2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා

මොනවද මේ සිහිනෙන් පිටවෙන ධාතු?

 2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා, පෙ.ව. 06:00 1943

ධාතු හැටියට හැඳින්වෙන්නේ ඉතා අගනා දෙයක් බව සැබෑවකි. අපේ සිරුර සප්ත ධාතුන්ගෙන් හැදී ඇති බවත් ඒවා ඉවත් වූ විට ශරීරය වැහැරෙන බවටත් මතයක් ආයුර්වේදය මගින් අප තුළ ඇතිකර තිබේ. පිරිමියකුගේ ශුක්‍ර තරලයත් මේ කියන ධාතු වර්ගයක් ලෙසයි එහිදී දැක්වෙන්නේ. තරුණ කාලයේ පිරිමි දරුවන් මුහුණ දෙන ලොකු ගැටලුවක් වන්නේ සිහිනෙන් ධාතු පිටවීමයි. මේක ඇත්තටම ලෙඩක්ද? මානසික විකෘතියක්ද?

විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා පෙන්වා දෙන්නේ මේ කියන තත්ත්වයද අතිශය ස්වභාවික තත්ත්වයක් බවයි. හීනෙන් හෝ ධාතු පිටවෙනවා යන්නෙන් පැහැදිලි වන්නේ අදාල තැනැත්තා ලිංගික වශයෙන් ක්‍රියාකාරී සෞඛ්‍ය සම්පන්න මට්ටමක සිටිනා බවයි. කොටින්ම ඔහු ලිංගික අප්‍රාණික බවකින් නොපෙලෙන ශක්තිමත් තැනැත්තෙකු බවයි.

සාමාන්‍යයෙන් නිරෝගී හෝමෝන ක්‍රියාකාරීත්වයක් සහිත සෞඛ්‍ය සම්පන්න කෙනෙකුගේ ශුක්‍ර ධාතු නිසි ලෙස නිෂ්පාදනය වන අතර ඒවා සොබාවික ලෙස ඉවත්වීමක් නින්දෙදි සිදුවෙයි. නින්දේදී ඇතිවන සිහිනමය දර්ශනයක් හේතුවෙන් ලිංගික උත්තේජනයකට ලක්වී සිදුවන මේ පිටවීම ශරීරයට මෙන්ම මනසටත්, සැහැල්ලුවක් නිදහස් බවක් ලබාදෙන ස්වභාවික ක්‍රියාවලියක් පමණයි. ස්වයංවින්දනය මගින් ධාතු පිට නොකරන මෙන්ම එමගින් ධාතු පිටකරන අයටත් මේ තත්ත්වය පොදුයි. මෙසේ වීමෙන් පෙන්නුම් කරන්නේ ඔහු නිරෝගී තැනැත්තෙකු බවයි.

මේ ලෙස ධාතු පිටවීම නිසා ඇඟ දුර්වල වන බවත් ඇඟපත පණ නැතිවන බවත් බොහෝ දෙනා පෙන්වා දෙන අසත්‍ය කරුණක්. ධාතු පිටවීම නිසා ඇඟ දුර්වල වීමට කිසිම හේතුවක් නැහැ. විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ පෙන්වා දෙන්නේ සිහිනෙන් පිටවෙන ධාතුවල ශක්තිය සාමාන්‍ය සීනි හැඳි දෙකකින් ලැබෙන ශක්තියට සමාන බවයි.

කාන්තාවන්ගේ සුද යාම නමැති තත්ත්වය ගැන ඇත්තේද මෙවැනිම මිත්‍යා මතයකි. ඇඟ උණුකරවා යාම ලෙස දැක්වෙන යෝනි මාර්ගයෙන් පිටවෙන සුදුවන් දියරයක් නිසා ඇඟ දියවී වැහැරී යන බව සමාජය තුළ තදින්ම බැසගත් තවත් මිත්‍යාවකි. සමහර වට්ටෝරු/බේත්කරුවන් කියන්නේ මෙසේ ඉවත්වන්නේ ශරීරයේ ඇටමිදුලු බවය. මේ සියල්ලම ව්‍යාජ බේත් විකුණා ගැනීම උදෙසා පතුරවා හරින මිත්‍යාවන්ය.
කාලයකට ඉහත පැතිර තිබූ තවත් මතයක් නම් සිහිනෙන් පිටවෙන එක් ධාතු බිඳක් හදන්නට රුධිර බිංදු 500ක් වැයවන බවය. තමන්ගේ පාසල් කාලයේ පැතිර තිබූ මේ භීතිකාව ඉවත්වූයේ වෛද්‍ය විද්‍යාලයටත් ගිය පසුව බව විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ සඳහන් කරයි.

එහිදී වෛද්‍ය මහාචාර්ය චන්න විජේසිංහයන් පැහැදිලි කරදී ඇත්තේ හරියට අපේ කටට කෙළ උනනවා මෙන් ශුක්‍ර තරලයද නිතර නිෂ්පාදනය වන බවයි. එසේම ඛේට ධාතුවත් ශුක්‍ර ධාතුවත් අතර ලොකු වෙනසක්ද නැති බවයි. මේ නිසා ශුක්‍ර ධාතු පිටවීම නිසා ඇඟ කෙට්ටු වෙනවා නම් දුර්වල වෙනවා නම් නිතර කෙළ ගසන විටත් එසේ විය යුතු නේදැයි මහාචාර්යවරයා විමසා තිබේ. මේ මිත්‍යාව ගැන සැබෑ තත්ත්වය ඇත්තෙන්ම එයයි.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00