2017 අගෝස්තු 05 වන සෙනසුරාදා

මේ කැක්කුමට මොකද කරන්නේ?

 2017 අගෝස්තු 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 3951

පිරිමින් හට මුහුණ දෙන්නට සිදුවන නොයෙකුත් අනතුරු සහ ආබාධ නිසා වෘෂණ කෝෂ ආශ්‍රිතව වේදනා හට ගත හැකියි. එයින් හයිඩ්‍රෝසිල් හෙවත් අණ්ඩවාතය සහ හර්නියාව ප්‍රධානයි. නමුත් මේ තත්ත්වයන් දෙක හැරෙන්න වෙනත් හේතුන් නිසාද වෘෂණ වේදනා ඇති විය හැකියි.

එයින් ප්‍රධාන එකක් වන්නේ වෙරිකෝස් හෙවත් වෘෂණකෝෂය ආශ්‍රිතව ඇති ශිරා ප්‍රසාරණය වීමයි. නහර ගැටගැසීම කියලා හඳුන්වන තත්ත්වයම තමා මේ. මේ සඳහා නිතර ආධාරක යට ඇඳුමක් ඇඳීම තමා හොඳ. තත්ත්වය දරුණු නම් වෛද්‍යවරයකු හමුවී පසුව සැත්කමකට යන්නට පුළුවනි.

තවත් සැත්කම් කළ යුතු අවස්ථාවක් හැටියට යම් හේතුවක් නිසා වෘෂණ ඇඹරීමට ලක් වීමෙන් එකවර හට ගන්නා වේදනාව දැක්විය හැකියි. මේ සඳහාත් වෛද්‍ය උපදෙස් ලබා වහාම සැත්කමක් කළ යුතුයි.

මුත්‍රා මාර්ගයේ ගල් හට ගත් විට අධික වේදනාවක් යටි බඩේ සිට වෘෂණ දක්වා ගමන් ගන්නවා. මුත්‍රා ගල් සඳහා ඖෂධ වර්ග පවතිනවා. නමුත් මෙහිදීත් ඖෂධ වලින් ඉවත් කරන්න දියකරන්න බැරි තත්ත්වයක් නම් සැත්කමට යොමුවිය යුතුයි.

යම් හෙයකින් වෘෂණයට තද පහරක් වැදීම හෝ තුවාල වීම නිසා ඇතිවන වේදනාවට පැරසිටමෝල් මගින් සහනයක් ලැබෙනවා. තදවනසේ යට ඇඳුමක් ඇඳීම සහනයක් ගෙන දෙනවා. වෛද්‍යවරයකු හමුවීම කළ යුතුමයි.

වෘෂණය සහ අපිමූචකය හෙවත් ශුක්‍රානු තැන්පත්ව ඇති කොටසේ ආසාදනයක් නිසාත් වේදනා ඇතිවිය හැකියි. පවුලේ වෛද්‍යවරයා හමුව ප්‍රතිජීවක සහිත ඖෂධ භාවිතාව මගින් සහනයක් ලැබේවී.

කම්මුල්ගාය වෛරස් ආසාදනය වීම නිසාත් වෘෂණ වේදනාව ඇතිවන අවස්ථා තිබෙනවා. මේ අවස්ථාවේදී වහා වෛද්‍යවරයා වෙත යොමු වී ස්ටෙරොයිඩ් කාණ්ඩයේ ඖෂධ ලබාගත යුතුයි. එමගින් අනාගතයේ වඳ භාවයට පත්වීම වැළැකී යා හැකියි.

ලිංගික ප්‍රාණවත් භාවය ඇතිව දිගු වේලාවක් සිටින විටත් වෘෂණවල වේදනාවක් හට ගන්නා අවස්ථා තියෙනවා. නමුත් එය ප්‍රාණවත් බව නැතිව යාමත් සමඟ ඉවත්ව යන සාමාන්‍ය තත්ත්වයක් නිසා බියවිය යුතු නෑ.

♦ සුගත්
උපදෙස් - විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00