතිර යයි. මෙය ආසාදිත තත්ත්වයක් ලෙස හැඳින්වේ. උණ්ඩුක පුච්ඡ ප්‍රදාහයේ දී මෙලෙස ඇතිවන ආසාදනය සැරව එකතු වීමක් වශයෙන් ද, අනතුරුව ගෙඩියක් ලෙස විශාල වීම දක්වා ද වර්ධනය වේ. මෙය ඉතාමත් අනතුරුදායක තත්ත්වයකි. මක්නිසාද යත්, මෙවැනි ගෙඩියක් පිපිරීමෙන් ඒ ආසාදනය මුළු උදර කුහරය තුළම පැතිර ගොස් මරණය පවා සිදුවිය හැකි හෙයිනි. ඕනෑම කෙනකුට ඕනෑම වයසක දී ඇපෙන්ඩිසයිටිස් ඇතිවීමට පුළුවන.

ඇපෙන්ඩිසයිටිස් ඇතිවීමට හේතු

ඇපෙන්ඩියසිටිස් ඇතිවීමට හේතුව උණ්ඩුක පුච්ඡයේ ගල්කැට හිරවීම යයි සාමාන්‍ය ජනතාව අතර මතයක් තිබේ. එය වැරදිය. එයට හේතු වන්නේ උණ්ඩුක පුච්ඡය තුළට ගමන් කළ මළපහවල ඝනවීමක් හෝ වෛරස් ආසාදනයක් නිසා ඒ අසල ඇති වසාගැටිති හෙවත් කුද්දැටිවල ඉදිමීමක් නිසා උණ්ඩුක පුච්ඡයේ හිරවීමය.

රෝග ලක්ෂණ

වෙනත් රෝගයක් යැයි ඔප්පු වනතුරු ඕනෑම බඩේ වේදනාවක් ඇපෙන්ඩිසයිටිස් යැයි සැක කළ හැක.

වේදනාව පළමුවෙන් පෙකණිය වටා ඇරඹී පසුව උදරයේ දකුණු පැත්තේ පහළ ප්‍රදේශයට පැතිරී යයි. ඇවිදින විට හා සෙලවෙන විට වේදනාව වැඩි වේ. මීට අමතරව ඔක්කාරය හා වමනයද ඇතිවිය හැක.

ශරීරයේ උෂ්ණත්වය ෆැරන්හයිඩ් අංශක 100 – 101ත් අතර විය හැකි අතර කලාතුරකින් 104 දක්වා වුවද වැඩි විය හැක. මළපහ සාමාන්‍ය තත්ත්වයක පැවතිය හැකි වූවත් කලාතුරකින් බඩ බුරුල් වීම හා මළබද්ධය ද ඇතිවිය හැකිය.
මුත්‍රා කිරීම සමහර විට වේදනාකාරී විය හැකිය.

මේ හැම ලක්ෂණයක්ම රෝගියා තුළ එකම අයුරින් නොපෙන්වන නිසා රෝග විනිශ්චය අපහසු වීමට ද පුළුවන. වේදනාව වැඩිවනු මිස අඩුවීමක් මෙහිදී සිදු නොවේ. වේදනාව පැය දෙකක් නොකඩවා පවතී නම් වහාම වෛද්‍යවරයකු හමුවන්න.

ඇපෙන්ඩික්ස් (Appendix) හෙවත් උණ්ඩුක පුච්ඡය යනු කෙනෙකුගේ සුලැඟිල්ල තරම් වූ මැද සිදුරක් සහිත (කෙළවර වැසුණු) බඩවැල් පටකයෙන් සෑදුණු ඉන්ද්‍රියකි. එය කුඩා බඩවැල මහ බඩවැලට සම්බන්ධ වන ස්ථානයෙන් මතුවෙයි. මිනිසුන්ගෙන් 99%කගේම උණ්ඩුක පුච්ඡය පිහිටා ඇත්තේ උදරයේ දකුණු පැත්තේ පහළ කොටසේය.

සරල ප්‍රතිකාර ක්‍රම

මද රස්නය සහිත රෙදි කැබැල්ලකින් වේදනාකාරී පෙදෙස තවන්න. වේදනාව අඩු නොවී තව තවත් වැඩි වේ නම් බොහෝවිට ඒ ඇපෙන්ඩිසයිටිස් විය හැක. කිසිවිටෙකත් සීතල අයිස් වැනි දේ වලින් වේදනාව සහිත ප්‍රදේශය සිසිල් නොකරන්න. එමඟින් ඇපෙන්ඩිසයිටිස්හි රෝග ලක්ෂණ යටපත් විය හැක. පැරසිටමෝල් පෙති දුන්නාට වරදක් නැත. එහෙත් එහි වැඩි ප්‍රයෝජනයක් නැත. දියර වර්ග පමණක් බීමට දෙන්න. කිසිවිටෙකත් බඩ බුරුල් වන ඖෂධ (Laxtives) හෝ වස්ති (Enema) නොදෙන්න. උදරයේ දකුණු පැත්තේ පහත කොටසේ වේදනාව පැය දෙකකට පසුවත් ඒ අයුරින්ම පවතින්නේ නම් වහාම ඔබගේ වෛද්‍යවරයා හමුවන්න.

වෛද්‍ය ප්‍රතිකර්ම

ඇපෙන්ඩිසයිටිස් සඳහා කරනු ලබන පිළිගත හැකි එකම ප්‍රතිකාරය නම් ශල්‍යකර්මයක් මගින් එය ඉවත් කිරීමයි. එබැවින් රෝග විනිශ්චය පිළිබඳව වෛද්‍යවරයා විශ්වාසනීය නිගමනයකට පැමිණීම අත්‍යවශ්‍යය. පෙනහළු රෝග (නිව්මෝනියාව) සහ උගුරේ ආසාදනයන්හිදී ද ඇපෙන්ඩිසයිටිස් රෝග ලක්ෂණ මතු කළ හැකි බැවින් එම රෝග වැළඳී ඇත්දැයි සොයා බැලීම සඳහා ඔබගේ වෛද්‍යවරයා උගුර හා පපුව පරීක්ෂා කර බලනු ඇත. අත් ආවරණයක් පැළඳි වෛද්‍යවරයා ඔහුගේ ඇඟිල්ලක් රෝගියාගේ ගුද මාර්ගය තුළට ඇතුළු කර පරීක්ෂා කිරීමත්, ලේ හා මුත්‍රා පරීක්ෂාවත් ඔහු විසින් කරන්නට පුළුවන. එසේ කරන්නේ බඩේ වේදනාවට හේතුව ඇපෙන්ඩිසයිටිස් නොව වෙනත් හේතුවක් දැයි සොයා බැලීමටය.

සමහර විට උදරයේ එක්ස්-රේ එකක් ද ගෙන පරීක්ෂා කරනු ඇත. පරීක්ෂණ අවසානයේ රෝගියා ශල්‍යකර්මයකට භාජනය කළ යුතුදැයි වෛද්‍යවරයා තීරණය කරනු ඇත.

ශල්‍යකර්මය

ශල්‍යකර්මය ඇපෙන්ඩිසෙක්ටමි (Appendisectomy) නමින් හැඳින්වේ. උණ්ඩුක පුච්ඡය කපා ඉවත් කිරීම එහි අර්ථයයි. රෝහලක ශල්‍යාගාරයක් තුළදී රෝගියාට සිහි නැති කොට (Under General Anasethesia)ස උදරය දකුණු පැත්තේ පහළ කොටසේ පෙකණිය මට්ටමට පහතින් අඟල් දෙකක් පමණ කැපුමක් යොදා උදරය විවෘත කර ආසාදනයට ලක් වූ උණ්ඩුක පුච්ඡය ශල්‍ය වෛද්‍යවරයා විසින් කපා ඉවත් කරනු ලැබේ.

ශල්‍යකර්මයෙන් දින පහකට පමණ පසු ගෙදර පැමිණෙන රෝගියාට සාමාන්‍ය අයුරින් වෙනදා මෙන් ආහාරපාන ගැනීමට උනන්දු කරවිය යුතුය.

ඔබේ රෝගියාට නිවසේ දී උපස්ථාන කළ යුතු ආකාරය ඔබේ වෛද්‍යවරයාගෙන් අසා දැනගන්න. සති දෙක තුනකට පසු වෙනදා මෙන් ක්‍රියාශීලීව කටයුතු කිරීමට හැකිවන පරිදි පූර්ණ සුවයක් රෝගියාට ලැබෙනු ඇත.

සුගත්

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00