2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා

සුමඳත් රැගෙන එන පිළිකා මාරයා

 2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා, පෙ.ව. 06:00 552

මේ උත්සව කාලේ හුවමාරු වන තෑගි බෝග බොහෝමයි. ඒ තෑගි බෝග අතරට නිසැකව එක්වෙන දෙයක් තමා සුවඳ විලවුන් කියන්නේ. තරුණ අය විතරක් නොවේ වයසක අයත් අද කාලේ සමාජයේ කැපිලා පේන හාදයන් වන්නට සුවඳ විලවුන් භාවිත කරනවා. නමුත් නාසයට හොඳ සුවයක් ලැබුණත් මේ සුවඳ විලවුන් මගින් හිතන්න බැරි රෝගාබාධ හටගන්නට පුළුවනි. ඒවා සාමාන්‍යයෙන් සමේ කැසීමක්, පලු දැමීමක්, පුපුරු ගැහීමක් වගේ සාමාන්‍ය තත්ත්වයක ඉඳලා පිළිකා වැනි පුළුල් පරාසයක් දක්වා පැතිරෙන්නට හැකියි.

සාමාන්‍යයෙන් මේ කියන සුවඳ දියර සැදීමේදී ඒවාට අවශ්‍ය සුවඳ කවන්නට යොදාගන්නා විලවුන් වර්ග ලෙස භාවිත වන්නේ සංකීර්ණ විවිධ රසායනික ද්‍රව්‍යවල එකතුවකි. මේ රසායනවලින් බොහෝමයක්ම අාසාත්මිකතා ඇති කරන්නට වගේම පිළිකා කාරක ලෙසත් කටයුතු කරන බව පෙන්වා දෙන්නේ සෞඛ්‍ය අංශයේම පර්යේෂණයි. ඕනෑම රටක බෙහෙත් ඖෂධ වලට මෙන්ම සුවඳ විලවුන් භාවිතය පාලනය සහ අධීක්ෂණය කරන්නට බලයලත් ආයතන පවත්වාගන යන්නේ මෙන්න මේ කියන හේතුව නිසයි.

සාමාන්‍යයෙන් විලවුන් ද්‍රව්‍ය බෝතලයක එහි අඩංගු ද්‍රව්‍ය නිපදවීමට භාවිත කළ සංයෝග ගැන ලේබලයේ සඳහන් කළ යුතුයි. නමුත් බොහෝ සුවඳ විලවුන් බෝතලවල එහි අඩංගු මේ කියන සැබෑ ද්‍රව්‍ය ගැන සඳහන් වන්නේම නෑ.
සුවඳ විලවුන් සහ නොයෙකුත් රූපලාවන්‍ය ද්‍රව්‍ය නිපදවීමට ගන්නා රසායන ද්‍රව්‍ය 3000ක් පමණ ඇති බවයි වාර්තා වෙන්නේ. මේ බොහෝමයක් ද්‍රව්‍ය තාමත් නිසි පරීක්ෂාවට ලක් නොකරන ලද ද්‍රව්‍ය ලෙසයි හඳුනාගන ඇත්තේ. ඒවායේ ඇති විෂ බව සහ පිළිකා කාරක ගුණය ගැන සවිස්තරාත්මක කරුණු එළිදැක්වී නෑ.

සමට වැටෙන සුවඳ විලවුන් බිඳුවක් නිසා පුපුරු ගැසීමක් වගේ සුළු වෙනසක් ඇතිවන්නට පුළුවනි. නමුත් සමහර විලවුන් සමහර අයගේ සමේ පළු, වේදනා සහිත ලප කැළැල්, මෙන්ම දියබුබුළු පට්ටා වැනි දේත් තුවාලත් සෑදිය හැකියි. තවත් අයගේ ශරීරයේ හැටියට එක්සීමා නැතිනම් කඩුවේගන් නමින් හැඳින්වෙන දද ඇති කරන්නටත් පුළුවනි.

එපමණක් නොවේ මේ සමහර විලවුන් වර්ග නිසා සමහර අයට මිග්රේන් හිසරදය වගේම ඇදුම රෝගී තත්ත්වය ඉහළ යාමේ ප්‍රවනතාවයක්ද පවතින බව සොයාගන තියෙනවා.
විලවුන් තුළ සාමාන්‍යයෙන් එතනෝල් ඇතුළු මධ්‍යසාර අඩංගු බව කවුරුත් දන්නා රහසක් වුවත් සමහර ලෝක ප්‍රසිද්ධ විලවුන් තුළ පවා ඩයිඑතිල් පතැලේට් ලෙසින් හඳුන්වන ජනක සෛල විනාශ කර දමන විෂ ද්‍රව්‍ය දක්වා බරපතළ රසායන අඩංගු බව සොයාගන ඇත්තේ මේ කියන විලවුන් නිපදවන රටවල් මගින්මයි. ඇසිටැල්ඩිහයිඩ්, බෙන්සැල්ඩිහයිඩ්, බෙන්සිල් ඇසිටේට්, බෙන්සිල් ඇල්කොහොල්, එතිල් ඇසිටේට්, මෙතිලින් ක්ලෝරයිඩ්, ස්ටයිරින් ඔක්සයිඩ්, ඩයිමෙතිල් සල්ෆේට්, ටර්ජිපිනෝල්, මෙබඳු රසායණවලින් හඳුනාගත් කිහිපයක් පමණයි. මේ සමහර රසායන ද්‍රව්‍ය මගින් සමේ පුපුරු ගැසීමේ සිට, මානසික ව්‍යාකූලතාව, පේශිරුදාව, ඇදුම, සන්ධි රුදාව, සයිනස් කැක්කුම, මහන්සිය, උගුරේ ආසාදන, ඇස්වල රුදාව, අන්ත්‍ර හා බඩවැල් ආශ්‍රිත ගැටලු, හිස කැක්කුම, කැරකිල්ල, කුද්දැටි ඉදිමීම්, රුධිර පීඩනයේ හදිසි ඉහළයාම්, කැස්ස ඇතුළු රෝගාබාධ ගණනාවක්ම හැදෙන බව එළිදරව් කරගෙන හමාරය. මෙයින් ඇසිටැල්සිහයිඩ් මිනිස් සිරුරේ පිළිකා ජනකයක් ලෙස ක්‍රියාකරන බව ස්ථීර කර තිබේ. සතුන් යොදා කළ පර්යේෂණවලදී ඇසිටැල්ඩිහයිඩ් මවගේ වැදෑමහ ඔස්සේ කළලයට ඇතුළුවීමේ හැකියාව දරන බව සොයාගෙන තිබේ.
ඇසෙටෝනයිට්‍රිල් යනු හිස කැක්කුම වෙව්ලීම, සිට මරණය පවා ගෙන දිය හැකි බහුලව විලවුන් සඳහා භාවිත රසායනයකි.

ස්ටයරින් ඔක්සයිඩ් මගින් මානසික ආතතියත ඉහළ දමන බව තහවුරු කර ඇත. මෙතිල් බෙන්සින් හෙවත් ටොලුයින් රසායසය ස්නායුක විෂ ද්‍රව්‍යයක් බව ප්‍රකටය. මාංශපේශි ක්‍රියාකාරීත්වය අඩපණ කිරීමට මෙන්ම, මොළයට හානි කිරීමටත්, හිසරදය පමණක් නොව කතාව, ශ්‍රවණය සහ පෙනීමේ බාධා ඇතිකිරීමටත් මතකය මකා දැමීමටත් සමත්වන බව වාර්තාගතය. හිසරදය, ඇඟ කැසීම වැනි තත්ත්වයන්ගේ සිට සිරුරේ හෝර්මෝන ක්‍රියාකාරීත්වය අවුල් කර දැමීම මෙන්ම පිළිකා සෑදීම දක්වා බොහෝ හානිකර තත්ත්වයක් ඇතිකිරීමට සුවඳ විලවුන් සමත් නිසාම මේවා පමණ දැන සොයාබලා භාවිතයට ගතයුතු බවයි සඳහන් කළ යුත්තේ.

 සුගත් පී. කුලතුංගආරච්චි