2020 අගෝස්තු 01 වන සෙනසුරාදා

රුධිරයටත් හැදෙන පිළිකා

 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 5258

අපේ සිරුරේ විවිධ අවයවවලට පිළිකා සෑදේ. බොහෝ දෙනා නොදන්නා කාරණය වන්නේ රුධිරයටත් පිළිකා සෑදෙන බවයි. රුධිරයටත් පිළිකා හැදෙන අතර ඒ අතරින් ප්‍රසිද්ධම ලියුකේමියාවයි. එය ද ඇතුළුව රුධිර පිළිකා ප්‍රධාන වශයෙන් වර්ග තුනකි. ලියුකේමියා, ලුම්ෆෝමා සහ මයලෝමා ඒ වර්ග 3 යි.

ලියුකේමියා ප්‍රධානතම ලේ පිළිකා වර්ගයයි. ලියුකේමියා වර්ග රැසකි. එය ප්‍රධාන වශයෙන් ඇකියුට්‌ ලියුකේමියා හා ක්‍රොනික්‌ ලියුකේමියා ලෙස වර්ග දෙකකට බෙදේ. එසේම රතු රුධිරාණු, සුදු රුධිරාණු හා රුධිර පට්‌ටිකා වැඩිවන හා අඩුවන විවිධ ලියුකේමියා වර්ග තිබේ.

සමහර අවස්‌ථාවලදී ලියුකේමියාව සාමාන්‍ය රුධිර පරීක්‌ෂාවන් මගින් හඳුනාගත හැක. උණ හෝ විවිධ රෝගී තත්ත්වයන් පරීක්‍ෂා කිරීමේදී ඇතැම් විට ලියුකේමියා රෝගය හඳුනා ගැනේ. බෝන් මැරෝ පරීක්‌ෂාවෙන් ද ලියුකේමියාව හඳුනාගත හැක. සමහර ලියුකේමියා වර්ග ශරීරයට කිසිම දැනීමක්‌ නොමැතිව දීර්ඝ කාලයක්‌ තිබිය හැක. ලේ අඩුවීම නිසා අධික මහන්සිය, අසාමාන්‍ය ලෙස ලේ ගැලීම ආදී ලක්‍ෂණ මගින් ද ලියුකේමියා රෝගීන් වෛද්‍යවරයකුට ඉදිරිපත් විය හැක. ඇකියුට්‌ ලියුකේමියාවේ රෝග ලක්‍ෂණ වන්නේ උණ, අධික මහන්සිය, අධික ලෙස රුධිරය පිටවීම, විදුරුමස්වලින් ලේ යෑම හා මාසික ඔසප්වීමේදී අධික ලෙස රුධිරය පිටවීමයි. එසේ නොමැති අවස්‌ථාවල පවා යෝනි මාර්ගයෙන් අධික ලෙස ලේ ගලා යෑම, තුවාලයකින් පවා අධික ලෙස ලේ ගැලීම, සම යටින් ලේ ගැලීම (රතු පැල්ලම් ලෙස පෙනේ) ආදියයි. මෙය හඳුනාගැනීම රුධිර පරීක්‌ෂාවෙන් හෝ බෝන් මැරෝ පරීක්‌ෂාවෙන් කළ හැක.

ලුම්ෆෝමා යනු වසා පද්ධතියේ පිළිකාවන්ය. එය ශරීරයේ ඕනෑම ස්‌ථානයක ඇතිවිය හැක. ප්‍රධාන ලෙස වසා ගැටිති (කුද්දැටි) ඉදිමීම, ශරීරයේ බර අඩුවීම, අධික ලෙස දහඩිය දැමීම වැනි රෝග ලක්‌ෂණ වේ. ලේ පරීක්‌ෂාව, වසා ගැටිති පරීක්‌ෂාව හෝ බෝන් මැරෝ පරීක්‌ෂාවෙන් හඳුනා ගත හැක.

මයලෝමා යනු ප්ලාස්‌මා සෛලවල (බෝන් මැරෝ ආශ්‍රිත) සෑදෙන පිළිකා වර්ගයකි. Multiple Myeloma ලෙස හැඳින්වෙන තත්ත්වයේ දී ප්ලාස්මා සෛල ලෙස හැඳින්වෙන සුදු රුධිරාණු බහුල වී ඒවායින් ශරීර අවයවවලට හානිකර ද්‍රව්‍ය නිකුත් කිරීම සිදුවෙයි. කොන්දේ කැක්‌කුම, වකුගඩු නරක්‌වීම, අධික මහන්සිය ප්‍රධාන රෝග ලක්‌ෂණ වේ. එක්‌ස්‌රේ පරීක්‌ෂාව, රුධිර පරීක්‌ෂාව හෝ බෝන් මැරෝ පරීක්‌ෂාව මගින් මෙය හඳුනා ගත හැක. 

රුධිර පිළිකා නිවැරදි ප්‍රතිකාර මගින් සුවපත් කළ හැක. බොහෝ රුධිර පිළිකා වර්ග නිට්‌ටාවටම සුව කර ගත හැක. විවිධ හේතු නිසා රුධිර පිළිකා සෑදිය හැක. කලාතුරකින් පරම්පරාවෙන් පරම්පරාවට වැළඳෙන රුධිර පිළිකා වර්ග තිබේ. සමහර වෛරස නිසා ලුම්ෆෝමා වර්ගයේ රැධිර පිළිකා සෑදිය හැක. උදාහරණයක්‌ ලෙස ඒඩ්ස්‌ රෝගියකුට ලුම්ෆෝමා රැධිර පිළිකා ඇතිවිය හැක. විකිරණවලට නිරාවරණය වීම නිසා පිළිකා ඇතිවිය හැක. නමුත් බොහොමයක්‌ රුධිර පිළිකා සඳහා හේතු තවම සොයාගෙන නොමැත.

 සුගත්