2017 මැයි 13 වන සෙනසුරාදා

ලොකු වෙන්න බේත් නෑ

 2017 මැයි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 4821

ලිංගයේ ප්‍රමාණය පිළිබඳ සමහරුන් තුළ මතුවන ගැටලුව ගැන අපි ගිය සතියේ ආරම්භ කළ කතාබහට තවත් කරුණු කිහිපයක් එක්කර ගැනීමට මේවර අපි විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ හට ආරාධනා කළා. විශේෂයෙන්ම කෙනෙකුගේ ස්වභාවික ලිංගේන්ද්‍රිය වඩාත් ලොකු කරගන්න වර්ධනය කර ගන්න තියෙනවා යැයි කියන ඖෂධ වර්ග ගැනයි අපි ඇසුවේ. ඇත්තටම එබඳු වර්ධනාලේප, පෙති, කරල්, සැත්කම් තියෙනවාද?

මේ වගේ ඖෂධ ගැන පුරසාරම් දොඩන්නේ වෙළඳ දැන්වීම්වලින් තමා. සාමාන්‍යයෙන් කෙනෙක් වැඩිවියට ළංවූ විට දක්නට ලැබෙන ද්විතියික ලිංගික ලක්ෂණ වර්ධනය කරගැනීමටත්, හෝමෝන ඌනතා නිසා ඇතිවන ගැටලු සඳහාත් ප්‍රතිකාර කරන අවස්ථා තියනවා. ටෙස්ටොස්ටෙරොන් පුරුෂ හෝර්මෝනය අඩු අයට එය ලබාදෙන අවස්ථා තියෙනවා. නමුත් එබඳු ඌනතාවක් නැති සාමාන්‍ය අයට ඒ හොර්මෝනය දීලා වැඩක් නෑ. හෝර්මෝන ගත්තාය කියලා ඒ අයගේ ප්‍රමාණයේ වෙනසක් වෙන්නෙත් නෑ. මේ නිසා කියන්න ඕනෑ ඔය දැන්වීම්වල ඇති වර්ධනාලේප, පෙති, කරල්, කුඩු ගැන විශ්වාසය තියන්න එපා කියලයි.

දැන් ලෝකයේ වෛද්‍ය විද්‍යාව දියුණු කියන සැත්කම් මගින් ප්‍රමාණය විශාල කරගන්න පුළුවන්කමක් තියෙනවාද කියලා බොහෝ දෙනා විමසනවා. ඒ ගැන තත්ත්වය කෙබඳුද?

මේ වගේ සැත්කම් අමෙරිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව වගේ රටවල සිදුවෙනවා. ඒ වගේම අලුතෙන්ම සාදාදෙන අවස්ථාත් තියෙනවා. නමුත් මේවා මිල අධික ප්ලාස්ටික් සැත්කම් ගණයට අයත් ඒවායි. ඉතින් මේ අධික මිල ගෙවා කරන සැත්කම සාමාන්‍ය ජීවිතයට මුහුණ දෙන්නට නොහැකි අය සඳහා ඇති පිළියමක් පමණයි. ඒක හැමෝටම අවශ්‍ය නෑ.

සමහරු හිතනවා ප්‍රමාණය ලොකු වුණාම ලොකු ආකර්ෂණයක් ලැබෙනවා කියලා. සාමාන්‍යයෙන් විවාහවෙලා දරුවකු ලබාගන්න මේ ප්‍රමාණය කියන සාධකය කිසිසේත් බලපාන්නේ නෑ. කුඩා අය ලොකු කරගන්න හිතනකොට ලොකු අය පීඩාවට පත්වෙලා ඉන්නවා. තමන්ට කාන්තාවක් හා එක්වන්නට බැරිවෙයි කියලා. සාමාන්‍යයෙන් කාන්තාවගේ ශරීරය අවශ්‍ය අන්දමට ප්‍රසාරණයට ලෑස්තියි. දරුවෙකුගේ හිසක් එළියට එන්නට තරම් එය ප්‍රසාරණය වීමට සමත්. ඉතින් සාමාන්‍ය ලෝකයේ ඊට වඩා ලොකු ප්‍රමාණයේ ලිංගේන්ද්‍රියක් ගැන මෙතෙක් නම් වාර්තා වෙලා නෑ. කොටින්ම කියන්න ඕනෑ මේ ප්‍රමාණය කියන සාධකය කිසිසේත්ම ප්‍රීතිමත් විවාහ ජීවිතයකට අදාළ නැති සාධකයක් කියලයි. ඒ වගේම මේ අවයවයට විතරක් නොවේ මුළු ශරීරයේම වර්ධනය මනාව පවත්වා ගන්න නම් හොඳ සෞඛ්‍ය පුරුදු පවත්වා ගැනීමයි වැදගත්. පළතුරු එළවළු වැඩි සමබල ආහාර ගැනීම, අවශ්‍ය තරම් ජලය පානය, දිනපතා ව්‍යායාම, හොඳ නින්දක් ලැබීම, මත්පැන් දුම්වැටිවලින් තොර ජීවිතයක් ගත කිරීම, මේ තමා රහස්.