2017 ජුලි 08 වන සෙනසුරාදා

දුර ගමනක් ගියාම කකුල ඉදිෙමන්නේ අැයි?

 2017 ජුලි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 861

දුර ගමනක් ගිහිල්ලා ගෙදර එද්දී ඇතැමෙකුගේ කකුල් දෙක හොඳටම ඉදිමිලා තිබෙනවා ඔබ දැක ඇතුවාට කිසිදු සැකයක් නෑ. ඇතැම් විට ඒ අත්දැකීම ඔබත් විඳලත් ඇති. විශේෂයෙන්ම මැදිවියේ වෙසෙන ගැහැණු පිරිමි බොහෝ දෙනා මේ ගැටලුවට මුහුණ පානවා. ඇත්තටම මෙය රෝගී තත්ත්වයක් ද?

එක දිගට පැය 6ක් 8ක් පමණ වාහනයක් තුළ ඉඳගෙන දුර ගමනක් ගියාම කකුලේ ඉදිමීමක් සිදුවෙනවා නම් ඒ ගැන වැඩිදුර පරීක්ෂණ මඟින් තීරණය වනවා මෙය DVT හෙවත් Deep Vein Thrombosis ලෙස හඳුන්වන රෝග තත්ත්වයක් බව.

අපගේ ශරීරය තුළ රුධිර සංසරණය කිරීමට රුධිර නාල වර්ග 2ක් ප්‍රධාන කොට උපකාරී වෙනවා. එයින් එකක් තමයි හෘදය වස්තුවෙන් ඉවතට රුධිරය අරගෙන යන ධමනි අනික් වර්ගය තමයි හෘදය වස්තුවට ආපසු රුධිරය රැගෙන එන ශිරා. හෘදය තුළ ඇතිවෙන හෘද ස්පන්දනය හෙවත් ගැස්ම නිසා ධමනි තුළ වේගයෙන් රුධිරය ගමන් කරනවා. අපට නාඩි ලෙස දැනෙන්නේ මේ ආකාරයේ රුධිර ගමනයයි. නමුත් ශිරාව තුළ ආපසු ගමනේදී මේ ආකාරයට වේගවත් රුධිර ගමනක් සිද්ධ වෙන්නේ නැහැ. එකදිගට ඉඳගෙන ගමනක් යාම වැනි ඉරියව්වකදී අපගේ පාදවල ඇති මේ ශිරාවල රුධිර ගමනය තවදුරටත් අවහිර වීමක් සමඟ එකතැන රැඳීමක් සිදුවෙනවා. ප්‍රතිඵලය වන්නේ පාදවල විශේෂයෙන් අපි බත් කෙණ්ඩ ලෙස හඳුන්වන (Calf) ප්‍රදේශයේ ගැඹුරින් ඇති ශිරාවල මේ ආකාරයට ගමනාගමනය අවහිර වූ රුධිරය කැටි ගැසීමට ලක්විය හැකි වෙනවා. මෙලෙස ශිරාවක් තුළ රුධිර කැටියක් ඇතිවීම DVT ලෙස හඳුන්වනු ලබනවා.

මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ වන්නේ එම ප්‍රදේශයේ ඇතිවන වේදනාව, ඉදිමීම, රස්නය, තරමක් රතු පැහැවීම, මතුපිට පේන්න ඇති නහර ගැටගැසීම හෙවත් නහර පිරී නෙරා තිබීම ආදී ලක්ෂණයි. නමුත් ඉතා වැදගත් කරුණක් වන්නේ රෝගීන් 50%ක පමණ පිරිසකට සමහර විට මේ ආකාරයේ රෝග ලක්ෂණයක් නොදැනීමයි. මේ නිසා මේ රෝග තත්ත්වය තීරණය කිරීමට ඉහත රෝග ලක්ෂණ ඇතිවීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ වගේම තව අනිකුත් රෝග කිහිපයක් නිසාත් මෙවැනි ලක්ෂණ දැකිය හැකි වන බවත් මතක තබා ගත යුතු වෙනවා. විශේෂයෙන් එම ප්‍රදේශයට විෂ බීජයක් ඇතුළු වූ විට, ආසාදන සහ මස්පිඬුවල ඇති වන අනතුරු ආබාධ, වසා පද්ධතිය (කුද්දෙටි) අවහිරවීම් නිසා ඇතිවන ඉදිමීම ආදී රෝගත් හේතුවක් විය හැකියි.

මේ ආකාරයට ශිරාවක් තුළ රුධිර තුළ රුධිර කැටියක් ඇතිවීම භයානක වන්නේ කොහොමද? ශිරාවෙන් කෙරෙන්නේ නැවත හෘදය වස්තුව වෙත රුධිරය රැගෙන යාමයි. එලෙස රැගෙන යන්නේ ශරීරයේ පාවිච්චි ලද අපිරිසුදු රුධිරය නිසා එම රුධිරය හෘදය වස්තුව මඟින් පෙනහලු වෙත පිරිසුදු කිරීම සඳහා (ඔක්සිජන් ලබාගැනීම සඳහා) දෙනවා.

ප්‍රශ්නය වන්නේ ශිරාව තුළ ඇති වුණු රුධිර කැටිය එතනින් ගැලවී හෘදය වෙතට කඩාගෙන ගියහොත් ඇතිවන විනාශයයි. එවිට හෘදය වෙත කැඩීයන රුධිර කැටිය හෘදය මඟින් පෙනහලු වෙත පොම්ප කරනු ලබනවා.

මේ ආකාරයට පොම්ප කරපු රුධිර කැටිය පෙනහල්ල තුළ කුඩා නහරයක් හෝ රුධිර කැටිය විශාල එකක් නම් ප්‍රධාන නහර අවහිර කරනු ලබනවා. ප්‍රතිඵලය වන්නේ පෙනහල්ලේ ප්‍රධාන කොටසකට හෝ රුධිර කැටිය කුඩා එකක් නම් කුඩා කොටසකට රුධිර ගමනය අවහිර වී අක්‍රීය වීමයි.

මේ තත්ත්වය සමහරවිට මාරාන්තික එකක් වෙන්න පුළුවන්. පෙනහලු ක්‍රියාකාරීත්වයට බලපෑමෙන් රෝගියා මිය යන්නට හෝ දැඩි සත්කාරකයක ප්‍රතිකාර ලැබිය යුතු තත්ත්වයක් උද්ගත වන්න පුළුවන්. 

එක දිගට ඉඳගෙන පැය ගණනක් ගමන් කිරීම විශේෂයෙන් ගුවන් ගමන්වලදී ඇතිවන අවදානමට අමතරව, ශරීරය තුළ ඇති රෝග පීඩාත්, රෝගියා ලබාගන්නා සමහර ඖෂධත් මේ සඳහා බලපානවා. ඒවා අතර ඇඟපත තරබාරු වීම, ප්‍රධාන ශල්‍යකර්මයකට භාජනය වීම, ගර්භණී භාවය, උපත් පාලන පෙති ගැනීම, හෝර්මෝන පෙති ගැනීම, සමහර පිළිකා වර්ග විෂබීජ ආසාදන, නිදන් ගත රුධිර ආබාධ අවදානම් කරුණු ලෙස සඳහන් කළ හැකි වෙනවා.

එක දිගට වාහනයක් තුළ ගමනක් යාමේදී පැය 2 – 3කට වරක්වත් ඇවිදීම, සිටගෙන සිටීම වැනි ඉරියව්වල වෙනසක් සිදුකිරීම, වැදගත් වෙනවා. කෙසේ වෙතත් දිගින් දිගටම දක්නට ලැබෙන මේ ගැන වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කළ යුතුයි. රෝගයට ප්‍රතිකාර ලෙස රෝහල් ගත කර රුධිර කැටිය දියවීමට බෙහෙත් එන්නත් කිරීමක් සමහර විට අවශ්‍ය වෙනවා.   

 Web Mol