2021 ජනවාරි 09 වන සෙනසුරාදා

ලෙඩ වවන ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාව

 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 323

මේ දවස්වල ප්‍රතිදේහ සහ ප්‍රතිජීවක ගැන කතාබහ වැඩියි. කාලීනව පැතිරෙන උණ, හෙම්බිරිස්සාව සහ ඉන්ෆ්ලුවෙන්සා උණ තත්ත්වය නිසාත්, දැන් කවුරුත් බිය වී සිටින  කොරොනාව නිසාත් ප්‍රතිදේහ, ප්‍රතිජීවක සහ ප්‍රතිශක්තිය ගැන නිතර ඇහෙනවා. නමුත් කෝකටත් තෛලය වගේ හැම ලෙඩටම ප්‍රතිජීවක දෙන්නේ නෑ. වෛද්‍යවරුන්ම කියන විදියට ඒවා හිතුමතේ ගැනීමෙන් තියෙන ලෙඩත් වැඩිවෙන්නත් පුළුවන්. නැති ලෙඩත් ඇතිවෙන්න පුළුවන්. ඒ ඇයි කියලා අපි අද බලමු.

ප්‍රතිජීවක ලෙස හඳුන්වන්නේ බැක්ටීරියා, දිලීර සහ සමහර පරපෝෂිතයන් වර්ග සමඟ සටන් කර රෝග මැඩපවත්වන ‍‍‍ඖෂධ වර්ගයන්ය. වෛරස් මුල්වී ඇතිකරනු ලබන රෝග මැඩපැවැත්වීමක් මෙම ප්‍රතිජීවක මගින් සිදුනොවේ. මේ නිසා ප්‍රතිජීවක නැත්නම් ඇන්ටිබයොටික් අපට හිතුමතේ ගත නොහැකිය. එය සැමවිටම මනා රෝග පරීක්ෂාවකින් පසු වෛද්‍යවරයකු වෙතින්ම ලබාගත යුතුය. ඒවා වැරදි ලෙස භාවිතය මගින් මාරාන්තික ප්‍රතිජීවක විරෝධයක් සිරුරේ හටගැන්වීමට හැකිය.

ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාව යනු කුමක්ද?

බොහෝ ප්‍රතිජීවක භාවිතය සහ නුසුදුසු පරිදි ප්‍රතිජීවක භාවිතය නිසා ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාව ඇතිවේ. එය ඇතිවන්නේ අපගේ ශරීරයේ ඇති බැක්ටීරියා වෙනස්වීම්වලට භාජනය වීමත් ඒ නිසා ඒවාට එරෙහිව සටන් කිරීමට ප්‍රතිජීවකය සුදුසු තත්ත්වයේ නොමැති වීමත් හේතුවෙනි. එකම ප්‍රතිජීවකය නිතර ගැනීම හෝ ප්‍රතිජීවක ගන්නා විට යම් බැක්ටීරියා ප්‍රමාණයක් නොමැරී ශරීරයේ ඉතිරිවීම නිසා ප්‍රතිජීවක ඖෂධ නියම කරන ප්‍රමාණය නොගැනීම නිසා විය හැක. අනාගතයේදී මෙම බැක්ටීරියා ගුණනය වී ශක්තිමත් වී ප්‍රතිරෝධී බවට පත්විය හැක.

ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාව ප්‍රශ්නයක් කරගත යුතුද?

ඔබ ප්‍රතිජීවක ගන්නා විට එමගින් බැක්ටීරියා සම්පූර්ණයෙන් නොනැසී පැවතුණහොත් ඔබගේ රෝගය සුව නොවී පැවතිය හැක. එවිට සුවවීම වෙනුවට ඔබගේ රෝගය උත්සන්න වේ. ඔබට නැවත කිහිප වතාවක් වෛද්‍යවරයා හමුවීමට සිදුවේ. එම නිසා ඔබට නොයෙක් ඖෂධ ලබාගැනීමට හෝ ඊට වඩා ප්‍රබල ප්‍රතිජීවක එන්නත් මගින් ලබාදීමට රෝහල්ගත වීමට සිදුවේ. ඒ සමඟම ඔබගේ පවුලේ සාමාජිකයන් හා අන් අයට එම ප්‍රතිරෝධී බැක්ටීරියාවට නිරාවරණය වීමටද සිදුවේ. එවිට ඔවුන්ටද ප්‍රතිකාර කිරීමට පවා අපහසු රෝග ඇතිවේ.

ඔබ අනවශ්‍ය පරිදි ප්‍රතිජීවක ලබාගන්නා විට හෝ ඔබට වෛද්‍යවරයා නියම කරන ප්‍රතිජීවක ප්‍රමාණය සියල්ලම නිසි ලෙස ලබා නොගත් විට ඔබට ප්‍රතිරෝධී බැක්ටීරියා මගින් ඇතිකරන රෝගයක් වැළඳීමේ ඉඩකඩ වැඩිවේ.
ප්‍රතිජීවක අවශ්‍ය නොවන රෝගද තිබේ

ඒවානම් සෙම්ප්‍රතිශ්‍යාව, ඉන්ෆ්ලුවෙන්සා උණ (flu) සහ Mononucleosis ආදී වෛරස් ආසාදනයන්ය. එම නිසා වෛරස් ආසාදන සඳහා ප්‍රතිජීවක ලබාදෙන ලෙස ඉල්ලා නොසිටිය යුතු අතර ඔබගේ ශරීරය මගින් ආසාදනය මැඩපැවැත්වීම සඳහා සටන් කරන බැවින් රෝග ලක්ෂණ නැති කිරීමෙන් සුවපහසු බව ලබාගැනීමට උපදෙස් පැතිය යුතුය.

ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාව අඩු කිරීමට කළ හැකි දේ

වෛද්‍ය උපදෙස් ප්‍රවේශමෙන් අනුගමනය කරන්න. ප්‍රතිජීවක පාවිච්චියට සිදුවන අවස්ථා  අවම කරගත යුතුය. නියම කරන ප්‍රතිජීවක ප්‍රමාණය සම්පූර්ණයෙන් ගත යුතුය. පසු අවස්ථාවක රෝගී වූ විට පාවිච්චි කිරීමට බෙහෙත් ඉතුරු කර ඒවා භාවිතයට නොගන්න. වෛද්‍ය උපදෙස් රහිතව හිතූමතයේ කිසිවිටෙකත් නොගත යුතුය. ඔබට මාත්‍රාවක් හෝ දෙකක් මඟහැරුණු විටදී පවා යම් බැක්ටීරියා ප්‍රමාණයක් ශරීරයේ ඉතිරි වී නැවත ප්‍රතිජීවක භාවිත කරන විට එයට ප්‍රතිරෝධයක් දැක්විය හැකිය. 

වෛද්‍ය චන්දන ධර්මරත්න 
කළුබෝවිල ශික්ෂණ රෝහල

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00