2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා

තනි අලියාට ලෙඩ වැඩියි!

 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 297

සමාජ සබඳතා අඩුවෙන් පවත්වාගෙන යන, නිශ්ශබ්ද සහ බාහිරයට වැසුණු චරිත දරන අය හට හෘදයාබාධ, අධි රුධිර පීඩනය වැනි හෘද රෝග පමණක් නොවේ, පිළිකාවන්ට ගොදුරු වීමේ අවදානමත් ඉහළ බව උතුරු කැරෝලිනා සරසවියේ පරීක්‍ෂණයකින් සනාථ වී තිබෙනවා. සමහරු සමාජයෙන් ඈත්වෙලා තට්ට තනියම ජීවත්වෙන අවස්ථා දකින්නට පුළුවනි. නමුත් මේ කියන තනි අලියා පැවැත්ම ශරීර සෞඛ්‍යයට ඉතාමත්ම අහිතකර ලෙස බලපාන බවයි, එය පෙන්වා දී තිබෙන්නේ.

මෙයට කලින් සිදු කළ පර්යේෂණ කිහිපයක් මගින් ද එළිදරව් වී තිබුණේ, නෑ හිතමිතුරන් අසල්වැසියන් සමඟ හොඳ සමාජ ආශ්‍රයක් ඇතිව ජීවත්වන ක්‍රියාශීලී අය වයස්ගත උදවිය වුණත් වැඩි කාලයක් නිරෝගීව ජීවත්වන බවයි. 

ජීවිතයේ මුල් තරුණ වියේදී හොඳ සමාජ සබඳතා පවත්වාගෙන යන අය පසුකාලීනව අධි රැධිර පීඩනය බඳු හෘද රෝගවලට ගොදුරු වීමේ අවදානම 54කින් පමණ අඩුවන බවයි, මෙහිදී සොයාගෙන ඇත්තේ.
මෑතක සිදු කළ මෙම අලුත් පර්යේෂණ මගින් සොයා බලා තිබුණේ ජීවිතේ විවිධ වයස් මට්ටම්වලදී පුද්ගලයකු පවත්වන සමාජ සබඳතා ඔහුගේ ශරීර සෞඛ්‍යයට මොන වගේ බලපෑමක් සිදු කරනවාද යන්නයි. මේ සොයා බැලීමේදී වාර්තා වුණේ ආහාරපාන රටාව, ව්‍යායාමය, ප්‍රමාණවත් සුව නින්ද, දියවැඩියාව වගේ සෞඛ්‍යමය කාරණා තරම්ම බරසාර අන්දමට කෙනෙක්ගේ සමාජ සබඳතා ජාලය ඔහුගේ සෞඛ්‍යයට බරපතළ ලෙස වගකියන බවයි.

විශේෂයෙන්ම මුල් තරුණ වියේදී සහ ජීවිතයේ අවසන් වැඩිහිටි සමයේදී හොඳ පුළුල් සමාජ සබඳතා ජාලයක් පවත්වා ගැනීම අධි රුධිර පීඩනය ඇතුළු හෘදයාබාධ මෙන්ම පිළිකා තර්ජනය වළක්වා ගැනීමට ඉවහල් වෙන බවයි, මෙම පර්යේෂණය සනාථ කර ඇත්තේ.

කෙනකුට ඇති සමාජ සබඳතා ජාලයේ විශාලත්වය නොව ගුණාත්මකභාවය මෙහිදී ඉතාමත් වැදගත් බවයි කියන්නේ. මනා වැටහීමක් ඇති, තමන්ට ලැදි, උසස් අදහස් සහිත කුඩා කණ්ඩායමකට බෙහෙත් ගෝනියකටවත් කළ නොහැකි සුවපත් කිරීමක් කරන්නට හැකි බවයි, මේ පර්යේෂණය මගින් පෙන්වා දී ඇත්තේ.

ඒ වගේම ජීවිතයේ සැඳෑ සමයේ සමාජ සේවාවන්හි යෙදෙමින් හොඳ සමාජශීලී ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීම ලෙඩදුක්වලින් මිදෙන්නට වගේම වයසට යාමෙන් වැළකෙන්නටත් හොඳම මඟ බවයි, උතුරු කැරෝලිනා විද්‍යාඥායන් පෙන්වා දෙන්නේ.

 - Healthy life