2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා

කටේ වැරැද්දෙන් හැදෙන දරුණු ලෙඩේ

 2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා, පෙ.ව. 06:00 2241

මේ අවුරුදු කාලේ කාටත් කියන්න ඇත්තේ ‘කට රැකගන් රාලේ’ කියලා තමයි. ආමාශ සහ ආන්ත්‍රික රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රනිල් ජයසේන ‘දේශය’ සමඟ කතාබහ ඇරැඹුවේ ඒ විදිහටයි. අවුරුදු කාලෙට පමණක් නොවේ, අනෙක් කාලවලදීත් අපේ රටේ දැන් වැඩියෙන්ම වාර්තාවන බඩේ ලෙඩක් ගැන කතාබහ අරඹමිනුයි ඔහු එහෙම කීවේ. ලෙඩේ නම කවුරුත් හඳුනනවා. ඒ තමා ‘ගැස්ට‍්‍රයිටිස්’

ගැස්ට‍්‍රයිටිස් වලට වයස් සීමාවක් නැති තරම්. දැන් ඉතා කුඩා වයසේ පාසල් දරුවන් අතරත් මේ රෝගය වාර්තා වෙනවා. වෛද්‍ය රනිල් ජයසිංහ පෙන්වා දෙන්නේ මේකට හේතුව අපේ වැරැදි ආහාර රටාව සහ ඇවතුම් පැවතුම් වගේම ජලය පානය කිරීමෙන් මඟහැරීම බවයි.  ඔහුගේ අවවාදය කඩචෝරු කෑමෙන් වැළකී සිරුරට අවශ්‍ය ප‍්‍රමාණයට ජලය දිනපතා පානය කිරීමෙන් ගැස්ට‍්‍රයිටිස් වලින් වැළකෙන්න පුළුවනි.

අධිකව තෙල්, මිරිස්, පිටි යොදා අනාරක්ෂිතව සෑදූ ක්ෂණික ආහාර මේ රෝගය සඳහා දැන් මූලිකත්වය ගෙන තියෙනවා. අනෙක් කාරණය මත්පැන් සහ බයිට්ස් වර්ග. අවුරුදු කාලෙට මේවාත් එළියට එන්නේ වැදගත්කමක ආරූඪ කරගෙනයි. ඇයි, දුම්පානයත් ඒ වගේමයි.

ගැස්ට‍්‍රයිටිස් කියලා හඳුන්වන්නේ මොකක්ද?
ගැස්ට‍්‍රයිටිස් කියලා හඳුන්වන්නේ ආමාශයේ තුවාල හටගැනීමයි. මූලික අවස්ථාවේ සිට ප‍්‍රතිකාර ගත්තේ නැතිනම් වැඩේ කෙළවර වෙන්නේ පිළිකාවන්ගෙන් තමා.

හැදෙන්නේ කොහොමද?
හැදෙන්න එක හේතුවක් තමා ආමාශය තුළට ඇතුළු වන හෙලිකෝ බැක්ටර් කියන බැක්ටීරියාවේ ක‍්‍රියාකාරීත්වය. මේවා නුසුදුසු අපිරිසුදු ආහාර සමඟ තමා සිරැරට එන්නේ. අනෙක් තත්ත්වය ආමාශයේ අම්ල ශ‍්‍රාවය නොයෙකුත් හේතු නිසා අක‍්‍රමවත් වීමෙන් හටගන්නක්. ඒ සඳහා ආහාරපාන, මත්පැන් දුම්වැටි, වාගේම සමහර ඖෂධ වර්ගත් බලපාන්න පුළුවනි. දියවැඩියාව රුධිර පීඩනය සඳහා ගන්නා ඇතැම් ඖෂධ නිසාත් ඇතැම් අයට මෙය හටගන්නවා. අනෙක් කාරණාව තමා ආතතිය.

රෝගය ගැන දැනගන්නේ කොහොමද?
නිතර එන බඩදැවිල්ල, පිත උගුරට ඒම, බඩපුරවා දැමීම, අරුචිය, ඔක්කාරය, රාමතෙල් යාම, වාගේම කෑම ගත්ත ගමන් ‘ගුඩුස් ගුඩුස්’ ගා වාතය පිටවීම. සමහරුන්ට බඩේ කැක්කුමත් එනවා. මේ වගේ ලක්ෂණ දිගින් දිගටම එනවිට බලා ඉන්න හොඳ නෑ. ඉක්මන් ප‍්‍රතිකාර සඳහා යා යුතුයි. එන්ඩොස් කොපි පරීක්ෂාවකින් රෝගයේ තත්ත්වය ගැන හරියාකාරව දැනගන්නට පුළුවනි.

වතුරවලට ගැස්ට‍්‍රයිටිස් වළක්වන්න පුළුවන්ද?
ආමාශයට වතුර බොහෝම වැදගත්. අඩුම තරමින් පැයකට වරක් බැගින් යම් වතුර ප‍්‍රමාණයක්, පානය කළ යුතුයි. වතුර මගින් ආමාශයේ අභ්‍යන්තර පටලයේ තෙත් බව රකිනවා. ආම්ලිකතාව අඩු කරනවා. ඒ වගේම වකුගඩු රෝගවලින් මිදෙන්නත් මේ වතුර යහමින් පානය වැදගත්. හැබැයි ගැස්ට‍්‍රයිටිස් තියෙන කෙනක් රෑ නින්දට පැයකට පමණ පෙර වතුර පානය නතර කළ යුතුයි.

එතකොට කිරි - යෝගට් අයෝග්‍යද?
ඕක මිත්‍යා මතයක්. කවුරුවත් දවසකට කිරි ලීටර් ගණන් බොන්නේ නැහැනේ. කිරි වීදුරුවක් දෙකක් බිව්වාට වරදක් නෑ. යෝගට් ගැන කතාව ටිකක් වෙනස්. යෝගට්වලින් කිසිම හානියක් නෑ. හැබැයි ඒවා දේශීය නිෂ්පාදන වෙන්න  ඕනෑ. පිටරට යෝගට් කිසිම අවස්ථාවක කන්න හොඳ නෑ. ඒවා අපට සුදුසු නෑ.
රෝගියකු අනුගමනය කළ යුතු විශේෂ උපදෙස් ටිකක් කියන්න.

රෝගියා තමන් නිදාගන්නා ඇඳේ ඉහ පැත්තේ අඟල් 6ක් විතර උසට තැබිය යුතුයි. සමතලා ඇඳක නිදන විට ගලනාලය ආමාශය ඉහිල් වී අම්ලය හා පිත ආපස්සට ඒම සිදුවෙයි. මේ නිසා ගලනාලය තුවාල විය හැකියි.
සමහර මේ තත්ත්වය වළක්වන්න කියලා ඉහට කොට්ට කිහිපයක් තියාගන්නවා. ඒකත් වැරැදියි. එතකොට ශරීරයේ නැම්මක් ඇතිවෙලා ආමාශයේ ක‍්‍රියාකාරීත්වය ඉහළට නැඹුර වෙයි. මේකත් හොඳ වැඩක් නෙමෙයි. දකණු ඇලයට නිදාගැනීම තමා හොඳම ඉරියව්ව. ඒක  ඕනෑම කෙනෙකුට හොඳයි.  මේ ඉරියව්වේදී ආමාශයේ ඇතිවන ආම්ලික ශ‍්‍රාවය පහළට ගලා යාම පහසුවෙයි. ශරීරය කෙට්ටු අයට හොඳම ඉරියව්ව මුණින් තලාව නිදාගැනීමයි.

එන්ඩොස්කොපි පරීක්ෂණය ගැනත් කතා කරමුද?
ගැස්ට‍්‍රයිටිස්වල නියම තත්ත්වය හඳුනාගන්න මේ මුඛය මගින් ගමන් කරවන කුඩා කැමරාව සහිත පරීක්ෂණය මගින් පුළුවනි. රෝග කාරකය නියම විදිහට හඳුනාගත හැක්කේ එවිටයි. හේතුව බැක්ටීරියාව නම් ඒ සඳහා ප‍්‍රතිජීවකත්, අම්ලය හෝ පිත වැනි හේතුවක් නම් අවශ්‍ය ඖෂධත් ලබාදිය හැකියි.

ආමාශයේ ඇතිවන පිළිකා තත්ත්ව එන්ඩොස්කොපි මගින් හඳුනාගත හැකියි. මේ නිසා සාමාන්‍යයෙන් 50 පැන්නාම එන්ඩොස් කොපි පරීක්ෂණයක් සිදුකර බලන එක විශේෂයි. හෙලිකෝ බැක්ටර් විශේෂය ආමාශගත පිළිකා තත්ත්වයට ප‍්‍රධාන හේතුවක්. එන්ඩොස් කොපි මගින් මෙයත් හඳුනාගත හැකියි. නිසි පරිදි වෛද්‍ය උපදෙස් පිලිපැදලා සායනවලට නොකඩවා ගිහින් ඖෂධ පිළිබඳ කට ගත්තොත් ගැස්ට‍්‍රයිටිස් නිට්ටාවටම සුවකරන්න පුළුවනි.

උපදෙස්,
ආමාශ සහ ආන්ත‍්‍රික රෝග පිළිබඳ 
විශේෂඥ ශල්‍ය වෛද්‍ය රනිල් ජයසේන